Tuesday, March 26, 2019

ඉතිහාසය හැදෑරීමෙහිලා ශිලා ලේඛනයන්හි උපයෝගිතාවය



වර්තමානයේ ජීවත්වන්නා යටගියාවේ සංසිද්ධීන් පිළිබඳ උපදවා ගන්නා සංජානනය රඳාපවතිනුයේ මූලාශ්‍රයන් මතය. ක්‍රමවත් වූත් නිර්වද්‍ය වූත් මූලාශ්‍රයන් පිහිටාධාර කොටගෙන අතීතවර්තිත සජීවි අජීවි සෑමදෙයක් පිළිබඳවම මනාවබෝධයක් වර්තමානයේ හා අනාගතේ දිවිගෙවන්නාට ලබාගතහැකිය. මේහෙයින් මූලාශ්‍රයන්හි ක්‍රමවත්භාවය හා නිරවද්‍ය භාවය අවශ්‍යකෙරේ. මෙනයින් තොරතුරු සංප්‍රේක්‍ෂණය කෙරෙන මූලාශ්‍ර දෙයාකාරව හදුනාගත හැකිය.
  • සාහිත්‍යමය මූලාශ්‍ර
  • පුරාවිද්‍යමය මූලාශ්‍ර
මෙහි සාහිත්‍යමය මූලාශ්‍ර යනුවෙන් සඳහන් කෙරෙණූයේ ඉතිහාස තොරතුරු වාර්තාකෙරෙන සාහිත්‍ය ග්‍රන්ථයන්ය. ඉතිහාසය හෙළිපෙහෙළි කිරීමේ අටියෙන්ම රචිත ග්‍රන්ථ මෙහිලා මූලික වශයෙන් සලකනුලැබේ. දෙවනුව සාහිත්‍යනයින් රචනාකළද ඇතැම් ග්‍රන්ථයන්හිද ඓතිහාසික තොරතුරුද සඳහන්වේ එබදු ග්‍රන්ථයන්ද සාහිත්‍යමය මූලාශ්‍ර ගණයෙහිලා ගිණිය හැකිය . සමස්තයක් වශයෙන් යම් රටක හෝ යම් පරම්පරාවක ඉතිහාස ගත තොරතුරු අන්තර්ගතවන සාහිත්‍යමූලාශ්‍ර දෙපරිද්දකින් හදුනාගත හැකිය.
  • දේශිය සාහිත්‍ය මූලාශ්‍ර
  • විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර
නිර්වද්‍ය ඉතිහාසයක් ගොඩනැංවීමෙහිලා පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් සඳහා පහත සඳහන් දෑ අදාළ කරගත හැකිය.
  • අභිලේඛන
  • නානක මූලාශ්‍ර
  • නටබුන්(මූර්ති කැටයම්)
අභිලේඛන ගණයෙහිලා ශිලාලිපි රන් සහ තඹ තහඩුවල කොටාඇති ලිපි ලෝහතහඩුවල ලියා ඇති සන්නස් කැටපත් පවුරු ගී ආදි සියල්ල ගිණිය හැකිය.ලිවීම සඳහාම සකස්කළ ගලක සටහන්කළ ලියවිල්ල ශිලා ලේඛන නම්වේ. මෙය ප්‍රධාන වශයෙන් කොටස් පහක් යටතේ වර්ග කළ හැකිය.
  • ලෙන්ලිපි
  • ටැම්ලිපි
  • පුවරුලිපි
  • ගිරිලිපි
  • වෙනත්ලිපි
ලෙනක හෝ ගුහාවක කටාරම අසල හෝ ලෙන තුළ කොටා ඇති ලිපි ලෙන්ලිපි ලෙස සැලකේ. ලාංකේය ඉතිහාසය තුළ ක්‍රිෂ්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ සිට ක්‍රිෂ්තුවර්ෂ පළමු හා දෙවන ශතවර්ෂ දක්වා දක්නට ලැබෙන ශිලාලිපි බොහෝමයක් ලෙන් ලිපිය. වෙස්සගිරිය මිහින්තලය රිටිගල ආදි ස්ථානවලින් සොයායාගන්නා ලද ලිපි මෙයට සාක්‍ෂිය. මෙබදු ලිපි විස්තීර්ණ බවින් තොර ඉතා සංක්‍ෂිප්ත භාවයෙන් යුක්තය.
සිටුවන ලද ගල්කණුවක ජනතාවට දැක ගැනීමට හැකිවන පරිද්දෙන් රචනා කරන ලද ලිපි ටැම් ලිපිවේ. ලෑල්ලක් හෝ ගල්පුවරුවක් ආධාර කරගනිමින් පුවරු ලිපි සකස් කෙරේ. මෙබදු ලිපි ලෙන්ලිපි වලට සාපේක්‍ෂව තරමක් ඉතා දීර්ඝ ලිපිය. විහාරාරාමයන්ට කරන ලද ප්‍රදානයන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ අටියෙන් මෙම ලිපි සකස්කරනු ලැබුවද ඇතැම් විට කිසියම් නීතිරීති ජනතාවගේ දැනගැනීම උදෙසා ද සටහන් කර තැබීමේ අරමුණින් කොටා ඇති බව බදුලු ටැම්ලිපියෙන් පනැහැදිළිවේ.
කිසියම් පර්වතයක් මත කොටවා ඇති ලිපි ගිරිලිපි ලෙසින් හදුන්වයි. මෙම ගණයට අදාළ ලිපි පෙරිමියන්කුලම ගලපාත විහාරය ගඩලාදෙණිය ආදි ස්ථානයන්හි හමුවේ. මීට අමතරව අන්තර්ගත කරුණු අනුවද ශිලා ලේඛන වර්ග කෙරේ.‍
  • ස්ථම්භ ශාසන
  • ප්‍රතිමා ශාසන 
  • රාජ ශාසන 
  • දාන ශාසන
  • ක්‍රය ශාසන
  • විජය ශාසන
  • අභය ශාසන
  • ධර්ම ශාසන
අභිලේඛනයන්ට අමතරව කාසි හෙවත් නානක මූලාශ්‍රයන්ද පුරාවිද්‍යාත්මක වශයෙන් තොරතුරු තහවුරු කිරීමෙහිලා මූලාධාරවේ. ලක්දිව අනුරාධපුර පොළොන්නරු දඹදෙණි යාපහු කුරුණෑගල ගම්පොළ හා කෝට්ටේ රාජධානි සමයන්හි භාවිත දේශීය කාසි මෙන්ම රෝම ඉන්දීය චීන හා මැදපෙරදිග රටවල භාවිත කාසි වර්ග හමුවී තිබේ.මෙනයින් තත්කාලීනව රටේ ආර්ථික තත්වය හා විදෙස් වෙළදාම් පිළිබඳ තොරතුරු සපයා ගත හැකිය.
නිවැරදි ඉතිහාසයක් ගොඩනැංවීමෙහිලා නටබුන්ද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් ලෙසින් උපයෝගි වේ. මෙහිලා පැරණි නගරවල නටබුන් පොසයිල ලෙන්තුළ හමුවන මෙවලම් ආයුධ මැටිබදුන් ඇළ මාර්ග ආදිය ප්‍රමුඛ වේ.
පූර්වෝක්ත සෑම මූලාශ්‍රයක්ම පාහේ නිවැරදි වූත් ක්‍රමවත් වූත් ඉතිහාසයක් අධ්‍යයනය කිරීම සඳහා වැඩි අඩුතාවයන්ගෙන් යුක්තව අවශ්‍ය කෙරේ.
 මූලාශ්‍රයන් අතර ඉතිහාසය අධ්‍යයනෙහගි ශිලා ලේඛන තුළින් ඉටුවන කාර්යභාරය කෙබදුද යන්න මීළගට විමසා බැලිය යුතුය. ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් ශිලාලේඛන සාහිත්‍ය මූලගාශ්‍රයන් තරමින්ම වටිනා කමින් මහත්ය. ඇතැම් තන්හි සාහිත්‍ය මූලාශ්‍රයන්ට වඩා වටිනාකමක් ශිලා ලිපි ඉතිහාස අධ්‍යයනයෙහිලා දරණු ලබයි. මීට හේතුව ඉතිහාස අධ්‍යයනයෙහිලා විශ්වසමදායී මූලාශ්‍ර ශිලාලේඛන වීමය. අඛණ්ඩ හා සවිස්තර ඉතිහාසයක් සාහිත්‍ය මූලාශ්‍ර තුළින් සම්පාදනය කෙරේ. එනයින් සාහිත්‍ය මූලාශ්‍ර අගනේය. ඊට හාත්පසින්ම වෙනස්වූ අනර්ඝ කාර්යභාරයක් ශිලාලේඛන මගින් ඉටුවේ.එකී අනර්ඝ බව පහත පරිද්දෙන් දක්වාලිය හැකිය.
  • ඉතිහාසගත කරුණුවලට සාක්‍ෂි ලබාගත හැකි බව
  • ඉතිහාස ගත රැකරුණුවල අඩුපාඩු සකස්කරගත හැකිබව,
  • ග්‍රන්ථාරූඪ නොවූ වැදගත් ඓතිහාසික කරුණු දැන ගැනීමට හැකිවීම
  • ඉතිහාසගත සදොස්මත නිරාකරණය කරගත හැකිවීම
  • නිශ්චිත කාලවකවානු දැන ගැනීමේ සක්‍යතාව
ඉතිහාසගත කරුණුවලට සාක්‍ෂි ලබාගැනීමේ සක්‍යතාව
සලමෙවන් අබහය් (පස්වන කසුප්) රජුගේ මව සංඝාබිසව බවත් ඇය දෙවරක් අභිෂේක ලදබවත් මෙම කසුපු උපන්කෙණෙහිම යුවරජ පදවියෙහි අභිෂේක ලදබවත් මහාවංශයෙහි සඳහන්ය. එකී කරුණෙහි සත්‍යතාව පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරුලිපියෙන් සනාථවේ. “ සිරිසඟ්බොයි අබහය් මහරජ්හට් ජා සඟ්බද්‍ධය් අප බිසෙව් රැජ්නැණියන් කුස්හි හෙවැ දුනු සැණැහි මෙ යුවරජ් බිසෙව් සිරි පැමැණැ”
තවද බුදුසසුන රකිනු සඳහා සංඝසංශෝධනයක් කළබව හා මිරිසවැටි චේතිය ප්‍රතිසංස්කරණය කරවූබවත් අභිධර්මරැය ඉගෙන භික්‍ෂුන් දහම් දෙසූබව හා අභිධර්මපිටකය රන්පත්හි ලියා තැබූබව මහාවංශයෙහි සඳහන්වේ. තත්කාරණය මෙම ශිලාලේඛනය තුළින්ද පැහැදළිය.
පොළොන්නරු අවධියෙහි රජ පැමිණි මහාපරාක්‍රම බාහු රජතුමා චෝළ පාණ්ඩ්‍ය හා රාමඤ්ඤ රටවලට ගොස් ජයගත් බව මහාවංශය ආදි වංශකතාවල වාර්තා කෙරේ. මෙහි සත් අසත් භාවය ශිලා ලේඛනවල අන්තර්ගත තොරතුරු තුළින් තහවුරු කරගත හැකිය. බුරුමයේ රාමඤ්ඤරට කුසුම්නගරය දිනා ආ කිත්තිනුවරගල් (කිත්ති නගර ගිරි) සෙනෙවියාට මලබටුව හා කිත්සෙන් පවුයෙන් අමුණු දොළසක් හා පෑළ දෙකක් පමුණු කොට දුන්බව දෙවනගල ලිපියෙහි සඳහන්වේ.
“ සන්තාන නොකරම්හයි කී හෙයින් නැවූ දහස් ගණනකට පිරිස් නගා යවා අරමණය පාරනේ වදාළ කලැකින් නුවරගලුන් කුසුමිය යැයි යන නුවරක් පැහැර පස්මසක් රගත් කලැ අරමණයන් සන්තාන කරම්හයි දූතය........කින් නුවරගලුන්ට හිරිසන්ද පවත්නා(තෙක් සිටින) පරිද්දෙන්.......”
අනුරාධපුර අගනගරයේ භික්‍ෂූන් පන්සියයක් හෝ හයසියයකට දිනපතා ආහාර සැපයූ බව ෆාහියන් සඳහන් කරයි. මෙය අනුරාධපුර ගෙඩිගෙය අසල ගල් ඔරුවේ සන්නසෙහි සඳහන්වන “ මෙ මහපෙල බත් ගන්නා තාක් දෙනා වෙහෙර දාගැබ්කම් නවාමට් දුන්මෝ” යනුවෙන් ඒ අවට ඇති නටඹුන් මහාපාලි දන්ශාලාවේ බවත් එහි ආහාර සැපයීමක් කර ඇතිබවත් සඳහන් වේ. මේ අනුව ෆාහියන්ගේ වාර්තාවේ සත්‍යතාවක් ඇති බව පැහැදිළිය.
මානවම්ම රජුගේ පුත්‍ර තෙවන කාෂ්‍යප රජුට දම්බ්දිව් දුනු යන විශේෂනයක් පිළිබඳ ගැරඬිගල ලිපියෙහි සඟදහන්ය. “ දම්බ්දිව් දුනු සිරිසඟබෝ මපූර්මුකා තුන්වන්නේ ටම්භිද් මහපාණන්”
සාතවාහන පරම්පරාවට අයත් ගෞතමී පුත්‍ර සාතකර්ණිගෙන් පසු වසිෂ්ඨ පුත්‍ර පුලමායි ක්‍රි.ව 130- 154 රාජ්‍යයට පත්විය. ඔහු ආන්ද්‍ර රටෙහි ස්වකීය ආධිපත්‍ය පිහිටුවාලු පළමුවැනි ශාතවාහන රජු සේ සැලකේ. ජුනාගර් ලිපියෙහි සඳහන්වන රුද්‍රදාමන් රජු දෙවරක්ම පරාජයට පත්කරන ලද රජු මොහු බව ඉතිහාසඥයින්ගේ මතයයි. එමෙන්ම මොහු මරණයට පත්නොකරන්නේ රුද්‍රදාමන්ගේ දියණියක් පුලමායි විවහාකරගෙන සිටි නිසා බවත් තහවුරු කෙරේ. එය ජුනාගර් ලිපියෙහි එන තොරතුරු වලින් සනාථ කරගත හැකිය.
“ දක්‍ෂිණාපථපතෙස්සාත කර්ණෙර් ද්විරපි නිර්ව්‍යාජ මජිත්‍යාවජිත්‍ය සංබංධාවිදුරතයා”
ග්‍රන්ථාරූඪ තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කරගැනීමෙහිලා ශිලාලිපිවල එන සාක්‍ෂි බොහෝසෙයින්ම වැදගත්බව ඉහත සඳහන් තොරතුරුවලින් පැහැදිළිය.
ග්‍රන්ථාගත තොරතුරුවල අඩුපාඩු සකස්කරගැනීම
දෙවානම්පියතිස්ස යන නාමය මහාවංශයෙහි මුටසීව රජුගේ පුත් දෙවන පෑතිස් රජුට පමණක් යොදා ඇත. එනමුදු එය ඔහුට පමණක් නොව පසුකාලීනව සිටි රජවරුන් උපාධි නාමයක් ලෙස මෙන්ම කුල නාමයක් ලෙස මෙම නාමය යොදා ගෙන ඇති බව ශිලාලිපි මගින් තහවුරු වේ.
සංඝසේනාරාමය හා කස්සපරාජ විහාරය පස්වන කසුප් රජුගේ මව විසින් කරන ලදැයි මහාවංශයෙහි සඳහන්ය. එහෙත් මෙකී උභය විහාරය පස්වන කසුප් රජුවිසින් කරන ලදැයි පස්වන කසුප් රජුගේ පුවරු ලිපියෙහි සඳහන්ය. “ මහරජ්යුතාර් මිරිසිවිටිසඟ්සෙන් අරම් කසුබ් රජ් මහවෙහෙර් කරය්”
වසභ රජතුමාට උතර සහ දුටග නම් පුතුන් දෙදෙනෙකු සිටි බවට මහවංශය ආදි වංශකතාවල සඳහන් නොවුනද හබැස්ස හා තම්මැන්නාව ලිපිවල සඳහන්ව ඇත.
කිත්සිරි මේඝ රජුගේ රාජ්‍ය කාලය මහාවංශයෙහි දවස් දහනවයක් යැයිද පූජාවලියෙහි වර්ෂ දහනවයක් යැයිද සඳහන් වේ. ටැම්ගොඩ ලිපිය ආධාරයෙන් මොහු වසර දහනවයක් රාජ්‍ය විචාළ බව තහවුරුකරගත හැකි අතර ඒතුළින් පූජාවලියෙහි වර්ෂ දැක්වීම නිවැරදිබව තහවුරු වේ.
ග්‍රන්ථාරූඪ නොවූ වැදගත් ඓතිහාසික තොරතුරු දැනගැනීම සඳහා
ක්‍රි. ව දෙවන ශතවර්ෂයේදී යාපනය සිංහල රජෙකු විසින් පාලනය කරන ලද බව හා එකල නාගදීපය යන නාමය යාපනයට ව්‍යවහාර වූබව වල්ලිපුර රන් සන්නසින් පැහැදිළිවේ. “ සිධ මහරජ වහයහ අමෙතෙ ඉසිගිරයෙ නකදිව බුජමෙනි“ ගොඨාභය රජුගේ පියා කවරෙක්දැයි මහාවංශයෙහි සඳහන් නොවෙතත් තිඹිරිවැව ලිපියේ සිරිනක (සිරිනාග) රජ යැයි සඳහන් වේ.
අදාළ සිද්ධීන්හි කාල නිර්ණය නිසි අයුරෙන්ම දැක්වීම
යම් සිද්ධියකට අදාළ කාලය නිසි අයුරෙන්ම දැක්වීම ඉතිහාස අධ්‍යනයෙහිලා බෙහෙවින් උපකාරිවේ. එකීකාර්ය බොහෝසෙයින්ම ශිලාලේඛන තුළින් සිදුව තිබේ.
රුද්‍රදාමන් රජුගේ ජුනාගර් ගිරි ලිපියද මෙබන්දකි. එහි කුලෛපගේ පුත්‍ර සුවිශාඛ නම් පහ්ලව ඇමතියා ලවා සුදර්ශන නම් තඩාගය ප්‍රතිසංස්කරණයට අදාළ කාලවකවානුව නිසි අයුරෙන්ම දක්වා තිබේ.
“ගුරුභිරභ්‍යස්ථ නාම්නො රුද්‍රදාම්නො වර්ෂෙ ද්විසප්තතිතමෙ මාර්ග ශීර්ෂ බහුල ප්‍රතිපදි”
මේ අනුව මෙය රුද්‍රදාමන්ගේ රාජ්‍යාවදියෙහි ශකවර්ෂ හැත්තෑදෙකේ උදුවප් අමවපෑලවිය දින කළබව පෙනේ.
තිලක්කුමල ප්‍රදේශයෙහි තෝනිගල ශිලාලිපිය ශ්‍රී මේඝවර්ණාභය මහරජු රාජ්‍යත්වයට පත්වීමෙන් තුන්වන වර්ෂයෙහිදී පිහිටුවන ලදබව සඳහන්වේ.
“සි පුවීය මහසෙන මහරජහ පුත සිරිමෙකවණ අබ මහරජ චතලෙහි තක තිනවක වසහි නකරහි උතරපසහි”
රජවරුන්ගේ නම් නිසි අයුරෙන් දැනගැනීම සඳහා පවතින වටිනාකම
මහාවංශයෙහි දෙවානංපිය යන්න දෙවනපෑතිස් රජුට පමණක් ව්‍යවහාරිත වූ පුද්ගල නාමයක් ලෙස දැක්වුණද එය සෙල්ලිපිවල ව්‍යවහාරිතව ඇත්තේ විරුද නාමයක් අයුරිනි. ක්‍රි.ව පළමුවන සියවස වන විට නෂ්ටප්‍රාප්ත වුවද දෙවන උපතිස්ස රජුගේ සමයේද එක්වරක් භාවිතව ඇත.
මහාවංශයට අනුව වසභ රජුගෙන් මූලාරම්භවන ලම්බකර්ණ රාජවංශය කුඤ්චනාග රජුගෙන් ද එතැන්සිට පැවති රාජවංශය දෙවන සිරිනාග රජුගෙන් අවසාන වේ. එනමුදු කුඤ්චනාග රජු හා පළමු සිරිනාග රජු අතර පැවති සබදතාව වෙස්සගිරි ලිපියෙන් හෙළිවේ .
බොම්බායේ බීච්පූර් දිස්ත්‍රිකයෙහි ඓහෝල් ප්‍රදේශයෙහි මෙගුති නම් ජෛන දේවාලයේ පිහිටුවා තිබෙන ඓහෝල් ලිපියෙන්ද චාලුක්‍යවංශයෙහි රජවරුන්ගේ පරම්පරාව පිළිබඳ තොරතුරු ලබාගත හැකිය. මෙහි සත්‍යාශ්‍රය නමින් දැක්වෙන්නේ කීර්තිවර්මන් රජුගේ පුත් දෙවන පුලකේසීන් රජු බව ඉතිහාස නයින් හදුනාගත හැකිය.
“ශූරෙ විදුෂ:ච විභජන් දානං මානංච යුගපදෙකත්‍ර අවිහිත යථා සංඛ්‍යො ජයතිච සත්‍යාශ්‍රයඃ සුචිරම්”
රජවරුන්ගේ රාජ්‍යබල ව්‍යාප්තිය ශිලාලේඛනයන් හමුවන ස්ථානයන් මෙන්ම ශිලාලේඛනවල එන තොරතුරු දෙස නෙතග හෙළීමෙන් ලිපියේ සඳහන් රජුගේ බලය කොපන දුරට පැතිර පැවතුණේද යන්න තීරණය කළ හැකිය. ලාංකේය රාජවංශකතාවේ අනුරාධපුර රාජධානි සමයෙහි අසහාය පාලකයන් වූ දුට්ඨගාමිණි වට්ටගාමිණි කූටකණ්ණිතිස්ස වසභ සිරිමේඝවණ්ණ මහානාම පස්වැනි දප්පුල වැනි රජවරුන්ගේ රාජධානි කෙතෙක්දුරට ව්‍යාප්තව පැවතියේද යන්න මිහින්තලේ, සිතුල්පව්ව, තෝනිගල, කාඩිගල, තිස්සමහාරාම වැනි ලිපිවලින් පැහැදිළිවේ.
සුදර්ශන නම් තඩාගය ප්‍රතිසංස්කරණය කොට රචනාකරන ලද ජුනාගර් ලිපියේ ඔහුගේ පාලන තන්ත්‍රය යටතේ පැවති ප්‍රදේශ පිළිබඳ සඳහන් වේ.
පූර්වාපරාකරාවණ්ත්‍ය නූපතිවෘදානර්ත්ත සුරාෂ්ට්‍රශ්වත්‍ර මරුකච්ඡ සින්ධූ සෞවීර කුකුරාපරාන්ත නිෂාදාදීනාං සමග්‍රාණාං”
මේ අනුව නැගෙණහිර හා බටහිර ආකර දේශය අවන්තිය අනූපය නිවෘදය ආනර්තය සුරාෂ්ට්‍රය ශ්වභ්‍රය භාරුකච්ඡ සින්ධුය සෞවීරය අපරාන්තය නිෂාදය යන ප්‍රදේශ මොහු යටතේ පැවතිබව පෙනේ. මීට අමතරව ශිලාලේඛන අධ්‍යයන තුළින් පහත සඳහන් තොරතුරුද ලබා ගතහැකිය.
  • පාලනතන්ත්‍රය රාජකාය්‍ය– හා රාජ්‍යබල විකාශනය
  • සමකාලීන ආර්ථික තොරතුරු
  • සමකාලීන ආගමික තොරතුරු
  • ලේඛන විද්‍යාව හා භාෂාපරිණාමය
  • පාලනතන්ත්‍රය තුළ ක්‍රියාත්මක වුණු දණ්ඩනීති
  • ස්ථානනාම හදුනාගැනීම සඳහා
 සාහිත්‍ය මුලාශ්‍රයන් හා ශිලා ලේඛන තුළින් මානව වර්ගයට තොරතුරු සංප්‍රේශනය කිරීමේ ඇති විවිධත්වයන් හා නෛසර්ගික වටිනාකම් පහත පරිද්දෙන් කුළුගැන් විය හැකිය.
ශිලා ලේඛනයන්හි නෛසර්ගික අගය
  • එහි ඇතුලත් සිද්ධින් හා සමකාලීන වීම
  • වරක් ලියන ලද දේ වෙනස් නොවි එලෙසටම පැවැතීම
  • ලියන ලද කාල වකවානු හා සිද්ධින් හා ලියන ලද අය
  • වර්ණනාත්මක බවින් යුක්තව අදාළ කාරණය පමණක් දැක්වීම( ඇතැම් ශිලා ලේඛන මෙයින් වෙනස් වේ )
ශිලා ලේඛනයන් වනාහි බොහෝ සෙයින්ම වර්ණනාත්මක බවින් යුක්තය එනමුදු එය සෑම ශිලා ලේඛනයක් සඳහාම සර්ව සාධාරණ නොවේ ඇතැම් ශිලා ලේඛන වනාහි අලංකාර බාහුල්‍යයෙන් යුතුව අධික වර්ණනාත්මක ශෛලියෙන් යුතුව ඉදිරිපත් කර තිබේ.
බොම්බායේ බීච් පුර ඓතොල් ප්‍රදේශයේ මෙගුති නම් විිහාරයේ හමුවන ඓහොල් ශිලා ලිපිය රචන ාකිරීමේ මුලීක අරමූණ වී ඇත්තේ ජිනේන්ද්‍ර දෙවොල ඉදි කාරීම පිළිබඳ දැක්වීම වුවද එහි අන්තර්ගතය දෙස බලන කල්හි දෙවන පුලකේශින් රජ පිළිබඳ ප්‍රශංසා පූර්වකව වර්ණනා කිරිම මුඛ්‍ය අරමුණ වි ඇති බව යි
“නනාහෙනිශතභිඝාතපතිතභ්‍රාන්තාශ්වපතිද්විපේ නෘත්‍යද්භීමකබන්ධඛඞිගකිරණජ්වාලා සහස්‍රේ රණේ ලක්‍ෂ්මීර්භාවිත චාපලාපිච කෘතා සෞර්යෙන යෙනාත්මසා ද්‍රාජාසීජ්ජයසිංහල්ලභ ඉති ඛ්‍යාතශ්චලුක්‍යාන්වයඃ”
මෙය වනාහි ජයසිංහ වල්ලභ රජ පිළිබඳ වර්ණනාත්මක මුඛයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමකි මෙලෙස වර්ණනාත්මකව ඇතැම් තොරතුරු ඉදිරිපත් කළද ශිලාලේඛනයන්හි ඉදිරිපත් කෙරෙන තොරතුරුවල විශ්වශනීයත්වයට හානියක් වි නොමැත. විශ්වශනීයත්වය වනාහි ශිලාලේඛනයන්හි මුලික ගුණාත්මක බාවයයි. එය කිසිසේත් හානි නොවී ඇති බව සමස්ත ශිලාලේඛනයන් දෙස බලන කල්හි පැහැදිළි වන කාරණයකි.
ඉතිහාස අධ්‍යයන මුලාශ්‍රයන් අතර ශිලා ලේඛනයන්හි උත්කෘෂ්ට බව සාහිත්‍ය මූලාශ්‍රයන්හි ස්වභාවය දැක්වීම තූළින්ද හදුනා ගත හැකිය.
සාහිත්‍ය මුලාශ්‍රවල ස්වභාවය
  • සිද්ධීන්ට අදාළව වර්තාකරණය සමකාලීන නොවීම
  • පාඨක රසඥතාව උදෙසා කාව්‍යාත්මක ගුණය රඳවා ගැනීම සඳහා වර්ණනා බාහුල්‍ය
  • ආශ්‍රය කර ගන්නා ලද මුලාශ්‍රයන්ගේ එකම තොරතුරු විවිධාකාරයෙන් හැදීන්වීම
  • පක්ෂපාතීත්වය හා අතිශෝක්ති වර්ණනාව
  • ජනප්‍රවාද ආශ්‍රය කර ගැනීම
  • කර්තෘ රූචිකත්වයට මුලිකත්වය දීම
  • ස්ව පක්ෂග්‍රා්‍රහය
පුර්වොක්ත කරුණු කාරණාවන්ගෙන් යුක්ත වීම තුළ මුලාශ්‍රයන් ලෙසින් සාහිත්‍ය මුලාශ්‍රයන්හි තොරතුරු සත්‍ය ලෙස එක එල්ලේ පිළි ගැනීම දුෂ්කරය මේ හෙයින් එකම කාරණාවක් පිළිබඳ සත් අසත් භාවය තීරණය කිරීමේදි සාධක කිහිපයක එකීභුතත්වය අවශ්‍ය කෙරේ
  • සාහිත්‍ය මුලාශ්‍ර කීපයක්ම පරිශීලනය කිරීම
  • ශිලා ලේඛනයක අධාරත්වය
  • සම කාලීන වෙනත් ඓතිහාසික තොරතුරු
මේ හෙයින් සාහිත්‍ය මුලාශ්‍රයන්හි නිරවද්‍යතාවය පිළිබඳ හීනතාවක් දක්වයි.
පුර්වොක්ත සෑම තොරතුරක් දෙසම නෙතඟ හෙලීමෙන් ඉතිහාස අධ්‍යයනයෙහිලා සාහිත්‍ය මුලාශ්‍ර මෙන්ම පුරාවිද්‍යාත්මක මුලාශ්‍රද මුලාධාර වන බව පෙනේ. ඒ අතරින් සෙසු සෑම මුලාශ්‍රයකටම වඩා ශිලාලේඛන ක්‍රමවත් හා නිරවද්‍ය මූලාශ්‍රයක් ලෙස උත්කෘෂ්ට වන බව පෙනේ. මේ හෙයින් ඉතිහාස අධ්‍යයන මුලාශ්‍ර අතර ශිලා ලේඛනවලට අද්විතීය ස්ථානයක් හිමි වන බව බොහෝසෙයින්ම පැහැදිළිය.

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...