Friday, March 8, 2019

චාලුක්‍යය රාජවංශය.


දකුණු හා මධ්‍යම ඉන්දියාවේ විශාල කොටසක් පාලනය කළ චාලුක්‍ය රාජවංශය ඉන්දියානු ඉතිහාසයේ බලවත් රාජ වංශයකි. හය වන සහ දොළොස් වන සියවස අතර කාල පරිච්ඡේදය තුළ ඔවුන් දකුණු ඉන්දියාව පාලනය කළහ. චාලුක්‍යයන් පරම්පරා තුනකට අයත් වේ. හය වන ශතවර්ෂයේ මැද භාගයේ සිට බටහිර චාලුක්‍ය්‍යන් යනුවෙන් හඳුන්වන ලද පැරණි රාජවංශය ඔවුන්ගේ අගනුවර වතාපීය (නූතන බඩමී) මුල් කරගනිමින් ඉන්දියාව පාලනය කරනු ලැබීය. කාතියාවාර් හා ගුජරාටය හැර දකුණේ හා නැගෙනහිර විශාල ප්‍රදේශයක් ඔවුන්ගේ පාලනයට නතු විය. නමුත් අට වන ශතවර්ෂයේ මධ්‍ය භාගයේ රාෂ්ට්‍රකූටයන්ගේ නැගී ඒමත් සමග ඔවුන්ගේ බලය යටපත් වී ඇත. ඉන් පසුව වසර සියයකට පසුව රාෂ්ට්‍රකූටයන් පරාජය කර චාලුක්‍ය වංශයට අයත් දෙවන තෛල නැමැත්තෙකු විසින් කල්‍යාණයේ බටහිර චාලුක්‍යය රාජවංශය පිහිට වීය. එහිම ශාඛාවක් වශයෙන් නැගෙනහිර චාලුක්‍යය වංශය ආරම්භ වූ අතර වසර පන්සියයක් පමණ පාලනය ගෙන යාමට ඔවුන් සමත් විය. මෙසේ දීර්ඝ කාලයක් පුරාවට දකුණු ඉන්දියාව ඇතුළු ප්‍රදේශ රාශියක් ඔවුන් විසින් පාලනය කර තිබේ.
පළමු වරට දකුණු ඉන්දියානු ඉතිහාසයේ කාවෙරි සහ නර්මදා ගංගා අතර සමස්ථ කලාපය පාලනය කිරීමට හැකි වී ඇත්තේ චාලුක්‍යයන්ට පමණි. වැදගත් සන්ධිස්ථානයක් වන චාලුක්‍යයන්ගේ පාලනය ශක්තිමත් කිරීමට කාර්යක්ෂම පරිපාලනය, වෙළදාම හා විශේෂයෙන් විදේශ වෙළඳාම අතිශයින් වැදගත් වී ඇත. එම පාලන සමයේදී ගෘහ නිර්මාණ ශිල්පයේ මහත් ප්‍රගතියක් සිදු විය. සාහිත්‍යයද වර්ධනය වූ අතර තෙළිගු සාහිත්‍යය ඇති වන්නේ ද මෙම කාලයේය. සෑම අංශයකින් ඉහළ ප්‍රගතියක් පෙන්වීමට ඔවුනගේ පාලනයට හැකි වී ඇත. ඒ සදහා එම වංශයේ සිටි රජවරුන්ගේ හා ඔවුන්ගේ කාර්යභාරය ඉතා වැදගත් විය. මෙතැන් සිට චාලුක්‍යය වංශය පිළිබදව හා එම වංශයේ පාලකයින්ගේ සේවාව පිළිබදව කරුණු ඉදිරිපත් කරණු ලැබේ.
බාදාම්යේ බටහිර චාලුක්‍යය රාජවංශය (ක්‍රි. ව 543-753) අතර කාලයේ පැවතිණි. එහි ආරම්භක පාලකයා පූලකේසිය. (ක්‍රි. ව 543 - 566) මහාරාජ නම් විරුදාවලියෙන්ද මොහු හදුන්වා ඇත. සෙල්ලිපිවල දැක්වෙන පරිදි ජයසිංහ නම් තැනැත්තෙකුගෙන් මෙම වංශයේ ආරම්භය සිදු වී ඇත. ඔහුගේ පුත් රණරාග නැමැත්තාගේ පුත්‍රයා ඉහත දක්වන ලද පූලකේසින්ය. ස්ථාවර රාජවංශයක් බවට චාලුක්‍යය වංශය පත් කරන්නට ඇත්තේ මොහු විය හැකිය. එම නිසා ඉතිහාසයේ චාලුක්‍යය වංශයේ නිර්මාතෘවරයා ලෙස දක්වනුයේ පූලකේසින්ය. ඔහු බටහිර ඩෙකෑණය තම රාජධානිය කරගත් අතර කර්ණාටක ප්‍රදේශය හා ආන්ද්‍රා ප්‍රදේශද ඇතුළත් විය.
තම රාජවංශය ස්ථාපිත කිරීම සඳහා කදම්බ පාලනය සම්පූර්ණයෙන්ම පෙරලා දැමීමට ඔහුට සිදු විය. වාතාපිය තම අගනුවර බවට පත්කරගත් හෙතෙම එහි ශක්තිමත් කඳුකර බලකොටු සාදා තිබිණි. නව බලකොටුව පිහිටා තිබුණේ ගංඟා සහ කඳුකරය වටා ආරක්ෂක වළල්ල මතය. මෙලෙස ඔහු චාලුක්‍යය අධිරාජ්‍යයේ පදනම ස්ථාවර කළේය.
පූලකේසින්ගේ අනුප්‍රාප්තිකයා කීර්තිවර්මන්ය (ක්‍රි. ව 566 - 597). ඔහු තවත් චාලුක්‍යය වංශය ශක්තිමත් කළේය. ඔහු කදම්බයන් යටත් කරගත් අතර එම ප්‍රදේශවලද තම බලය ව්‍යාප්ත කළේය. මොහු වංග, අංග, කාලිංග හා මගධයද පරාජය කළ බව සෙල්ලිපිවල දැක්වේ. නමුත් සෙල්ලිපි ඔහුගේ කාර්ය වැඩියෙන් වර්ණනා කර ඇති නිසා එය පිළිගැනීමට අපහසුය. කල්වියා රාජධානිය දීර්ඝ කිරීම හා නාලාවඩි, දකුණු කනාරා ඇලිපස් සහ කොන්කන්හි ප්‍රධානීන්ද ඔහු විසින් යටත් කර ගත්තේය.
කීර්තිවර්මන්ගේ අභාවයත් සමග, ඔහුගේ පුත් දෙවන පූලකේසින් කුඩා දරුවෙක් විය. එම නිසා ඔහුගේ සහෝදර මංගලෙස් රණවික්‍රාන්ත (ක්‍රි. ව 597 - 609) ඔටුන්නේ වගකීම භාර ගත්තේය.මොහු ධෛර්ය සම්පන්න හා අධිෂ්ඨානශීලී පාලකයෙකු විය. ඔහු චාලුක්‍යය අධිරාජ්‍යය තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. ඔහු ගුජරාට්, කන්දිෂ් හා මල්වා යන නගරයන් පාලනය කළ කලචුරි පාලකයා වූ බුද්ධිරාජා ද පරාජය කොට එම ප්‍රදේශද තම රාජ්‍යයට ඈදා ගත්තේය. එපණකින් නොනැවතුනු ඔහු මහකූත කුළුණේ සිට ගංගා, පල්ලව, චෝල, අලුපාස් සහ කදම්බ පාලකයන් ද යටත් කර ගත්තේය.මේ වන විට දෙවන පූලකේසි තරුණ වියට එළඹ සිටියේය. නමුත් ඔහුට සිංහාසනය ලබා දීමට මංගලේස අකමැති විය. මේ නිසා පුලේකේසි තම මාමාට එරෙහිව කැරලි ගැසුවේය. මංගලේස් හා දෙවන පූලකේස අතර ඇති වූ සටනින් මංගලේස් මිය ගියේය. මෙම වකවානුවේ පැවති අරාජික තත්වය උපයෝගි කරගනිමින් ඇති වූ සතුරු ආක්‍රමණ බොහෝමයකට මුහුණදීමටද මේ නිසා චාලුක්‍යයන්ට සිදු විය.
මංගලේස්ගේ මරණින් පසු රාජ්‍යත්වයට පත් වූ දෙවන පූලකේසි (ක්‍රි. ව. 609 - 642) චාලුක්‍යය රාජවංශයේ ශ්‍රේෂ්ඨතම පාලකයා ලෙස හැදින්විය හැකිය. මෙම රජු සත්‍යාශ්‍රය, මහාරාජාධිරා හා පරමේශ්වර යන විරුදාවලියෙන්ද හදුන්වා ඇත. තලකාද්හි බටහිර ගංගා රාජවංශයේ දකුණු කැනාරාවේ ඇලූපා රාජ වංශයේ කුමාරිකාවක සමග ඔහු විවාහ සබඳතා පවත්වාගෙන ගොස් දේශපාලන සම්බන්ධාතා ශක්තිමත් කරගෙන තිබේ. නමුත් මෙම කාලයේදි ඔහුට ථානේසාර්හි හර්ෂගේ හා මහේනද්‍රවර්මන්ගේ සේනාවන්ට මුහුණ දෙන්නට සිදු අතර එම ආක්‍රමණ සාර්ථකව මැඩ පැවැත්වීමට ඔහු සමත් විය. ඉන්පසු පූලකේසි පල්ලව රාජධානියේ උතුරු ප්‍රදේශය දක්වාම ආක්‍රමණයක් දියත් කරන ලදි. ඉන්පසු ඔහු දකුණු නැගෙනහිර ඩෙකෑන්හි විෂ්ණුකුන්ඩීන් ද පරාජය කළේය. චෝළ දේශයටද ආක්‍රමණයක් දියත් කර ඇති අතර නමුත් පසුව චෝළ, කේරළ හා පාණ්ඩයින් සමග මිත්‍ර ගිවිසුමක් ඇති කරගෙන ඇත.
ක්‍රි.ව 642 දී නරසිංහවර්මන් විසින් වාතාපිය ආක්‍රමණය කොට පූලකේසි පරාජය කළේය. ඉන් අනතුරුව එළඹෙන අවුරුදු 10ක පමණ කාලය අරාජික කාලයක් විය. පූලකේසිට චන්ද්‍රාදිත්‍ය, ආදිත්‍යවර්ම, වික්‍රමාදිත්‍යය, ජයසිම්හ හා අම්බේරා යනුවෙන් පුතුන් පස් දෙනකු වූහ. පූලකේසිගේ මරණයෙන් පසුව ඔවුන් එකිනෙකා අතර යුද්ධ කළ අතර චාලුක්‍යය රාජ්‍යය විවිධ ප්‍රදේශවලට බෙදීමට උත්සාහ දැරූහ.
තම පියාගේ මරණයෙන් පසුව හිස් වූ සිංහාසනයට අවුරුදු දහයකට පසුව පත් වන්නේ වික්‍රමාදිත්‍යය (ක්‍රි. ව 655 - 680). ඔහු දෙවන පූලකේසිගේ තුන්වන පුතාය. සිංහාසනයට පත්වීම සදහා තම සහෝදරයන් පරාජය කිරීමට ඔහුට සිදු විය. එයින් ඔහු තම රාජ්‍යයේ එක්සේසත්කම බලාපොරොත්තු විය. සතුරන් අතට පත්ව තිබූ රාජ්‍ය ඉන් මුදවාගෙන නැවත පුනස්ථාපනය කිරීම ඔහුගේ මහගු කාර්යකි. ඔහු වසර 13 ක් තිස්සේ තම රට අල්ලාගෙන සිටි නරසිංහ වර්මන් පරාජය කොට වාතාපියෙන් පලවා හැරියේය. ඉන් නොනැවතුණු ඔහු පල්ලව අගනුවර වූ කාංචියද අල්ලා ගත්තේය. චෝළ කේරළ පාණ්ඩ්‍යයින්ටද යම් යම් බලපෑම් සිදු කොට ඇත. මෙලෙස ඔහු නැවත තම වංශය වාතාපියේ ප්‍රතිෂ්ඨාපනය කරමින් වාලුක්‍යය වංශය ශක්තිමත් කළේය.
වික්‍රමාදිත්‍යයගේ පුත් විනයාදිත්‍යය (ක්‍රි. ව 680 - 696) චාලුක්‍යය වංශයේ ඊළඟ අනුප්රාප්තිකයා විය. මොහු ක්‍රි. ව. 680 සිට 696 දක්වා පාලනය කළේය. රණබිමෙහි දක්ෂයකු වූ විනයාදිත්‍යය චෝළ, පාණ්ඩ්‍යය, පල්ලවයන්ට විරුද්ධව සටන් කිහිපයක් මෙහෙයවා තිබේ. මධ්‍යම ඉන්දියාවේ කලචුරීන්ද පරාජය කළේය.
විජයාදිත්‍යයගේ (ක්‍රි. ව 696 - 733) දිගු කාලීන පාලනය සාමය හා සෞභාග්‍යය සනිටුහන් විය. එම කාලයේදි ඔහු පාණ්ඩ්‍යන් සමග නොයෙක් යුද ගැටුම් ඇති කරගෙන තිබේ. දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියකු වූ මෙතුමා විශිෂ්ට නිර්මාණයක් වූ පත්තදකාල්හි සංගමේශ්වර දේවස්ථානයේ නිර්මාණ ශිල්පියාය. විනයාදිත්‍යයගේ පාලන සමය අවුරුදු දහසයකට සීමා වූ අතර එම කාලය සාමකාමීව පැවති බව දැක්වේ.
පල්ලව බලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමට සමත් වූ එකම පාලකයා දෙවන වික්‍රමාදිත්‍යය (ක්‍රි. ව. 733 - 746) . පල්ලව රජු පරාජය කරමින් කාංචිපුරයේ දේවස්ථානයක් හා ශිලාලේඛනයක් පිහිටුවමින් තම ජයග්‍රහණය සැමරීමට තරම් මොහු කාර්යශූර විය. පියා මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයට හා යුද්ධයට ද මොහු දක්ෂයකු විය. දකුණු දිගට බලය ව්‍යාප්ත කිරීම එකම අරමුණ බවට පත්කරගත් වික්‍රමාදිත්‍යය පාණ්ඩයන් හා චෝළයන්ද පරාජය කළේය. එම ජයග්‍රහණය සැමරීමට දක්ෂිණ සමුද්‍රතීරයෙහි පල්ලවයන් පරාජයකොට ස්ථම්භයක් පිහිටුවීමටද ඔහු කටයුතු කළේය.
බදාම්යේ චාලුක්‍යය වංශයේ අවසන් පාලකයා දෙවන කීර්තිවර්මන් (ක්‍රි. ව. 746 - 753). රාෂ්ට්‍රකූට දන්තිදුර්ග විසින් කීර්තිවර්මන් පරාජය කර වාතාපිය අල්වා ගත්තේය. එතැන් පටන් සියවස් දෙකක් පමණ එහි පාලනය ගෙන ගියේ රාෂ්ට්‍රකූටයන්ය. කෘෂ්ණගේ කාලයේදි දෙවන කීර්තිවර්මන් තම රාජ්‍යය නැවත දිනා ගැනීමට සටන් කළද ඉන් අසාර්ථක විමට ඔහුට සිදු විය. ඒ අතරතුර කාවේරි ගඟේ වෙන්බෙයිහි දී විශාල සටනක දී මොහු ජීවිතක්ෂයට පත්ව ඇත.
චාලුක්‍යය අධිරාජ්‍යය වසර 220 ක පමණ කාලයක් රාෂ්ට්‍රකූටයන්ගේ ග්‍රහණයට නතුව තිබිණි. බදාම්යේ චාලුක්‍යය රාජ වංශයෙන් පැවත එන තෛල විසින් ක්‍රි. ව 973 දී දෙවන කක්ක නෙරපා හැර චාලුක්‍යය රාජවංශය නැවත පිහිටුවීය. පසුකාලීන කල්‍යාණිය අග නගරය කරගත් නිසා නව චාලුක්‍යය රාජවංශය කල්‍යාණයේ චාලුක්‍යයන් ලෙස හදුන්වනු ලැබේ. නව බටහිර චාලුක්‍යයන් තවත් වසර 250 ක් (ක්‍රි. ව 973-1200) පාලනය කළ අතර, චෙංගිහි ඔවුන්ගේ ඥාති සොහොයුරන් සමඟ හෙවත් නැගෙනහිර චාලුක්‍යයන් සමග ද නිතර ගැටුම් ඇති වී තිබේ.
අහවමල්ල නූර්මඩි තෛලප සහ සත්‍යාශ්‍රය කුලතිලක යන නම්වලින්ද දෙවන තෛලප (ක්‍රි. ව. 973 - 997) හදුන්වා ඇත. සෙල්ලිපිවල දැක්වෙන පරිදි රාජාධිරාජ, පරමේශ්වර හා චක්‍රවර්ති යන විරුදාවලි ඔහුට යොදා ඇත. ගඩාග් වාර්තාවලට අනූව කිවියකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත. ඔහු නැවත රෂ්ට්‍රකූටයන්ගෙන් ගත් රාජ්‍ය පුනර්ජීවනය කරන ලදි. ඒ අනූව මුලින් චාලුක්‍යයන්ට අයත්ව පැවති සියලු ප්‍රදේශ ඔහු යළි ලබාගත්තේය. ඔහුගේ අගනුවරක් පිළිබදව නිශ්චිත තොරතුරක් නොමැති වුවද රාෂ්ට්‍රකූටයන්ගේ මාන්‍යඛෙතයම අගනුවර බවට පත්කරගන්නට ඇති බව සිතිය හැකිය.
ගෝඩාවරියේ රාෂ්ට්‍රකූට හතරවන ඉන්ද්‍ර තෛලප අතින් පරාජයට පත් වේ. මෙම කාලයේ සුළු සුළු අර්බුදයන්ට මුහුණ දුන් චෝලවරු දුර්වල තත්වයක සිටියහ. දෙවන පරන්තක චෝල වෙනුවට පත්වූ උත්තම චෝල තෛලප විසින් 980 දී පරාජය කළේය. ඔහුගේ තවත් යුද ජයග්‍රහණයක් වන්නේ මාල්වාහි පරමාර රජු වූ මුන්ජ සමග සටන් කොට ඔහු ජීවිතක්ෂයට පත් කිරීමයි.
සොල්ලිග, සල්ලින යනුවෙන් හදුන්වනුයේද සත්‍යාශ්‍රමය (ක්‍රි. ව. 997 - 1008). ඔහු සියලු කටයුතුවලදි තම පියාට උපකාර කළ තැනැත්තෙකි. ඔහු චාලුක්‍යයන්ගේ ආක්‍රමණශීලි පිලිවෙත් දිගටම කරගෙන ගියේය. මොහුගේ කාලයේදි රාජ රාජ රාජකේ සරිවර්මන් රාජකීය චෝල අධිරාජ්‍යයා විසින් ආක්‍රමණයක් දියත් කර ඇත. මුලදි අසාර්ථක වුවද පසුව ඔහු රාජා රජගේ භූමි ප්‍රදේශයද අත්පත් කර ගත්තේය. ඔහු විසින් චෝලයන් සමග එක් වී නැඟෙනහිර චාලුක්‍යයන්ට වැඩි වශයෙන් බලපෑමක් ඇති කළේය. රාජා රාජ චෝළ හා ඔටුන්න හිමි රාජෙන්ද්‍ර චෝළද පරාජය කර කරනාටකය යටත් කරගත්තේය. ඔහු උතුරු කොන්කාන්හි අපරාජිත පාලකයා වූ ෂිලාහාරා රජු ද යටත් කර ගත්තේය. 1006 දී වෙංගිය ද අක්‍රමණය කළේය.
සත්‍යාශ්‍රයගේ ඥාති පුත්‍රයකු වූ පස්වන වික්‍රමාදිත්‍යය (ක්‍රි. ව 1008-1015) පිළිබද තොරතුරු සොයාගත නොහැකිය. 1015 දී සිය සොහොයුරු දෙවන ජයසිම්හ (ක්‍රි. ව 1015 - 1042) මොහු බලයෙන් පහකර සිංහාසනාරූඪ විය. මේ අනූව පස්වන වික්‍රමාදිත්‍යයගේ අනුප්‍රාප්තිකයා වූයේ ජයසිම්හය. ජයදෙකමාල, මල්ලිකමෝද යන නමින්ද මොහු හදුන්වා ඇත. ජයසිම්හට ඔහුගේ රාජධානිය ආරක්ෂා කිරීම සඳහා පෙරමුණු රාශියක සටන් කිරීමට සිදු වී ඇත. ඔහු වචනාකර දේවරා දසිමයිය, කන්නඩ විද්වතුන් වන දුර්ගසිම්හ, ඔහුගේ විදේශ ඇමති වන චවුන්දර්‍ය සහ සංස්කෘත කවියෙකු වන වදිරාජා යන අයට අනුග්‍රහ දක්වා ඇති බව පෙනේ.
සෝමේශ්වර (ක්‍රි. ව 1042 - 1068) අහවමල්ල තිලොකමල්ල යනුවෙන් ද හැඳින්වේ. ඔහු පසුකාලීන කල්‍යාණ චාලුක්‍යය රාජවංශයේ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් විය. කල්‍යාණපුරයේ අගනුවර පිහිටුවා එතුමාගේ රාජ්‍යය එම ස්ථානයට ගෙන ගිය බව බිල්හාන සදහන් කර ඇත. අභිලේඛනයන්ට හා බිල්හානට අනූව චෝලයන් සෝමේශ්වර පරාජය කර ඇත. නමුත් පසුකාලීනව සෝමේශ්වර විසින් කාංචිපුරය අත්පත් කරගෙන තිබේ. එහිදි චෝළ රජු කැලයට පලා ගොස් බේරි ඇත. පරමාර අගනුවර ධාරාව අල්ලා ගැනීම, චේදියෙහි කලචූරි පාලක කර්ණ පරාජය කිරීම සෝමේශ්වරගේ ජයග්‍රහණයන් කිහිපයකි.
පියාගේ කාලයේදි යුවරජ තනතුර දැරූ දෙවන සෝමේශ්වර (ක්‍රි. ව 1068 - 1076) පිළිබද තොරතුරු සදහන් නොවේ. මොහු ජනතාව පීඩාව පත් කළ නිසා ඉක්මනින්ම නපුරු මාර්ගවලට ඇද වැටුනේය. ඔහුගේ සොහොයුරාගේ පක්ෂපාතිත්වය ඔහුට අහිමි විය. මේ නිසා වික්‍රමාදිත්‍යය විසින් රජ කමින් නෙරපා බලය ලබාගත් පෙනේ. බිල්හානගේ වෘත්තාන්තයේ දෙවන සෝමේශ්වර පිළිබද විස්තර පැවතියද එය වෘත්තාන්තයක් නිසා සත්‍යය ලෙස පිළිගැනීම අසීරුය.
හතරවන වික්‍රමාදිත්‍යය (ක්‍රි. ව 1076 - 1126) පාලන සමය චාලුක්‍යයන්ගේ වික්‍රමාන්විත යුගයයි. ඒ නිසාම බටහිර චාලුක්‍යය රජුන්ගේ ශ්‍රේෂ්ඨතම තැනැත්තා ඔහු විය. ඔහු පර්මදිදේව සහ ත්‍රිබුවනමල්ල යන නම් ද දරා ඇත. කන්නඩයේ ශිලා ලේඛන දොළොස්වන සියවසට පෙර වෙනත් රජෙකුට වඩා වික්‍රමාදිත්‍යය වර්ණනාවට ලක් කර ඇත. කීර්තිමත් සංස්කෘත කවියෙකු වූ බිල්හාන ඔහුගේ වික්‍රමාංකදේවචරිතයෙන්ද, හින්දු පවුලේ නීති පිළිබඳ විජේනේශ්වර ලියූ මිතක්සාරයෙන්ද මොහු පිළිබද තොරතුරු ලබාගත හැකිය. ඉන්දියාවේ මධ්‍යම ඉන්දියාවේ නර්මදා නදිය දක්වා ද දකුණු ඉන්දියාවේ කාවේරි ගඟෙන් දිගට පැතිර තිබූ විශාල අධිරාජ්‍යයකට ඔහු උරුමකම් කියූ බව ඒවායෙහි දැක්වේ.
පියාගේ කාලයේ පටන්ම මොහු නොයෙක් ආක්‍රමණයන්ට සම්බන්ධ වී ජය ලබා තිබේ. ඒ අනූව බෙංගාලය, ඇසෑමය, ගංගෙයිකොන්ඩය, වෙංගි හා වක්‍රකෝටය ඔහුගේ ආක්‍රමණවලට ලක් විය. රාජේන්ද්‍ර චෝළට එරෙහිව ඉතා දියුණු දටනක් ගෙනගිය අතර චෝළ රජුගේ දියණිය විවාහ කරගැනීමෙන් එය සමතයකට පත්ව තිබේ. රාජේන්ද්‍ර චෝළ රජු මියගිය පසු වික්‍රමාදිත්‍යය ඔහුගේ සහෝදරයා වූ අදි-රාජෙන්ද්‍ර චෝළ සිංහාසනයේ පිහිටු වීය. නමුත් කොත්තුංග නම් නැගෙනහිර චාලුක්‍යයා ඔහු නෙරපා හැරියේය. එහිදි වික්‍රමාදිත්‍යය ඔහුද පරාජය කළේය. මේ ආකාරයට ඔහු මහත් වූ ප්‍රභූත්වයකින් වැජඹෙමින් චාලුක්‍යය වංශය පෝෂණය කළේය.
වික්‍රමාදිත්‍යයගේ හා වන්දලදේවියගේ පුත්‍රයා තුන්වන සෝමේශ්වර (ක්‍රි. ව 1126 - 1138) ය. තම පියා විසින් අධිරාජ්‍යය මනාව ගොඩ නගා තිබූ නිසා සාමකාමිව එය පාලනය කිරීමට පමණක් හැකි විය. නමුත් හෙයිසාල විශ්ණුවර්ධන හා වෙංගියේ චාලුක්‍යයන් සමග සටන් කළ බව හොයිසාල වාර්තාවන්ගේ දැක්වේ. ඔහු සාහිත්‍යය පිළිබඳ විශාරදයෙක් වූ අතර සංස්කෘත සම්භාව්‍ය මනසොලසාව ලියුවේය. ත්‍රිභුවනමල්ල, භුලෝකාමල්ල හා සර්වංජයභුපා වැනි විරුදාවලි දැරීය.
සෝමේශ්වරගෙන් පසුව සිංහාසනයට පත් වන්නේ දෙවන ජයදෙකමාල (ක්‍රි. ව 1138-1151) . ඔහුගේ පාලන කාලයේදි චාලුක්‍යය අධිරාජ්‍යය මන්දගාමි ගමනක යෙදුනේය. හොයිසාල, පරමාර හා සෙවුන ආදින්ගේ බලපෑම මැඩ පැවැත්වීමට ද ඔහුට සිදු විය. ඔහු විද්වතෙක් විය. සංස්කෘත සංගීත චූඩාමණි කෘතිය ඔහුගේ යැයි සැළකේ.
චාලුක්‍යයන්ගේ පදනම බිදෙනුයේ තුන්වන තෙතලප (ක්‍රි. ව. 1151 - 1162) යටතේය. චාලුක්‍යය අධිරාජ්‍යයේ අවසානය ආරම්භ වීම මෙම කාලයේදි සිදු විය. කාකටිය ප්‍රෝල විසින් ආක්‍රමණයක් එල්ල කර තෙතල අල්වා ගත්තේය. නමත් ඔහු නැවත මුදාහැර ඇත. ඉන්පසු ඇති වූ අභ්‍යන්තරික ආරවුල් පිරීහීම තවත් සනිටහන් කළේය. චාලුක්‍යය හමුදාවේ සේනාධිපතියකු වූ බිජ්ජාල හමුදාව කැරලි ගස්වා චාලුක්‍යය රාජ්‍යය පැහැර ගත්තේය. ඉන්පසු තෛලප ඇන්නිගරියට පලා ගියේය. එහිදි 1162 දී හෝයිසාල වීරනරසිවර්මා විසින් ‍තෛලප ඝාතනය කරන ලදී.
තුන්වන තෛලපගෙන් චාලුක්‍යය රාජවංශය පැහැරගත් තුන්වන ජාගදේකාමල්ල (ක්‍රි. ව 1162-1983) ඔවුන්ට අයත්ව පැවති සියලු රාජ්‍යයන් පාලනය කළේය. පරමාධිපත රජකු වශයෙන් ක්‍රියා කිරීමට මොහුට විජයාදිත්‍යයගේ ආධාර ලැබී ඇත. ක්‍රි.ව 1168 දී ඔහු තම පුත්‍රයන්ට රජකම පවරා තිබේ. ඒ අනූව සෝවිදේව (ක්‍රි. ව. 1168 - 1177), දෙවන සංඛමවීර (ක්‍රි. ව. 1177 - 1180), අහවමල්ල (ක්‍රි. ව 1180 - 1183) සහ සිංඝන (ක්‍රි. ව1183 - 1184) රාජ්‍යත්වයට පත් වූහ.
බටහිර චාලුක්‍යය රාජවංශයේ අවසන් පාලකයා හතරවන සෝමේශ්වරය (ක්‍රි. ව. 1184 - 1200). දණ්ඩනායක බ්‍රාහ්ම නැමැත්තෙකුගේ උපකාරයෙන් ඔහු කලචුරි රාජධානිය පරාජය කරමින් චාලුක්‍යය රාජ්‍යය යළි පණගැන්වීමට කෙටි උත්සාහයක් ගත්තේය. ඔහු බාසවකල්‍යාණය අල්ලා ගැනීමට සමත් වූ නමුත් සෙවුනා, හොයිසාලා සහ කකතිය රාජවංශයන් වැලැක්වීමට අසමත් විය. අවසානයේ දී, කාවෙරි නදිය සහ නර්මදා ගංගාව අතර විශාල ඔවුන් එක් වී බෙදා ගත්හ. එහි අග්නිදිග කෙළවර පාලනයට සොමේශ්වර පත් වි. ක්‍රි.ව 1190 දී ඔහුගේ මරණයත් සමග මෙම රාජවංශය අවසන් විය. ඔහුගෙන් පසුව චාලුක්‍යය ලෙයට උරුමකම් කියන තැනැත්තන් පත් වුවද සෘජු සම්බන්ධයක් ඇති කෙනෙකු රජ නොවීය.
නැගෙනහිර ඩෙකෑනය දෙවන පුලකේසි විසින් පරාජයට පත් කරන ලදී. ක්‍රි. ව 615 දී දෙවන පුලේකේසින් ඩෙකෑනයේ විෂ්ණුකණ්ඩිනා පරාජය කොට ඔහුගේ සොහොයුරු කුබියා විෂ්ණුවර්ධන එහි පාලකයා වශයෙන් පත් කළේය. දෙවන පුලේකේසින්ගේ මරණයත් සමග ඩෙකෑනය ස්වාධීන රාජධානියක් බවට පත් විය. වෙංගිය එහි අගනුවර විය. ඒ නිසාම විශ්ණු වර්ධනගෙන් ඇරඹි එම රජ පරපුර නැගෙනහිර චාලුක්‍යය වංශය ලෙස හදුන්වයි. නැගෙනහිර චාලුක්‍යයන් වතාපී (බදාම්) හි චාලුක්‍යයන් සමග සමීපව සම්බන්ධ විය. සමහර අවස්ථාවල ඔවුන් අතරද සටන් ඇති වී තිබේ. කෙසේ වුවද මෙම රාජ වංශය අවුරුදු 500 ක් වැනි දීර්ඝ කාලයක් පැවති ඇත.
පුලේකේසිගේ කණිටු සොහොයුරා විෂ්ණුවර්ධනය (ක්‍රි .ව 624 - 641). ක්‍රි . ව 615 දී පමණ නැගෙනහිර ප්‍රාන්ත පාලකයකු වශයෙන් පත් කරනුයේ දෙවන පුලකේසින්ය. නමුත් විෂ්ණුවර්ධන තම ස්වාධීනත්වය ක්‍රි . ව 624 දී පමණ ප්‍රකාශ කළ අතර ඉන් නැඟෙනහිර චාලුක්‍යය රාජවංශය ආරම්භ කළේය. නැගෙනහිර රාජධානිය ලෙස හැදින්වෙන ඔහුගේ පරම්පරාව ශත වර්ෂ හතරකට ආසන්න කාලයක් පාලනය කළේය. උතුරේ ශ්‍රීකුලම් දක්වාත්, දකුණින් නෙල්ලෝර් දක්වාත් ඔහුගේ රාජධානිය ව්‍යාප්ත විය. විශ්ණුවර්ධන යටතේ වෙංගි රාජධානිය ලෙස හැදින්වෙන චාලුක්‍යය අධිරාජ්‍යය චෝළ අධිරාජ්‍යය සමග ඉතා කිට්ටු සබදතා පවත්වා තිබේ.
විශ්වර්ධනගෙන් පසුව රාජ්‍යත්වයට පත් වන්නේ ඔහු පුත් ජයසිම්හය (ක්‍රි. ව. 641 - 673). ඔහු අවුරුදු 32 ක දිගු කාලයක් රජකම් කළ නමුත් ඔහුගේ රාජ්ය කාලය තුළ වැදගත් කිසිවක් සිදුවී නැත. ජයසිම්හගෙන් පසුව රජ වන්නේ ඔහුගේ සහෝදරයා ඉන්ද්‍රා භට්ටාරකය (ක්‍රි. ව 673). නමුත් ඔහුට සතියක පමණ කාලයක් පමණක් රජකම් කරන්නට හැකි වී ඇත. ඉන්ද්‍රා භට්ටාරකගේ අනුප්‍රාප්තිකයා දෙවන විශ්ණුවර්ධනය (ක්‍රි. ව 673 - 682). දෙවනි විශ්නු වර්ධනගෙන් පසුව රජවන මන්ගි යුවරාජගෙන් (ක්‍රි. ව 682 - 706) පසුව නැගෙනහිර චාලුක්‍යය වංශයේ ස්ථීර පාලකයකු නොවීය.
මෙම කාලයේදි රජවරුන් කිහිප දෙනකු නාමිකව රජකම් කර ඇත. දෙවන ජයසිම්හ (ක්‍රි. ව 706- 718) . තුන්වන විශ්ණුවර්ධන (ක්‍රි. ව. 719- 755) විජයාදිත්‍යය (ක්‍රි. ව 755 - 772). විජයාදිත්‍යය ගංගයන් හා රාෂ්ට්‍රකූටයන් සමග සටන් කිහිපයක් සිදු කර ඇත. රාෂ්ට්‍රකූට තුන්වන ගෝවින්ද පරාජය කර ඔහුව මර්දනය කර ඇත. විජයාදිත්‍යයගෙන් පසුවද කිහිප දෙනකු රජ කර ඇති නමුත් ඔවුන් පරමාධිපති පාලකයන් නොවීය. හතරවන විශ්ණුවර්ධන (ක්‍රි. ව .772 - 808). දෙවන විජයාදිත්‍යය (ක්‍රි. ව 808 - 847) . පස්වන විශ්ණුවර්ධන (ක්‍රි. ව. 847 - 849) යන පාලකයන් එතරම් ක්‍රියාශීලි නොවිණි.
තුන්වන විජයාදිත්‍යය (ක්‍රි. ව 848 - 892) රාෂ්ට්‍රකූට දෙවන කෘෂ්ණ පරාජය කරමින් මාල්ඛේඩ් නම් ඔහුගේ අගනුවරද විනාශ කර ඇත. තවද චෝළ රජකු වූ මන්ගි නැමැත්තාද පරාජයට පත් කර තිබේ. තුන්වන විජයාදිත්‍යයගේ මරණයෙන් පසුව වෙංගිය රාෂ්ට්‍රකූටයන් අතට පත් විය. ඔවුන් සමග සටන් කොට නැවත වෙංගිය දිනා ගැනීමට ඔහුට භීමට (ක්‍රි. ව 892 - 921) සිදු විය. භිම රජු සිව වන්දනය සදහා දෙව් මැදුරක් ඉදි කර ඇති බන මූලාශ්‍රවල දැක්වේ.
හතරවන විජයාදිත්‍යයට (ක්‍රි. ව. 921) වැඩිකල් රජ කිරීමට හැකියාවක් ලැබී නැත. හයවන විශ්ණුවර්ධන (ක්‍රි. ව 921 - 927) ඉන් පසු රජ වූ අතර තම ඥාතීන් හා රාෂ්ට්‍රකූටයින් සමග සටන් කිරීමට මොහුට සිදු වී ඇත. අනතුරුව පත්වන පාලකයින් පිළිබදව වැඩි යමක් සදහන් නොවන අතර මෙම කාල වකවානුවේදි රාජ්‍යය පැහැර ගැනීම්වලින් සිහසුනේ උරුමය වරින් වර මාරු වී ඇත. දෙවන වික්‍රමාදිත්‍යය (ක්‍රි. ව 927 - 928) . යුධමල්ල (ක්‍රි. ව 928 - 935) . දෙවන භීම (ක්‍රි. ව 935 - 947). හත්වන විශ්ණු වර්ධන (ක්‍රි. ව 947 - 970). දානමාව (970 - 973). ජාතා චෝදා භීම (973-1000). ශක්තිවර්මන් (ක්‍රි. ව 1000 - 1011)
විමලාදිත්‍යය (ක්‍රි. ව 1011-1018) බටහිර චාලුක්‍යයන් සමග නොයෙක් සටන් සිදු කොට තිබේ. සත්‍යාශ්‍රය විසින් වෙංගිය ආක්‍රමණය කරන්නේද මොහුගේ කාලයේදීය. නමුත් චෝළයන්ගේ සහහයෙන් නැවත තම රාජ්‍යය ලබා ගැනීමට මොහුට හැකි විය. චෝළයන් සමග සම්බන්ධතා ඇති කර ගැනීම සදහා රාණි කුණ්දවි නම් රාජරාජ චෝළගේ දියණියද විවාහ කරගත්තේය. විමලාදිත්‍යයගේ පුත්‍රයා වූ රාජරාජ නරේන්ද්‍ර (ක්‍රි. ව. 1018 - 1061) චාලුක්‍යය වංශයේ ඊළග පාලකයා විය. තම මව චෝළ කුමාරිකාවක වූ නිසා චෝළ සිහසුනටද හිමිකම් කීමට මොහුට හැකි විය. වික්‍රමාංදේව චරිතයෙිහි නැගෙනහිර චාලුක්‍යයා චෝළ දේශයෙහි අධිපති වූ ආකාරය විස්තර කර තිබේ. ඔහු චෝළ දේශය පාලනය කරමින් චෙංගී පාලකයා වශයෙන් තම සොහොයුරු හත්වන විජයාදිත්‍යය පත් කර තිබේ.
ඊළගට පත්වන දෙවන ශක්තිවර්මන්ගේ (ක්‍රි. ව 1061-1063) ශක්තිවර්මන්ගේ කාලයේ නිකුත් කළ කාසි හමු වී ඇතත් ප්‍රමාණවත් තොරතුරු සොයාගත නොහැකිය.
හත්වන විජයාදිත්‍යය (ක්‍රි. ව 1063 - - 1075) නැගෙනහිර චාලුක්‍යය රාජවංශයේ අන්තිම රජු විය. 1073 දී යශකර්ණදේව හා දහලගේ ආක්‍රමණයන්ට ගොදුරු වන්නට මොහුට සිදු විය. මෙම රාෂ්ට්‍රකූට ආක්‍රමණයෙන් විජයාදිත්‍යයට ඔහුගේ රාජධානිය අහිමි වූ අතර ක්‍රි. ව 1075 දී නියත ලෙසම නැගෙනහිර චාලුක්‍යය වංශය අවසන් වී ඇත.
මොහුගෙන් පසුවද චාලුක්‍යය රජවරුන් පත් වුවද ඔවුන් චෝළයන් සමග මිශ්‍ර වූ රජ පරපුරක් විය. ඔවුන්ද සියවස් එක හමාරක් පමණ තම වංශය පවත්වාගෙන ගොස් ඇත. නමුත් ඉතිහාසඥයින් විසින් නැගෙනහිර චාලුක්‍යය වංශයේ අවසානය ලෙස සළකනුයේ හත්වන විජයාදිත්‍යයගේ කාලයයි.

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...