Tuesday, March 26, 2019

ලන්දේසි පාලනය හා උඩරට. 



ශ්‍රී ලංකා ඉතිහාසය දෙස බලන විවිධ යුගයන්ගෙන් සමන්විත විවිධ පාලන තන්ත්‍රයන් සහිත විවිධ පාලනවරුන් විසින් පාලනය කරන ලද ආක්‍රමණ සංක්‍රමණයන්ගෙන් සමන්විත ඉතිහාහයකට උරුමකම් කියනු ලබයි. මෙම සියලු ඉතිහාසගත පුවත්හි උච්චතම අවස්ථාවක් ලෙස 16වන ශතවර්ෂයෙන් පසු කාලය දැක්විය හැකි ය. මක් නිසාද යත් එම කාලය තූළ සිදු වූ විවිධ තත්වයන්, සංසිද්ධීන් ලාංකික ඉතිහාසය නව මංපෙතක හැරවුම් ලක්ෂයක් වූ බැවිනි.
16වන සියවස ආරම්භයේ දී ශ්‍රී ලංකාව කෝට්ටේ, යාපනය, කන්ද උඩරට යනුවෙන් දේශපාලනය කොටස් 03කට ද තවත් අර්ධ ස්වාධීන රාජ්‍ය රාශියකට ද බෙදී පැවතිණි. මේ අතරින් කෝට්ටේ ප්‍රධාන රාජ්‍ය ලෙස පිළිගත්තේ වුව ද කන්ද උඩරට රාජ්‍ය ද ප්‍රබලව පැවතිනි.
කන්ද උඩරට රාජධානි සමයේදි මෙරටට එල්ල වූ විවිද ආක්‍රමණ හා ඒවායෙන් ඇති වූ ප්‍රතිඵලද අසීමිතය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුරෝපීය ජාතිකයන් තමන්ගේ වාසිය තකා මෙරට ආක්‍රමණය කළහ. ඔවුන් අතරෙන් ලන්දේසින්ගේ පැමිණීම කරුණු රාශියක් නිසා සුවිශේෂි වේ. විටෙක සාමකාමිවද, විටෙක ආක්‍රමණකාරීවද ඔවුන් ලක්දව පාලන කටයුතුවලට සම්බන්ධ වී ඇත. එහිදි උඩරට රජු හා ලන්දේසින් අතර ගිවසුම් මෙන්ම සටන්ද ඇති විය. දෙපිරසිම තම පාලන බලය රැක ගැනීමට උත්සාහ දරා තිබේ.
මේ ආකාරයට කන්ද උඩරට හා ල්නදේසින් අතර පැවති සම්බන්ධතාවය හා ඔවුන්ගේ පාලන රටාවන් පිළිබඳ විමසීමක් මෙහිදි සිදු කරනු ලබයි. එසේම දෙපක්‍ෂය අතර ඇති වූ ගිවිසුම්ද, ඒවායෙන් ඇති වූ ප්‍රතිඵලද මෙමගින් සාකච්ඡා කරනු ලැබේ. ඊට අමතරව විවධ හැලහැප්පීම් මධ්‍යයේ උඩරට රජු හා ලන්දේසින් තම ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනීමට ක්‍රියා කර ඇති ආකාරය මෙයින් පැහැදිලි කෙරේ.
■ කන්ද උඩරට පාලනය.
දහසය වන සියවසේ අගභාගයේදි මෙරට මුහුදු බඩ ප්‍රදේශ පෘතුගීසීන්ට යටත් වීමෙන් පසුව 1815 වන තෙක් උඩරට රාජධානියේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගැනීමට සිංහලයන් සමත් විය. සීතාවක රාජ්‍යය බිඳවැටීමෙන් පසුව ලාංකිකයන් සතු වූ එකම රාජ්‍යය උඩරට වූ අතර නීත්‍යානූකූල උරුමත්වයේ සංකේතය වශයෙන් සැලකෙන දළදා වහන්සේගේ අයිතිය උඩරට රාජ්‍යය සතු විය. ඒ අනූව මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව පවා තම අගරජු ලෙස සලකනු ලැබුයේ මහනුවර රජුය. මේ නිසා පහතරට හා උඩරට සිංහලයන් අතර උඩරට රාජ්‍යය තම පොදු උරුමයක්ය යන සංකල්පය පැවතිණි. මේ නිසා ආත්ම පරිත්‍යාගයෙන් හෝ එය රැකගැනිම තමන්ගේ පරම යුතුකම යැයි ඔවුන් සැළකූහ. මේ චින්තනය හේතුකොටගෙන 1815 වන තෙක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුරෝපීය ජාතීන්ගෙන් එල්ල වූ අනේක විද දුෂ්කරතා මධ්‍යයේ 1815 වන තෙක් උඩරට රාජධානියේ ස්වාධීනත්වය ආරක්‍ෂාකරගැනීමට උඩරැටියන් සමත්ව තිබේ.
මෙම යුගයේ කන්ද උඩරට පාලනය ගෙනගිය පාලකයන් අතර,
1* සේනාසම්මත වික්‍රමබාහු (1469-1511).
2* ජයවීර (1511-1552).
3* කරල්ලියද්දේ බණ්ඩාර (1552-1582).
4* පළමු විමලධර්මසූරිය (1591-1604).
5* සෙනරත් (1604-1635).
6* දෙවන රාජසිංහ (1635-1687).
7* ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර්‍රසිංහ (1687-1707).
8* ශ්‍රී විජය රාජසිංහ (1707-1739).
9* කීර්ති ශ්‍රී රාජසිංහ (1739-1782).
10* රාජාධි රාජසිංහ (1782-1798).
11* ශ්‍රී වික්‍රමරාජසිංහ (1798-1815).
මෙම රජවරුන් විවිධ කාල සීමාවන් තුළ රාජ්‍යත්වයට පත් වී දේශපාලනික, ආර්ථික, ආගමික, සංස්කෘතික, සමාජීය වශයෙන් රට පාලනය කර ඇත. මේ අතරතුර යුරෝපීය ජාතීන් වූ පෘතුගීසින් ප්‍රථමයෙන් විවිධ හේතු සාධකයන් මුල් කරගනිමින් මෙරට ආක්‍රමණය කරන ලද අතර පසුව කුරුඳුවල අවශ්‍යතාවය මුල් කරගනිමින් ලන්දේසීන් මෙරට ආක්‍රමණය කරන ලදි. මෙහි බලපෑම මුල්කාලීනව ස්වාධීනව පැවති උඩරට රාජ්‍යය කෙරෙහිද පසුකාලීනව ආක්‍රමණයන් ඇති වීම කෙරෙහි හේතු වී තිබේ.
■ ලන්දේසි පාලනය.
ලන්දේසි පාලකයන් පෘතුගීසින් මෙන් නොව ඉතා දැඩි පිලිවෙතක් අනුගමනය කරනු ලැබූ පිරිසක් වන අතර සියලුම උසස් නිළතල ලන්දේසින්ට පවරන ලදි. ඒ නිසා පරිපාලනයේ දී මොවුහු ශක්තිමත් වූ අතර මුහුදු බඩ දේශීය රදළ පන්තියේ බලය පිරිහෙන්නට විය. ඕලන්ද පාලනයේ ප්‍රධානියා ආණ්ඩුකාරවරයෙක් විය. ලන්දේසි සමස්ත පාලනය මෙසේ දැක්විය හැක.
  • ලන්දේසි පරිපාලනය.
  • භතාවියේ අග්‍රාණ්ඩුකාර තැන හා ඔහුගේ උපදේශන සභාව.
  • ගාල්ලේ ආණ්ඩුකාර තැන හා ඔහුගේ උපදේශන සභාව.
    • බෙන්තොට භාර නළධාරි තැන.
      • බෙන්තොට සංහල අධිකාරම්.
      • ගම්මුලාදෑනිවරු.
    • මහබද්දේ කපිතාන්.
      • කුරුඳු තලන්නන්ගේ විදානේවරු.
      • ගම්මුලාදෑනිවරු.
    • ගාලු කෝරලය භාර කපිතාන්මා.
      • සිංහල මුදලිවරු.
      • ගම්මුලාදෑනිවරු.
    • මාතර දිශාව.
      • සිංහල අධිකාරම්.
      • ගම්මුලාදෑනිවරු.
    • මීගමු ඔපර්හුන්ට්.
      • ඔහුගේ සභාව.
      • සිංහල මුදලිවරු.
ලන්දේසි ශ්‍රී ලංකාවට පැමිණීමට හේතු.
පෘතුගීසින් මෙන්ම ලන්දේසින්ද මුහුදු යාත්‍රික ගවේෂණවල නිරත වී ඇත්තේ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමේ පරමාර්ථයෙනි. විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ කුළුබඩු වැවෙන ප්‍රදේශවලට ගොස් එම ප්‍රදේශ අත්පත් කරගැනීමයි. ලංකාව,ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, බෝනියෝව ආදි රටවල්වලින් ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, එනසාල්, කරාබු නැටි ආදි කුලු බඩුද මුතු, මැණික්, ඇත්දළ, පිගන් බඩු, සේද රෙදි ආදි භාණ්ඩද පෙරදිගින් ලබාගත හැකි වීමත් මොවුහු පෙරදිගට පැමිණීමට හේතු වී තිබේ. ඕලන්ද රජුගේ අවසරය මත පිහිටුවාගෙන තිබූ ලන්දේසි පෙරදිග වෙළඳ සමාගම විසින් මෙම වෙළඳ කටයුතු මෙහෙය වන අතර එම ද්‍රව්‍ය ලබාගන්නා ප්‍රදේශ යටත් කරගෙන පාලනය කිරීමද වෙළඳ සමාගම මගින් සිදු කරන ලදි. ලන්දේසින්ගේ ප්‍රධාන අරමුණ වූයේ ලාභ ලබාගැනීම වන අතර වෙළඳාමේදි ඉතා සරුසාර කුරුඳු බිම් මෙරට පැවතීම ලංකාව කෙරෙහි ලන්දේසින්ගේ අවධානය නිරන්තරයෙන් යොමුවීමට හේතු වී තිබේ.
ලන්දේසින් පැමිණෙන විට ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන පසුබිම.
16 වන සියවස ආරම්භයේදි මෙරටට පැමිණි පෘතුගීසින් වසර 150 කට වඩා අධික කාලයක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය ගෙනයාමට සමත් විය. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි යටතේ පැවතියද මේ වන විට කන්ද උඩරට රාජ්‍ය්‍ය ස්වාධිනව පැවතිණි. ඌව වෙල්ලස්ස, ගමන් කඩුව, නුවර කලාවිය, බ්ම්තැන්න, හේවාහැට, උඩුනුවර, හාරිස්පත්තුව, දුම්බර ඇතුලු දිවයිනේ මුලු භූමි භාගයෙන් හතරෙන් තුනක්ම ස්වාධීන වූ කන්ද උඩරට රාජ්‍යයට අයත් විය. විශාල භූමි ප්‍රදේශයක කන්ද උඩරට වැනි ස්වාධීන රාජ්‍යයක් පැවතීම පෘතුගීසින්ට මෙන්ම ලන්දේසින්ටද ගැටලුවක් විය. එයට හේතු වූයේ බටහිර ජාතීන් බලාපොරොත්තු වූ අයුරෙන් ඹවුන්ගේ වෙළඳ කටයුතු හා ආගමික කටයුතු නිදහසේ කරගෙන යෑමට කන්ද උඩරට රාජ්‍යය මගින් බාධාවක් වී තිබීමයි. මේ නිසා කන්ද උඩරට රාජ්‍ය්‍ය යටත් කරගැනීමට ලන්දේසින්ද නිතරම උත්සාහ ගන්නා ලදි.
උඩරට රාජ්‍යයේ මෙකල පාලනය ගෙන ගියේ පළමු වන විමලධර්මසූරිය රජුය. මේ වනවිටත් රජු මහත් කරදරයක් වී සිටි පෘතුගීසින් මෙරටින් පලවා හැරීමේ උත්සාහයක නිරත වී සිටින කාලවකවානුවක් විය. පෘතුගීස්න් පලවා හැරීමට නම් ප්‍රථමයෙන්ම ඉන්දියන් සාගරයේ නාවික හමුදා බලය ශක්තිමත් කළ යුතුම විය. 16 වන සියවසේ සිටම මෙරට බලයට පත්වූ පාලකයින්ද සිදු කරලීමට උත්සුක වී ඇත්තේද එම ක්‍රියාවමය. උදාහරණයක් ලෙස කැලිකට්හි සැමොරින් වැනි පාලකයින්ගේද සහය ලබා ගෙන තිබීමෙන් එය පැහැදිලි වේ. නමුත් එයද ප්‍රමාණවත් වී නැත. මෙහිදි එයට පිළියමක් ලෙස වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ප්‍රබල නාවික හමුදා බලයක් හිමිව තිබූ වෙනත් යුරෝපිය ජාතියකගේ සහයෝගය ලබා ගැනීම කෙරෙහිය. එහිදි ව්ශේෂයෙන්ම යුරෝපීය ජාතියක් වූ ලන්දේසීන්ගේ සහය වැදගත් වී තිබේ. මෙවැනි පසුබිමක් මූලික කරගෙන ලන්දේසි බලයක අවශ්‍යයතාවය පැවති තිබේ.
ලන්දේසින් හා සිංහලයන් අතර පැවති සම්බන්ධතා.
1505 පමණ වන විට ලක්දිවට පැමිණි පෘතුගීසින් 1597 වන විට මෙරට මුහුදු ප්‍රදේශයන්හි නීත්‍යානුකූල උරුමකරුවන් බවට පත් වුවද මුලු ලක්දිවෙහිම බලය ලබාගැනීමට යාමේදි ප්‍රධාන බාධකය වූයේ කන්ද උඩරට රාජ්‍යයි. මේ නිසා උඩරට රාජ්‍යයට විරුද්ධව පෘතිගීසින් විසින් දන්තුරේ සටන, බලන සටන, රංදෙනිවල සටන, ගන්නෝරුව සටන ආදි වහයෙන් සටන් මෙහෙය වුවද ඒවා ක්‍රමානූකූලව පරාජය කිරිමට උඩරැටියන් සමත් වී තිබේ. නමුත් 1638 පමන වන විට ලක්දිව දේශපාලන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූ අලුත් පිරිසක් හෙවත් ලන්දේසින් නිසාවෙන් පෘතිගීසින්ට උඩරට ආක්‍රමණය කිරීමට නොව ඔවුනට මුහුදු බඩ ප්‍රදේශ ලන්දේසින්ගෙන් ආරක්‍ෂා කරගැනීමට කටයුතු කරන්නට සිදු විය.
ලන්දේසි නැව් කණ්ඩායමක් පෙරදිගට සංක්‍රමණය වූයේ වස්කෝදගාමා පෙරදිගට සංක්‍රමණය වී ශතවර්ශයකට පමණ පසුවය. ඊට හේතු වූයේ පෘතුගීසි නෞකාවල වෙනත් යුරෝපීය ජාතිකයකු රැගෙන නොයෑමයි. මේ නිසා පෙරදිගට පැමිණීමට අවශ්‍ය සිතියම් දැනුම, විද්‍යාත්මක දැනුම, නෞකා ආදිය අනිකුත් යුරෝපීයන් අතට පත් නොවුණි. නමුත් 16 වන ශතවර්ශය අගභාගයේදි මෙම තත්වය වෙනස් විය. ලිංටෝචය නැමැති ලන්දේසි නිළධාරියා විසින් පෙරදිගට පැමිණීම පිළිබඳ තොරතුරු ඇතුළත් දේශාටක කෘති දෙකක් රචනා කරන ලදි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්‍යය යුරෝපීය ජාතීන් නොදත් වැදගත් කරුණු රැසක් හෙළිදරව් විය. ඉන් වසර කිහිපයක් ගතවීමට පෙර ලන්දේසි නැව් කණ්ඩායම් පෙරදිගට සංක්‍රමණය විය. ඒ සමග ඊන්දිය සාගරයේ පැවති පෘතුගීසි වෙළඳ ඒකාධිකාරිත්වය බිඳ වැටිණි. ලක්දිවට පැමිණි ලන්දේසින් උඩරට සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සුක විය. මේ පිළිබඳව විමසා බැලීමේදි එය අවස්ථා කිහිපයක් යටතේ විවරණය කල හැකිය.
1* ක්‍රි.ව- 1602-1638 කාලය.
2* ක්‍රි.ව-1638-1658 කාලය.
3* ක්‍රි.ව-1658-1679 කාලය.
4* ක්‍රි.ව-1679-1702 කාලය.
5* ක්‍රි.ව-1702-1796 කාලය.
මේ අනූව විශේෂයෙන් ක්‍රි.ව 1602 සිට 1796 දක්වා කාලය තුළ උඩරට රජුන් හා ලන්දේසින් අතර සම්බන්ධතා පැවති බව පැහැදිලි වේ. මේ අතරින් 1602-1638 එහි මුල් අවස්ථාවන් ලෙස සළකනු ලැබේ. ප්‍රථමයෙන් ස්පිල් බර්ජින් නැමැති ලන්දේසි දූතයා එවකට උඩරට රාජ්‍යයේ පාලකයා වූ පළමු විමලධර්මසූරිය රජතුමා මුණගැසුණු අතර 1638 ලන්දේසින් පලමු රාජසිංහ රජු සමග ගිවිසුමකට එළඹීමත් සමග ලන්දේසි උඩරට සම්බන්ධතාවය තහවුරු විය. 1635 සෙනරත් රජුගේ මරණයෙන් පසුව බලයට පත් වූ ඔහු පුත් දෙවන රාජසිංහ රජුගේ මූලික පරමාර්ථය වූයේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවලින් පෘතිගීසින් පළවා හැරීමයි. මේ සඳාහා 1638 වන විට ලන්දේසින් සමග ගිවිසුමකට එළඹ් අතර එමගින් ඉදිරිපත් වූ කරුණු මත ලන්දේසින් හා දෙවන රාජසිංහ රජු අතර පැවති සම්බන්ධතාවය කෙබඳුදැයි පැහැදිලි වේ.
  • මහනුවර රජු හා වැසියන් ලන්දේසින් තම කුලුපග මිතුරන් හා රටේ ආරක්‍ෂකයන් වහයෙන් පිළිගත්හ. ඒ අනූව ලන්දේසි රජුගේ ප්‍රදේශ අත්පත්කරගෙන සිටි පෘතුගීසින්ට විරුද්ධව ආධාර සැපයීමට ඉදිරිපත් විය. මෙසේ රාජසිංහ රජු උඩරට රාජ්‍යයේ අසහය පාලකයා බවත් ලංකාවේ කිසිම කොටසක් පාලනය කිරීමට පෘතුගීසින්ට කිසිම අයිතියක් නොමැති බවත් පිළිගත්හ.
  • බලකොටු රජුගේ සහය ඇතිව අල්ලාගත් විට ඉන් ලැබෙන ධනය දෙපාර්ශවය අතර සමසමව බෙදා ගැනිමට ගිවිස ගත්හ.
  • පෘතිගීසින්ගෙන් අල්ලා ගන්නා ලද බලකොටු ප්‍රමාණාත්කව ශක්තිමත් කර එහි ලන්දේසි හමුදා සන්නන්ධ කිරීමට උඩරට රජුගේ අනුමැතිය ඇත්නම් පමණක් ලන්දේසින්ට එසේ සිදුකළ හැකි බව ගිවිස ගත්හ.
  • ලන්දේසි භටයන් බලකොටු රකිනු ලැබුවහොත් ඔවුනට අවශ්‍යය මාස් පඩි ගෙවීමට රජු එකග විය.
  • පෘතුගීසින්ගේ බලකොටු පැහැරගත් පසු වෙළඳ ද්‍රව්‍ය සුදුසු තැන්හි රැස්කර තැබීමට අවසර දීමටත් ඒ සඳහා ලන්දේසි වෙළඳ ගබඩාවක් පිහිටුවා ගැනීමට අවසර දීමටත් රජු එකග විය. එමෙන්ම වෙඩි බෙහෙත් හා යුධායුධ රැස්කර තැබීම හා ඒ සඳහා අවශ්‍යය වෙළඳ ගබඩාවක් තනා දීමට රජු එකග විය.
  • පෘතිගීසින්ට විරුද්ධව පහරදීමට හෝ කුමන හෝ ක්‍රියාදාමයක් සිදු කිරීමට පෙර ලන්දේසින්ගේ ඉහළ නිළධාරින් සමග සාකච්ඡා කිරීමටත් ලන්දේසින්ට අවශ්‍යය ආධාර සැපයීමටත් රාජසිංහ රජු එකග විය. ඒ තුළින්ද රජුගේ සුවාධීනත්වයට බාධා එල්ල වූ බව පැහදිලිය.
  • ලන්දේසින්ගේ සියලුම යුධ වියදම් දැරීමට දෙවන රාජසිංහ රජුට සිදු විය.
  • මහනුවර රජු හා වැසියන් ලන්දේසින් සමග පමණක් වෙළඳාම් කිරීමට එකග වූ අතර පෘතුගීසි, ඉංග්‍රීසි, ප්‍රංශ ආදි අනෙකුත් යුරෝපීය ජාතීන් සසමග වෙළඳාම් කිරීමට දෙවන රාජසංහ රජුට තහනම් විය. එමගින් රජුගේ ස්වාධිපත්තියට බලපෑම් ඇති විය.
  • ගම්මිරිස්, කුරුඳු, කරඳමුංගු හා ඉටි පිරවූ නැවක් හෝ දෙකක් බතාවියට(ලන්දේසි පෙරදිග මධ්‍යස්ථානයට) යැවීමට රජුට සිදු විය.
  • ලන්දේසින්ට මහනුවර රාජ්‍යය සමග නිදහස් වෙළඳාමක් කරගෙන යාමට අවස්ථාවක් ලබාදුන් අතර ලන්දේසින් උඩරටදී මිලදීගත් භාණ්ඩ මුහුදු වෙරළටම ගෙනත් දීමට රාජසිංහ රජු එකග විය. එතුළින්ද පීඩාවට පත්වූයේ අසරණ ජනතාව බව පැහැදිලිය.
මෙම ගිවිසුම මගින් උඩරට රජුට හා වැසියන්ට පෘතුගීසින් සමග වෙළඳාම් කිරීම තහනම් වූ අතර පෘතුගීසින් පොදු සතුරා වශයෙන් සලකන ලදි. එසේම මෙම ගිවිසුමේ ප්‍රධාන වගන්ති පිළිබඳව සළකා බලන විට මහනුවර රාජ්‍යයේ ස්වාධීනත්වය හා නීත්‍යානුකූලත්වය යම්තරම් දුරකට සීමා වී ඇති බව පෙනේ. පළමුවන වගන්තිය තුළින් රජුගේ චක්‍රවර්ති භාවය පිළිගත් නමුත් මොවුන් රජුගේ තනි ආරක්‍ෂකයන් ලෙස පිළිගැනීමෙන් රජුගේ තත්වය දුර්වල විය. දෙවන රාජසිංහ රජුට අවශ්‍යය වූයේ කෙසේ හෝ මෙරට මුහුදුබඩ ප්‍රදේශවලින් පෘතුගීසින් පන්නා දැමීමට වන අතර ලන්දේසින්ගේ පරමාර්ථය වූයේ ප්‍රථමයෙන් වෙළඳ බලය අල්ලාගෙන අනතුරුව දේශපාලන ආධිපත්‍යය අල්ලා ගැනීමයි.
1658-1679 කාල සීමාව තුළ මෙහි දක්නට ලැබුනු සම්බන්ධතාවල මූලික ලක්‍ෂණය වූයේ දෙපක්‍ෂයම එනම් උඩරට, ලන්දේසින් යන දෙපිරිසම ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් ගෙන යාමයි. මේ කාලයේදි උඩරට රාජ්‍යය දෙසට දේශ සීමා ව්‍යාප්ත වීමත් දක්නට ලැබිණි. එමෙන්ම දෙවන රාජසංහ රජු යටතේ පැවති මඩකළපුව ත්‍රිකුණාමලය යන බලකොටුද මෙම කාලච්ඡෙදය වන විට ලන්දේසි ආධිපත්‍යයට පත්වන ලදි. මෙවැනි තත්වයන් හේතුකොටගෙන උඩරට රජු ලන්දේසින්ට විරුද්ධව කැරළි ඇති කරමින් පහතරට ජනතාව උඩරට පදිංචි කරලීමේ ප්‍රතිපත්තියක්ද අනුගමනය කරන ලදි. දෙවන රාජසංහ රජුගේ මෙම ප්‍රතිපත්තිය නිසා ලන්දේසින්ද වාණ්ිජ බෝග වගාව සඳහා දකුණු ඉන්දියාවෙන් වහලුන් ගෙන ඒමට උත්සුක වී තිබේ. මෙලෙස උඩරට විරෝධි ප්‍රහාරක ප්‍රතිපත්ති යටතේ දෙපක්‍ෂයේම වාණිජ කටයුතුවල අවහිරතා ඇති වී තිබේ. මින් පසු 1670 දී බතාවියා උපදෙස් මත ලොරන්ස් ෆීල් විසින් සාමකාමී යුගයක් ඇති කිරීමට කටයුතු කරන ලදි.
මේ වනවිට ලන්දේසින්ගේ අරමුණ වූයේ අඩුම පිරිවැයක් දරා උපරිම ලාභයක් ඉපැයීමයි. ඒ සඳහා ක්‍රි. ව 1679-1702 කාලය පමණ වනවිට සුදුසු වාතාවරණයක් ඇතිවී තිබේ. සාමකාමි යුගයක් පැවති මෙම කාලසීමාව තුල උඩරටින් වෙළඳ ද්‍රව්‍ය ලබාගැනීමට පහසුවන ආකාරයට කඩවත් විවෘත කර තැබීමත්, උඩරට රජුන්ටද කල්පිටිය, මන්නාරම වැනි වරායන් ඔස්සේ විදේශ වෙළඳාමට සහභාගි වීමට හැකි අයුරෙන් අවසර ලබාදී තිබිමත් කැපී පෙනේ. නමුත් 1702-1796 අතර කාලය වන විට නැවත දෙපක්‍ෂය අතර ගැටුම්කාරි තත්වයක් ඇති වී තිබේ. උඩරට රජුන් කඩවත් වසා දැමීමටද, ලන්දේසින් කල්පිටිය, මන්නාරම ඔස්සේ රජු ගෙන ගිය වෙළඳාමට අවහිර කිරීමටද පෙළඹුණහ. 1707 නරේන්ද්‍රසිංහ රජු අවෑමෙන් ශ්‍රී විජය රාජසිංහ නම් නායක්කාර වංශික රජු උඩරට බලයට පත්විය. නායක්කාරවරුන්ට සිංහල රජුන්ට වඩා විදේශ වෙළඳාමෙන් ලද හැකි වාසි ගැන අවබෝධ වී තිබිණි. මේ අතර නායක්කාරවරු ඉන්දියාවේ මදුරාසි ඉංග්‍රීසි රජය සමගද සබඳතා පැවැත්වීමට කටයුතු කරන ලදි.
කීර්ති ශ්‍රී රාජසිංහ දවස ජෝන් පීබස් නම් ඉංග්‍රීසි තානාපතිවරයා 1762 දී උඩරටට පැමිණිමත් සමග උඩරට හා ලන්දේසින් අතර පැවති සුහදතාවය අවසන් විය. ෆං ඒක් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයා උඩරට ආක්‍රමණය කරන ලද අතර ඉන් උඩරට රජු ජය ලැබිය. මින් පසු ෆ්ලැක් නම් ලන්දේසි ආණ්ඩුකාරවරයාද උඩරට ආක්‍රමණය කිරීමට කටයුතු කරන ලද බවත් සඳහන් වේ. මේ අතර1766 දී උඩරට රජු හා ලන්දේසින් අතර ඓතිහාසික හගුරන්කෙත සටන ඇති විය. සටනින් පසුව කල්පිටිය, මන්නාරම යන වරායන්ද මුහුදුබඩ ගව්වක බ්ම් තීරුවක්ද ලන්දේසින්ට හිමි විය. එහෙත් රජු ගිවිසුම කඩ කරමින් මදුරාසි ඉංග්‍රීසි රජය සමග සම්බන්ධතා පවත්වන ලදි. මේ පසුබිමේ නැපෝලියන් හමුදා ඕලන්දය ජය ගැනීමද ලන්දේසින්ට අවාසිදායක විය. ඕලන්ද පාලකයා වූ සුටැම් හෝල්ඩර් එංගලන්තයට පලාගොස් පෙරදිග ඕලන්ද විජිත ඉංග්‍රීසින්ට පවරා ලිපියක් නිකුත් කර තිබේ. මේත් සමග ඉංග්‍රීසි මුහුදුබඩ බලයට පත්වීමත් සමග ලන්දේසි සිංහල සම්බන්ධතාවයේ දැඩි පලුදු වීමක් ඇති විය.
ලන්දේසි පාලනය හා ශ්‍රී ලංකාව.
ශ්‍රී ලාංකික රජු විසින් ලන්දේසින් මෙරටට කැඳවූයේ පෘතගීසින් පළවා හැරීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනූව 1602 පමණ වන විට මෙරටට පැමිණෙන ලන්දේසින් ප්‍රථමයේන් මඩකළපුවට ගොඩ බසින් ලද අතර එහි පැමිණි ලන්දේසි ජාතික නාවික කපිතාන් ස්පිල්බර්ජන් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පළමු විමලධර්මසූරිය රජු දවස කන්ද උඩරටට පැමිණෙයි. මෙහිදි ඕලන්ද රජු වූ ඔරෙන්ජාහි විලියම් රජු විසින් එවන ලද ලිපියක්ද උඩරට රජුට ලබා දෙන අතර පෘතුගීසින් පලවා හැරීමට අවශ්‍යය නාවික බලය ලබා දීමට ඔවුහු ඉදිරිපත් වීම පිළබඳව උඩරට රජු බොහොසෙයින් සතුටු වූහ. කෙසේ වුවද මෙම දූත ගමනේදි කිසදු ගිවිසුමකට එළඹීමට නොහැකි වූහ. එතැන් සිට මාස තුනක් ගත වීමටද පෙර තවත් ලන්දේසි දූත පිරිසක් සී බෝල්ට් ද චාර්ට් නැමැත්තාගේ නායකත්වය යටතේ උඩරටට පැමිණෙණ අතර පළමු විමලධර්මසූරිය රජු විසින් සෙංකඩගල නුවරදී ඔවුන් මහත් හරසරින් පිළිගන්නා ලදි. අනතුරුව පෘතුගීසින් පලවා හැරීම සඳහා දෙපිරිස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී තිබේ. නමුත් මෙම කණ්ඩායමේ අනිසි හැසිරීම හේතු කොටගෙන රාජ පුරුෂයන් විසින් ඔවුන් විනාශ කරන ලද අතර මේ නිසා රජුගේ අපේක්‍ෂාව වූ පෘතුගීසින් පලවා හැරීමට ලන්දේසින්ගේ සහය ලබා ගැනීමේ අභිප්‍රාය බිඳ වැටිණ.
පළමු විමලධර්මසූරිය රජුට පසුව කන්ද උඩරට සිහසුනට පත් වූයේ සෙනරත් රජුය. මේ කාල සීමාව තුළ උඩරට රාජ්‍යයට වෙනත් විදේශීය රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම වැළකම්ම කෙරෙහි පෘතුගීසිහු මූලික වූහ. ඒ සඳහා උඩරට රාජ්‍යයට අයත් ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි වරායන් අල්ලා ගත් අතර මන්නාරම් මුහුදේ නැව් කණ්ඩායම්ද යොදවා තිබිණ. මොහුගෙන් පසුව බලයට පත්වන දෙවන රාජසිංහ රජතුමාගේද ප්‍රධාන අරමුණ වූයේ පෘතුගීසින් මෙරටින් පන්නා දැමීමයි. පෘතුගීසින් පලවා හැරීමට ප්‍රබල නාවික හමුදාවක අවශ්‍යයතාවය හඳුනාගෙන සිටි රාජසිංහ රජු නැවත ලන්දේසින්ගේ සහය ලබාගැනීමට අවශ්‍යය ලිපි හුවමාරුවක්ද සිදු කරන ලදි. මෙහිදි එක් යුරෝපීය ජාතියක් වෙනුවට වෙනත් යුරෝපීය ජාතියක් මෙරටට ගෙන්වා ගැනීම අපේක්‍ෂාව නොවූ අතර තමාට ලබා දෙන උපකාර වෙනුවෙන් රජු බලාපොරොත්තු වූයේ කුරුඳු වෙළඳාමේ අයිතිය හා නැගෙනහිර වෙරළේ වරායක් ලන්දේසින්ට ලබාදීම පමණි.
රජුගේ බලාපොරොත්තුව පරිදි ක්‍රි. ව 1638 දී මෙරටට පැමිණි වෙන්ටර් වෝල්ඞ් නැමැත්තාගේ නායකත්වයෙන් යුත් ලන්දේසි පිරිසක් මඩකලපුවට පැමිණ රාජසිංහ රජු හමු වී 1638 මැයි 23 වන දින දී ගිවිසුමක් අත්සන් කරන ලදි.
1638 ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි. 
  • පෘතුගීසින් සතු බලකොටුවලට පහරදී ඔවුන් මුහුදුබඩ ප්‍රදේශවලින් පලවා හැරීම ලන්දේසින් විසින් කළ යුතුයි.
  • යුධ වියදම් වෙනුවෙන් රජතුමා කුරුඳු, ගම්මිරිස්, මී ඉටි ලබාදිය යුතු අතර ඇතුන් හැර අනිකුත් වෙළඳ ද්‍රව්‍යයන්ගේ ඒකාධිකාරය ලන්දේසින්ට පවරා දිය යුතුයි.
  • පෘතුගීසින්ගෙන් අල්ලාගන්නා ලද බලකොටුවල උඩරට රජු කැමති පරිදි ලන්දේසි හමුදා නතර කළ යුතුයි.
  • රජතුමා ඔවුන්ගේ වැටුප්, ආහාරපාන ආදිය ලබාදිය යුතුයි.
රජතුමාගේ පිටපතේ තුන්වන වගන්තියට අනූව “උඩරට රජු කැමති පරිදි” යනුවෙන් සඳහන් වුවද ලන්දේසි පිටපතෙහි එවැන්නක් සඳහන් වී නොතිබිණ. මේ නිසා පසුකාලීනව එය රජු හා ලන්දේසින් අතර විවිධ මතභේද හටගැනීමට හේතු වී තිබේ. ගිවිසුම ලන්දේසින්ට වැඩි වාසි හිමි වීම මුල් කරගෙන ඉදිරිපත් වී ඇති බව පැහැදිලිය. කෙසේ වුවද මෙම ගිවිසුම අනූව පෘතුගීසින් පලවා හැරීම පහත පරිදි සිදු වී ඇත.
  • 1638 - මඩකලපුව බලකොටුව අල්ලා ගැනීම. 
  • 1639 - ත්‍රිකුණාමලය බලකොටුව අල්ලා ගැනීම.
  • 1640 - මීගමුව බලකොටුව අල්ලා ගැනීම.
  • 1640 - ගාල්ල බලකොටුව අල්ලා ගැනීම.
  • 1655 - කලුතර බලකොටුව අල්ලා ගැනීම. 
  • 1655 - අගුරුවාතොට බලකොටුව අල්ලා ගැනීම. 
  • 1658 - කොලඹ බලකොටුව අල්ලා ගැනීම. 
  • 1658 - යාපනය බලකොටුව අල්ලා ගැනීම.
මුල්කාල සීමාවන් තුළදි ලන්දේසි බලකොටු අල්ලා ගන්නා ලද අතර ඒවායේ තමන් රැඳි සිටිනුයේ උඩරට රජු වෙනුවෙන් බව පිළිගෙන තිබු අතර ඒ බව මුල්කාලීනව ඔවුන් භාවිතා කළ “ඔබගේ කොළඹ කොටුවේ කපිතාන්, ඔබගේ යටහත් සේවක” ආදි වචන ලිපිවල භාවිත කර තිබීමෙන් පැහැදිලි වේ. නමුත් ඔවුන් පසුකාලීනව රජතුමා නොසලකා ඇති බවක් දක්නට ලැබේ. ඒ බව දෙවන රාජසිංහ රජු ලන්දේසි බලකොටු ඉල්ලා සිටි විට බලකොටු අල්ලා ගැනීමට දැරූ වියදම් රජු විසින් ගෙවා දමන තුරු ඒවායේ රැඳි සිටින බවට ඔවුහු ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වේ. කෙසේ වෙතත් ලන්දේසින් හා රජු අතර මෙවැනි මතභේද පැවතියද 1658 වන විට මොවුහු පෘතුගීසි බලය ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවලින් තුරන් කරලීමට සමත් වී තිබේ.
රාජසිංහ රජු 1658 වන විට පෘතුගීසින් සතුව පැවති ප්‍රදේශවලින් සම්පූර්ණ සත්කෝරළය, සබරගමුවේ කොටස්, මඩකලපුව, ත්‍රිකුණාමලය, මීගමුව සිට පුත්තලම දක්වා විශාල ප්‍රදේශ රාශියක් තමන් යටතට ගැනීමට සමත් වී තිබේ. එසේම උඩරට රජු කල්පිටිය හා මීගමුව වරායන් ඔස්සේ ඉන්දියාව හා සම්බන්ධතා පැවැත්වූ අතර ඒ සඳහාද ලන්දේසින්ගේ විරුද්ධත්වයක් එල්ල වී ඇත. ලන්දේසින්ගේ පීඩා හමුවේ උඩරටට පලා ගිය කතෝලිකයන්ට රජතුමා මහනුවර ගලේවෙල, වහකෝට්ටේ ආදි ප්‍රදේශවල රැකවරණය ලබාදීම පිළිබඳවද විරුද්ධත්වය පලකොට තිබේ. මේ නිසා 1659-1668 කාලය තුළ උඩරට රාජ්‍යයේ විශාල ප්‍රදේශයක් ලන්දේසින් විසින් ක්‍රමාණුකූලව අත්කරගනිමින් සිට ඇත. එසේම කල්පිටිය වරායද අල්ලාගෙන තිබේ. මෙයින් පැහැදිලි වන්නේ පෘතුගීසින් වෙනුවට වෙනත් යුරෝපීය ජාතියක සම්ප්‍රාප්තියකි. මෙය ඉගුරු දී මිරිස් ගත්තාක් වැනි ක්‍රියාවකට උපමා කර ඇත්තේද ඒ නිසාය.
ක්‍රි.ව 1670-1680 අතර කාලයේ රජුද ප්‍රහාර එල්ල කළේය. මේ නිසා ලන්දේසින් අල්ලා ගෙන තිබූ උඩරට බොහෝ ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමට රාජසිංහ රජු සමත් විය. එලෙස රජු විසින් නැවත අල්ලා ගන්නා ලද ප්‍රදේශ අතර කල්පිටිය වරාය, ත්‍රිකුණාමලය, කොට්ටියාරම, මඩකලපුව වැනි වරායන්ද, මඩකලපුවේ සිට වලවේ ගග දක්වා ගිණිකොන දිග වෙරළ තීරයද කැලණි ගග හා කලු ගග අතර කොටස්ද විය. මෙම කාලයේදී රජුගෙන් දැඩි ප්‍රහාර එල්ල වීමත් සමග ලන්දේසින් මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කටයුතු කර ඇත. ආණ්ඩුකාර තනතුර දැරූ ලොරන්ස් ෆීල් විසින් රජුට වටිනා තෑගි භෝග ලබා දෙමින් මිත්‍රත්වය වර්ධනය කරගැණීමට උත්සුක වි ඇති බව සඳහන් වේ.
දෙවන රාජසිංහ රජුට අවශ්‍යය වූයේ තම මව්බිම වෙනත් ජාතියකට අයත් නොමැති ස්වාධීන රාජ්‍යයක් කරලීමටය. ඒ සඳහා ඔහු පෘතුගීසින් පන්නා දැමූ අතර පසුකාලීනව ලන්දේසින් සමගද දැඩි සටන් මෙහෙය විය. නමුත් රජුට එරෙහිව අඹන්වෙල රටේරාළගේ මූලිකත්වයෙන් කුමන්ත්‍රණයක්ද සිදු විය. ක්‍රි.ව 1687 වන විට දෙවන රාජසිංහ රජු මිය ගිය අතර ඔහු අවෑමෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජු බලයට පත්විය. ඔහු භික්‍ෂූන් වහන්සේලා සමීපයෙහි වැඩුණු ධාර්මික පාලකයෙකි. සිය පිය රජුගෙන් උරුම වූ රාජ්‍යය ආරක්‍ෂා කරගැනීමට උත්සුක විය. ඒ සඳහා ඔහු ලන්දේසින් සමග මිත්‍රශීලිව කටයුතු කර ඇත. මේ වනවිටත් යුද්ධය සඳහා අධික වියදමක් දැරීමට සිදු වූ නිසා ලන්දේසින්ද උඩරට පාලකයන් සමග සුහදව ක්‍රියා කිරීමට පියවර ගෙන තිබේ. මේ ආකාරයට උඩරට රජුන් හා ලන්දේසින් අතර සාමය පවත්ගෙන යාම සඳහා දෙපාර්ශවය විසින් ගන්නා ලද පියවර මෙසේ දැක්විය හැක.
  • දෙවන විමලධර්මසූරිය රජුගේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් ලන්දේසින් කොළඹ උත්සව පැවැත්වීම. 
  • රජුට ඇති බලතල අනූව වැලිගම ප්‍රදේශය බස්නායකවරයෙකුට පැවරීම ලන්දේසින් පිළිගැනීම. 
  • රජු විසින් පිටිගල් කොරළයේ කුරුඳු තැලීමට ලන්දේසින්ට පනවා තිබූ තහනම ඉවත් කිරීම. 
  • රජුගේ කුරුඳු, පුවක්, ඇතුන් වෙළඳ සාමාගම මගින් මිළදී ගැනීමට එකග වීම. 
  • පහළ බුරුමයෙන් උපසම්පදා භික්‍ෂූන් ගෙන්වා ගැනීමට ලන්දේසි නැව් ලබාදීම. 
  • 1769 දී ලෝරන්ස් ෆීල් ආණ්ඩුකාවරයා මඩකලපුව, කල්පිටිය, කොට්ටියාරම, ත්‍රිකුණාමලය වැනි වරායන් රජුගේ යාත්‍රාවන්ට විවෘත කරදීමට යෝජනා කිරීම. 
  • රජුගේ යටහත් සේවක, මහරජුගේ බලකොටුව, ත්‍රී සිංහලාධීශ්වර වැනි යෙදුම් ලිපිවල සඳහන් කිරීම. 
  • රජුට 1697 දී තන්ජෝරයෙන් මනාළියක් ගෙන්වාගැනීමට නැව් ලබාදීම.
ලන්දේසින් මෙවැනි මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කරන අතරම ඔවුනටද වාසි සහගත වන අයුරෙන් ගිවිසුමක් 1688 දී පමණ රජුට ඉදිරිපත් රන ලදි. එහි ඇතුළත් කරුණු මෙසේ දැක්විය හැකිය.
1688 ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි.
  • 1638 ගිවිසුම ප්‍රකාරව අයවි යුතු ණය ලන්දේසින්ට ලබාදිය යුතුය. 
  • දෙපක්‍ෂය අතර වෙළදාමේදි බදු අය නොකළ යුතුය. 
  • කුරුඳු, ගම්මිරිස්, ඇත්දත්, මී ඉටි වැනි භාණ්ඩ රජතුමා සිය වෙළඳ සමාගමට පමණක් ලබාදිය යුතුය. 
  • රජු ඉංග්‍රීසි, ප්‍රංශ, ඩෙන්මාර්ක්, ජර්මන් වැනි යුරෝපීය ජාතීන් සමග සබඳතා නොපැවැත්වය යුතුය.
  • රෝමානු කතෝලික පූජකවරුන් උඩරටින් නෙරපිය යුතුය.
මෙම කරුණු අනූව පැහැදිලි වන්නේ ලන්දේසින් තමන්ට වාසි සහගත අයුරෙන් ගිවිසුම ඉදිරිපත් කර ඇති බවයි. නමුත් සිය දේශයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කළ රජතුමා එම ගිවිසුම දැඩිව ප්‍රතික්‍ෂෙප කර තිබේ. එය මෙරට රජුගේ පෞඩත්වය හා එඩිතර බව මැනවින් කැපී පෙනෙන ලක්‍ෂණයක් ලෙස දැක්විය හැක.
දෙවන විමලධර්මසූරිය රජුට පසුව ක්‍රි.ව 1707 දී ඔහු පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමරු රාජ්‍යත්වයට පත්විය. ඔහු සිය පියා මෙන් කාර්්‍යශූර හෝ ආගමික භක්තියකින් යුත් පාලකයකු නොවීය. මොහු දකුණු ඉන්දීය නායක්කාර වංශික කුමාරිකාවක සමග ඵීවාහ විය. ඔවුනට දරුවන් නොසිටි නිසා රාජ්‍යය කටයුතුවලදී සිය භාර්්‍යාවන් හා සහෝදරයින් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කර තිබේ. ඔවුන් මෙරට හා දකුණු ඉන්දියාව අතර වෙළඳ කටයුතුවල නියැලෙමින් මෙරටින් ගම්මිරිස්, කුරුඳු, පුවක්, ඇත්දල, ඇතුන් ආදිය ඉන්දියාවට ගෙන ගොස් තිබේ. මෙය ලන්දේසින්ට මහත් පාඩුවක් ලෙස සැලකූ ඔවුහු රජුට අයත් කල්පිටිය වැනි වරායන් වසාදමා තිබේ. 1712 පමණ වන විට රජුගේ වරායන් විවෘත කරන ලෙස රජු ඉල්ලා සිටියද එය සිදු නොකළ හෙයින් ද උඩරට රාජ සභාවට පිවිස නොමනා හැසිරීමෙන් ක්‍රියා කළ විලියම් හෙන්ඩි්‍රක්ගේ ක්‍රියා කලාපය හේතු කොටගෙන මුහුදුබඩ ප්‍රදේශවල සිට උඩරටට ඇතුලුවන සියලු කඩවත් වසා දමන ලදි. රජු එසේ සිදු කර ඇත්තේ ලන්දේසින් නැවත වරායන් විවෘත කරාවිදැයි යන සිතුව්ල්ලෙනි. නමුත් ඔවුන් එවැන්නක් සිදු නොකරන ලදි. මේ නිසා ලන්දේසි පාලන ප්‍රදේශවල සිටි පීඩාවට පත් කුරුඳු තලන්නන් රජු විසින් උඩරටට ගෙන්වා ගන්නා ලද අතර එය එම ප්‍රදේශවල කැරලි කෝලහාල ඇති වීම කෙරෙහිද බලපා ඇත.
ලන්දේසින්ට විරුද්ධව ඇති වූ ජනතා විරෝධතාවල ස්වභාවය.
  • 1713-1714 දී සියනෑ කෝරළයේ හා මාතර දිසාවේ වැසියන් ලන්දේසින්ට විරුද්ධව කැරලි ගැසීම. 
  • කුරුඳු තලන්නන් වැඩ වර්ජනය කිරීම හා උඩරට රාජ්‍යයට පැනයාම. 
  • ගාල්ල, මාතර, කල්පිටිය. හේවාගම, රයිගම, ඇතුලු කෝරළවලටද තත්වය ව්‍යාප්ත විය. 
  • මේ තත්වය පිටුපස උඩරට රදළ ප්‍රධානීන් සිටින බව ලන්දේසින් සිතීම.
  • ලන්දේසින්ට එරෙහිව ජනතා විරෝධතා එල්ල වුවද උඩරට රජු ඒවායින් ප්‍රයෝජන නොගැනීම.
මෙම කලබලකාරි තත්වය තුරන් කිරීමට විලෙම් බැරන් ආණ්ඩුකාරවරයා කටයුතු කළේය. ඔහු ගත් ක්‍රියා මාර්ග මෙසේය.
  • උඩරට රාජ්‍යය වෙත දූතයන් යැවීම හා නරේන්ද්‍රසිංහ රජුද කැරලිවලට තමාගේ සම්බන්ධයක් නැති බව දැන්වීම.
  • ලන්දේසින් විසින් කුරුඳු තලන්නන්ට පනවා තිබූ නීති රීති ලිහිල් කර ඔවුන් නැවත සේවයට ගෙන්වා ගැනීම.
  • ඉම් හොප් ආණ්ඩුකාර තැන රජුගේ වරායන් ලබාදීමට බතාවියට නිර්දේශ කළද එය ප්‍රතික්‍ෂෙප වීය.
ක්‍රි.ව 1739 වන විට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුද මියගයේය. රජකම බාර දීමට ඔහුට දරුවන් නොසිටි නිසා ඔහුගේ බිරිඳගේ සහෝදරයකු වූ නායක්කාර වංශික ශ්‍රී විජය රාජසිංහ රජු රජ බවට පත්විය. මෙකල සිට් වැලිවිට සරණංකර සාමණේර හිමියන්ගේ උපදෙස් පරිදි බුරුම දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැනීමට ලන්දේසි සහය ලබා ගැනීමට රජතුමා කටයුතු කළේය. බුරුමයට යැවූ සිංහල දූත පිරිස රැගත් නෞකාව විනාශ වීම නිසා එම ප්‍රයත්නය අසාර්ථක වී තිබේ. කෙසේ වෙතත් ශ්‍රී විජය රාජසිංහ රජු දිගින් දිගටම දකුණු ඉන්දියාව සමග වෙළඳ කටයුතු කරගෙන යාමට ක්‍රියා කළේය. එය ලන්දේසි වෙළඳ සමාගමට අවාසි සහගත විය. මේ නිසා උඩරටට අයත් වරායන් තවදුරටත් ඔවුන් යටතේ තබාගැනීමට කටයුතු කරන ලදි. රජු විසින් වරායන් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද එය නොදුන් බැවින් රජුද උඩරට ප්‍රදේශවලින් ලන්දේසින්ට වෙළඳ ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකි වන කඩවත් වසා දැමීය. උඩරට රජු සමග කෙතරම් අමනාපකම් තිබුණද මේ වන විට ඉංග්‍රීසි, ප්‍රංශ ජාතිකයින් ඉන්දිය සාගරයට පැමිණ සිටි බැවින් උඩරට රජුට එරෙහිව ක්‍රියා කිරීමට ඕලන්දයට නොහැකි විය.
1747 වන විට ශ්‍රී විජය රාජසිංහ රජුද මිය ගිය අතර රාජ්‍යය බාරදීමට ඔහුටද පුතෙකු නොසිටි බැවින් සිය බිරිඳගේ සොයුරු කීර්ති ශ්‍රී රාජසිංහ කුමරු බලයට පත් වී තිබේ. මේ කාලයේ මුහුදු බඩ ප්‍රදේශයේ කුරුඳු තලන්නන් පීඩාවට පත් වී සිටි නිසා ඔවුහු කැරලි ගැසූහ. එයින් ලන්දේසින්ගේ ආදායමද පහළ ගියේය. එය පියවා ගැනීමට උපක්‍රමයක් වශයෙන් ඉඩම් බදු වැඩි කළද ඒ සඳහා විරෝධතා එල්ල වී තිබේ. මෙය වාසියට ගත් උඩරට රජු ලන්දේසි පාලන ප්‍රදේශවල කැරලිකරුවන්ට ආධාර අනුබල ලබාදුන්නේය. ඉන් නොනැවති රජු තම හමුදා මෙහෙයවා හංවැල්ල බලකොටුව අල්ලාගෙන මාතර, ගාල්ල බලකොටුද විනාශ කර තිබේ.
මෙවැනි තත්වයක් හේතු කොටගෙන ක්‍රි.ව 1762 දී කන්ද උඩරට රාජ්‍යය හා ලන්දේසින් අතර ඇති වූ අමනාපකම් දැඩි විය. මේ නිසා ලන්දේසින්ට විරුද්ධව වෙනත් ජාතීන්ගේ සහය ලබා ගැනීම කෙරෙහි රජු අවධානය යොමු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1762 දී ජෝන් ෆයිබස් නැමැත්තා උඩරට රාජ සභාවට දූතයකු ලෙස පැමිණ තිබේ.
මෙයින් කලබලයට පත් වූ ලන්දේසින් පුත්තලම, කල්පිටිය වරායන් අල්ලා ගෙන මාතර තාරකා කොටුව ඉදිකර උඩරට ආක්‍රමණය කිරීමට කටයුතු කළේය. ඔවුනට සහය වන පිරිස්හි අනිවාර්්‍යය රාජකාරි ක්‍රමයෙන් නිදහස් කරන බවද ප්‍රකාශ කර තිබේ. බැරන් ෆන් එක් ආණ්ඩුකාරවරයා යටතේ ලන්දේසි හමුදා උඩරට ආක්‍රමණය සඳහා දුර්ග මාර්ග ඔස්සේ පැමිණීමේදි සිංහල හමුදා ඔවුන්ව පහසුවෙන්ම පරාජය කොට තිබේ. නමුත් මේ වන විට උඩරට සහයෝගය පිළිබඳව තරමක් මතභේද ඇති වූ කාල පරාසයක් විය. ඊට හේතුව උඩරට රජු නායක්කාර වංශිකයකු වූ බැවින් රදළවරුන්ගේ අමනාපකමක් පැවතීමයි. මෙම තත්වයෙන් ප්‍රයෝජන ගන්නා ලන්දේසින් රජුට විරුද්ධ වූ රදළයින්ගේ සහයෙන් සත්කෝරළය හරහා හමුදාවක් යවා ආක්‍රමණයක් සිදු කරයි. එම ආක්‍රමණයේදි රදළ සහය නොලැබීම නිසා රජු පලාගොස් ඇති අතර ලන්දේසින් ඉල්ලන ඕනෑම දෙයක් දීමට රජු පොරොන්දු වී ඇත. ලන්දේසින්ගේ ඉල්ලීම වූයේ රජු කිරුළ ආණ්ඩුකාරවරයාගේ පාමුල තබා පසුව ගෙන වෙළඳ සමාගමට කප්පම් ගෙවිය යුතු බවයි. රජු මෙයට විරුද්ධ වි යුද්ධයකට කැමති වේ. උඩරටට පැමිණෙන ලන්දේසි හමුදා සිංහලයන් අතින් අන්ත පරාජයකට පත් වේ. පරාජයෙන් පසුව ඕලන්ද රජය විසින් ෆන් එක් ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කොට ඒ සඳහා විලෙම් ෆල්ක් ආණ්ඩුකාර ධූරයට පත්කරන ලදි.
නායක්කාර වංශිකයන්ගේ ක්‍රියා නිසා මෙරට රදළයන්ගේද, භික්‍ෂූන්ගේද, ජනතාවගේද අප්‍රසාදයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පත් විය. මේ බව දැනගත් රජු ලන්දේසින් වෙත සාමය සඳහා දූතයන් පිටත් කොට හැරීය. ඉන් ප්‍රයෝජන ගන්නා ෆල්ක් ආණ්ඩුකාරවරයා කොන්දේසි මාලාවක් ඉදිරිපත් කරනු ලබයි. එයට රජු එකග වන අතර 1766 දී වගන්ති 25කින් යුත් ගිවිසුමක් අත්සන් කරන ලදි. එම ගිවිසුමේ වගන්ති කිහිපයක් මෙසේය.
1766 ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි. 
  • එක් පාර්ශවයකට පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමත් අනෙක් පාර්ශවයට රජු හා අමාත්‍යය මණ්ඩලයත් අත්සන් තබා සමගිව කටයුතු කළ යුතුය. 
  • යාපා පටුන, කල්පිටිය, කොළඹ දිසාව ගාලු කෝරළය, පුලියන්දුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශද ලන්දේසින්ට අයත් සේ පිළිගත යුතුය. 
  • මුහුදුබඩ සිට රට තුළට සිංහල ගව්වක(සැතපුම් 4) ප්‍රමාණයක් ලන්දේසින්ට අයත් විය යුතය.
1766 ගිවිසුමේ ප්‍රතිඵල
  • මෙම ගිවිසුම ලන්දේසි බලය වර්ධනය වීමේ උපරිම අවස්ථාව විය. 
  • උඩරට රාජ්‍යය සතු සියලුම වරායන් අහිමි වීමෙන් වෙළඳ හා විදේශ කටයුතු මුලුමණින්ම අඩාල වීම. 
  • ලුණු ලේවායන් පැවති ප්‍රදේශ ලන්දේසින්ට අයත් වූ බැවින් උඩරට ප්‍රදේශවලට අවශ්‍ය ලුණු ලබාගැනීම සඳහා විදේශීය ජාතිකයන්ගේ සරණ පැතිය යුතු වීම. ද
  • ලන්දේසින් පලවා හැරිය යුතු බව රජුට මෙන්ම රදළ ප්‍රධානීන්ටද වැටහීම.
  • රදළ ප්‍රධානීන්ටද වෙළඳාමෙන් ලැබුනු ආදායම අහිමි වීම.
1766 ගිවිසුම ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම ගිවිසුම ලෙස සැලකිය හැකිය. මේ නිසා ගිවිසුම අවලංගු කරන ලෙස රජු ඇතුලු ඇමතිවරුන් ඉල්ලා සිටියද එය සිදු නොවුණි. එබැවින් ලන්f්සින් පලවා හැරීම සඳහා විදේශීය ජාතියකගේ සහය ලබා ගැනීමට රජු ඇතුලු පිරිස තීරණය කර තිබේ. ඉන් පසු ලන්දේසින් පලවා හැරීමට ඉදිරිපත් වූ ඉංග්‍රීසින්ගේ සහය ඇතිව ලන්දේසින් පලවා හැරීමට කටයුතු කර ඇත.
ලන්දේසි පාලන සමය හේතු කොට ගෙන මෙරට ඇති වූ ප්‍රධාන ප්‍රතිඵල.
පෘතුග්‍රීසින්ගෙන් අනතුරුව ලන්දේසීන් ලක්දිව මුහුදු බඩ ප්‍රදේශවල දේශපාලන බලය තහවුරු කර ගත් අතර ලක්දිව ලන්දේසි පාලන සමය හේතු කොට ගෙන මෙරට දේශපාලන, ආර්ථික, ආගමික, සමාජීය, සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයකම වෙනස්කම් රාශියක් ඇති වී තිබේ. ලන්දේසීන්ගේ පැමිණීම නිසා දේශීය ජන ජීවිතයෙහි භේදකාරී තත්ත්වයක් ඇති වීමට හේතු වී තිබේ. එනම් පහතරට සිංහල හා උඩරට සිංහල යන භේදය ලන්දේසි පාලන සමය තුළ තව දුරටත් වර්ධනය විය. පෘතුග්‍රීසි පාලන සමය තුළ පහතරට මුහුදුබඩ ප්‍රදේශ වල පෘතුග්‍රීසි සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘතින් ව්‍යාප්ත වීම නිසා පහතරට සිංහල ජනතාව පෘතුග්‍රීසින් සමඟ සම්මිශ්‍රනය වීම නිසාත් ඔවුන් පහත් පිරිසක් සේ සැලකීමට උඩරැටියන් පෙළඹී තිබේ. නමුත් උඩරැටියන් පෘතුග්‍රීසින් සමඟ සමුමිශ්‍රනය නොවී දේශීය චිරාගත සම්ප්‍රදියන් සංස්කෘතින් ආරක්ෂා කර ගැනීමට සමත් වීම නිසා ඔවුන් ඒ පිළිබඳව කුල ගර්වයක් ඇති කර ගැනීම නිසා ඔවුන් උසස් පිරිසක් වශයෙන් සැලකීමට පෙළඹිණි. පෘතුග්‍රීසින්ගෙන් අනතුරුව ලන්දේසීන් ලක්දිව මුහුදුබඩ ප්‍රදේශවල බලය තහවුරු කර ගත් අතර ලන්දේසීන්ගේ සිරිත් විරිත් සමුප්‍රදායන් සංස්කෘතීන් මුහුදු බඩ ප්‍රදේශවල ව්‍යාප්ත වීම නිසා ලන්දේසීන් උඩරට යටත් කර ගැනීමට අසමත් වීම නිසා පෘතුග්‍රීසී යුගයේ ආරම්භ වී තිබුණු උඩරට සිංහල පහතරට සිංහල භේදය ලන්දේසි යුගයේ දී තවදුරටත් වර්ධනය වූ බව පැහැදිලිය. මෙලෙෂ සෑම ක්‍ෂෙත්‍රයකම පාහේ නොයෙක් වෙනස්කම් ලන්දේසි පාලනය මුල් කරගෙන ඇති වී ඇති බව පෙනේ.
මේ අනූව ශ්‍රී ලංකා රාජධානිය ඒ ඒ කාලවලදී පත් වූ පාලකයන් විසින් සාමකාමීව මෙන්ම ගැටලුකාරි තත්වයන්ට මැදිවෙමින්ද පාලනය කර තිබේ. ඒ අතර 16 වන සියවස යනු තරමක් ආක්‍රමණකාරි පිරිස්හි වැඩි බලපෑමක් එල්ල වූ අවධියකි. එය ලංකා දේශපාලනය නව මංපෙත් කරා යොමු වීමට හැරවුම් ලක්‍ෂයක් වූයේයැයි පැවසීම නිවැරදිය. මෙම කාලය වන විට ලංකාව කෝට්ටේ, යාපනය, කන්ද උඩරට යනුවෙන් ප්‍රධාන දේශපාලන කොටස් තුනකටද, තවත් අර්ධ ස්වාධීන කොටස් කිහිපයකටද බෙදී පැවතිණි. ඒ අතරින් කෝට්ටේ ප්‍රධාන රාජ්‍යය ලෙස පිළිගන්නා ලද අතරම යාපනය පරරාජශේකරම් යටතේ ස්වාධීන වී පාලනය විය. එසේම කන්ද උඩරට රාජධානියද සේනාසම්මත වික්‍රමබාහු යටතේ ස්වාධීන රාජ්‍යයක් විය.මෙලෙස යාපනය හා කන්ද උඩරට ස්වාධීන වීමෙන් කෝට්ටේ රාජ්‍යය දේශපාලන හා යුධමය වශයෙන් දුර්වල විය.
රාජධානි උඩරටට සංක්‍රමණය වීමත් සමග පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුරෝපීය ජාතිකයින්ගේ බලපෑම් සෘජුවම එල්ල වී තිබේ. ප්‍රථමයෙන් මොවුන් ලක්දිවට පැමිණ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත්තද උඩරට රාජධානියට කිසිදු බලපෑමක් එල්ල කිරීමට නොහැකි විය. ඒ උඩරට තුළ පැවති භූමියේ පිහිටිමත්, ජනතාව සතු එකමුතුකමත් නිසාය. නමුත් විට විටින් බලයට පත් වූ පාලකයන්ගේ අඩුපාඩු නිසාත්, බලයට තිබූ කෑදරකම, දුර දක්නා නුවණ මඳකම හා ඔවුන්ගේ අභිප්‍රායන්හි වෙනස්කම් නිසා ස්වාධීනව පැවති උඩරට කෙමෙන් කෙමෙන් ඒ බවින් ඈත් වන්නට විය. විදේශිය ජාතිකයින් පොදු අරමුණක් සහිතව නිතර උඩරට දෙස අවධානයෙන් සිටියහ. සරුසාරවත් ප්‍රදේශයක් වූ උඩරට භූමිය තුළ වැවුනු භෝගයන් කෙරෙහිද, ලාභ ලබමින් ආර්ථික ශක්තිමත් භාවයක් ඇති කරගැනීම කෙරෙහිද ඔවුහු විමසිල්ලෙන් සිටියහ. ඒ නිසා කුමන හෝ ආකාරයකින් උඩරට තමන් නතු කර ගැනීම ඔවුන්ගේ එකම අභිලාෂය විය. ඒ අනූව මුලින්ම පෘතුගීසින්ගේ බලපෑම කන්ද උඩරටට යොමු වූ අතර පසුව ලන්දේසි හා ඉංග්‍රීසින්ගේද සංක්‍රමණය සිදු විය.
මේ අයුරින් පෘතුගීසින්ට පසුව උඩරට ආක්‍රමණය කරන ලද්දේ ලන්දේසින්ය. ඔවුන් මුලින් රජුට උපකාර කරන අයුරෙන් සිට පසුව බලය ලබා ගැනීමට ක්‍රියා කර ඇත. මේ තත්වය මත රජුට හා ජනතාවට උඩරජට රාජ්‍යයේ ස්වාධීනත්වය රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. ලන්දේසින්ගේ මෙම පාලන සමය හේතකොටගෙන මෙරට දේශපාලන, ආර්ථික, ආගමික, සමාජීය හා සංස්කෘතික ක්‍ෂෙත්‍රයන්හි වෙනස්කම් රාශියක් දක්නට ලැබේ. එමෙන්ම ලන්දේසි පාලනය මෙරට පාලන ක්‍ෂෙත්‍රය වෙනත් මගකට යොමු කරලීමටද ප්‍රබල බලපෑමක් වී ඇති බව පැහැදිලි වේ.

1 comment:

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...