Tuesday, February 26, 2019

මහත්මා ගාන්ධිතුමා.



බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත රාජ්‍යන්ට අයත් වූ තවත් එක් රාජ්‍යක් ලෙස ඉන්දියාව හැදින්විය හැකිය. භුමි ප්‍රමාණයෙන් විශාල වූ ඉන්දියාවේ දේශපාලනමය, ආර්ථික, සමාජීය, සංස්කෘතිමය වශයෙන් විවිධ වූ විෂමතාවයන් ඈත අතීතයේ පටන්ම පැවතිණි. මෙම තත්වය බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් සමග නව මුහුණුවරක් ගත්තේය. ඉන්දියානුවන්ගේ අප්‍රසාදයට ලක් වූ පීඩාකාරි බ්‍රිතාන්‍යය පාලන තන්ත්‍රයට විරුද්ධව ඉන්දියානුවන් තුළ නොයෙක් ජාත්‍යානුරාගි සිතුවිලි මුසපත් විය. තම අයිතීන් හා නිදහස තකා අරගල කරන්නට එම සිතුවිලි විසින් ඉන්දියානුවන් යොමු කළේය. එබදු වූ සිතුවිලිවලින් ඔද වැඩුනු ජනතාව දේශප්‍රේමීන් ලෙස නම් දරා ඇත.
ඉන්දියානුවන් අතර තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීමටත්, ස්වාධීනව ක්‍රියා කිරීමට හැකි පරිසරයක් ගොඩ නගා ගැනීමට උත්සුක නායකයෝ බොහොමයකි ඔවුන්ගේ මග පෙන්වීම යටතේ නිදහස උදෙසා ජනතාව සංවිධානගත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව තුළ සටන් ව්‍යාපාර බිහි විය. එම ව්‍යාපාර අතර ඉන්දියානු ජාතික නිදහස් ව්‍යාපාරය ප්‍රදාන තැනක් ගත්තේය. එහි ප්‍රධාන වශයෙන් ප්‍රමුඛත්වය ගත් නායකයන් අතර ගාන්ධි තුමන් ප්‍රධාන තැනක් ගනී. ක්‍රි.ව 1947 දී ඉන්දියාව නිදහස ලබා ගැනීම දක්වාම ජාතික ව්‍යාපාරය හරහා ගාන්ධිතුමා අවිහිංසාව මූලික කරගනිමින් නිදහස් සටනට පණ පෙවූහ.
ඉන්දිය ජාතික නිදහස් සටනේ පුරෝගාමියකු වූ මහත්මා ගාන්ධිගේ චරිත කතාව විමසා බැලීමත්, ඔහු ජාතික ව්‍යාපාරය තුළ කුමන ආකාරයේ දායකත්වයක් ලබා දී තිබේ දැයි විමසා බැලීමත් මෙම නිබන්ධනයෙහි මූලික පරමාර්ථය වේ. එහිදි ඔහුගේ අවිහිංසාවාදය, දාර්ශනික අදහස්, සමාජ සාධාරණත්වය ආදි මානුෂීය සංකල්ප පිළිබදවද මෙහිදි විමසා බලනු ලැබේ.
මහත්මා ගාන්ධිතුමා.
දීර්ඝ කාලයක සිට බටහිර ලිබරල්වාදයේ බලවේගයන්ට යටත්ව පැවති ඉන්දියාවේ, 19 වන සියවසවන විට ඊට විරුද්ධව හා සමාජ අසාධාරණත්වයට විරුද්ධව ජාතික බලවේගයක් සඳහා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. එහි මුලසුන හෙබවූයේ මහත්මා ගාන්ධි තුමන් ය. එතුමන්ගේ සුවිශේෂත්වය වන්නේ සියල්ල අවිහිංසාව මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීමය. ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන තැනක් ගත් නායකයෙක් වූ මොහු ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යටතේ ද සුවිශාල සේවයක් ඉටුකර තිබේ.
ගාන්ධි තුමන් 1869 ඔක්තෝම්බර් 02 වැනි දින ඉන්දියාවේ ගුජරාටයේ පෝබන්දාර් නම් කුඩා ගම්මානයේ උපත ලද අතර කුඩා කළ සිටම එතරම් ඉහළ පවුල් පසුබිමක් නොවුන ද යමක් කමක් තිබුණු මධ්‍යම පාන්තික පවුල් පසුබිමක් උරුම වූ අයෙක් විය. ඔහුගේ සම්පූර්ණ නම වූයේ මෝහන්දාස්‌ කරම්චාන්ද් ගාන්ධිය. මහත්මා යන්න එතුමාට ජනතාවගෙන් පිරි නැමුණු ගරු පදයකි. “මහත්මා ගාන්ධි“ යන විරරුධාවලී නාමය පසුකාලීනව ලැබූවක් විය. මහාත්මා යනු විශිෂ්ඨ ආත්මයක් ඇති පුද්ගලයෙක් යන අර්ථය දෙනු ලබන අතර තාගෝර් තුමන් විසින් ගාන්ධිතුමා වෙත මෙම විශේෂණය ලබා දී තිබේ. එමෙන්ම බාපු යන නාමයෙන් ද ඇතැමෙක් එතුමන් ව හඳුන්වනු ලබයි. ඉන්දියාවේ “ජාතියේ පියා” යන විරුදාවලි නාමය ගෞරව නාමයක් ලෙස නිල වශයෙන් ප්‍රධානය කර තිබේ. ඔහුගේ දෙමාපියන්ය වූයේ කාබා ගාන්ධි සහ පුට්‌ලිබායි යන්නවුන් ය. සිය පියා හට රාජ්කොත්හි රාජසභාවට සේවය කිරීමට සිදුවීමත් සමඟ ගාන්ධි ඇතුළු සියළු දෙනාටම එහි පදිංචියට යෑමට සිදු විය. මේ සමග එහි උසස් පාසලක අධ්‍යාපනය ලැබීමට ඔහුට ඉඩ හසර ලැබුණු අතර වයස අවුරුදු 15 පමණ වන විට සිය පියා අභාවප්‍රාප්ත වූයෙන් ඉන් පසු ඉදිරි ගමන ඉතා දුෂ්කරව ගෙන යාමට ඔහුට සිදු විය. කෙසේ වෙතත් 1887 වසරේදී ඔහුට ඉතා උසස් අන්දමින් මැටිරික්‍යුලේෂන් විභාගය සමත් වීමට හැකි විය. පාරම්පරික ඉන්දීය සිරිතට අනුව ඔහු වයස අවුරුදු 13 දී කස්‌තුරිබායි නම් තරුණිය සමඟ විවාහ විය.
වයස අවුරුදු 18 පිරීමත් සමගම 1891 දී ඔහු නීති අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන අතර එහිදී නීති අවසාන විභාගයෙන් සමත්වී නීතීඥවරයෙකු ලෙස ලන්ඩන් නගරයේ උසාවි ගණනාවක සේවයේ නිරත වී තිබේ. ඒ කාලය තුළ ඔහු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව දැඩි අවධානයකින් යුතුවූ අතර ඔවුනගෙන් කළු ජාතිකයන්ට විඳීමට සිදුවූ තාඩන පීඩන කෙරේ ද ඔහුගේ අවධානයට ලක් වී තිබේ. වසර කිහිපයකට පසු ඔහු යළිත් ඉන්දියාව බලා ආපසු පැමිණෙන අතර ඉන් අනතුරුව නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කිරීමට දකුණු අප්‍රිකාවට යාමට සිදු වේ. එය ඔහුගේ ජීවිතය වෙනස්‌ මගකට යොමු වීමට හේතු වන අතර ඔහු අවිහිංසාව නමැති අවිය උපයෝගි කරගෙන විමුක්‌තිකාමියෙකු බවට පත් වේ. ඒ වන විට දකුණු අප්‍රිකාව වාර්ගික බෙදීම් සහිත සමාජ වටපිටාවක් වූ අතර අප්‍රිකානු සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන් තාඩන පීඩනයන්ට ලක් කරන්නට විය. මින් කම්පාවට පත් වූ ගාන්ධී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට විය. ඔහු ජනතාව වෙනුවෙන් සටන් කිරීමට පෙළඹියේ මේ අයුරෙනි. මෙලෙස ආරම්භ කළ සිය සටන පසුව ඉන්දියාව පුරාම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව ව්‍යප්ත කරන්නට විය. ඉන්දියානුවන්ගේ විමුක්‌තිය වෙනුවෙන් දකුණු අප්‍රිකාවේදී මෙන්ම ඉන්දියාවේදීද අරගල කිරීම නිසා ඔහුට කිහිප වතාවක්‌ම සිර දඬුවම් විඳීමට සිදු වූ අතර ඔහු විසින් දිගින් දිගටම කරගෙන ගිය අරගලයන්හි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1947 අගෝස්‌තු 15 වැනි දින ඉන්දියාව නිදහස් රාජ්‍යයක් ලෙස නැගී සිටීමට හැකි වී තිබේ. නමුත් 1948 ජනවාරි 30 වැනි දින යාඥ මෙහෙයක යෙදී සිටියදී එහි කඩා වැදුණු අන්තගාමියෙකු විසින් එල්ල කරණු ලැබූ වෙඩි පහරකින් එතුමන් ජීවිතක්ෂයට පත් විය.
ජාතික නිදහස් ව්‍යාපාරයේ ආරම්භය.
බිතාන්‍යයන් ඉන්දීය ජනතාවගේ සිත් දිනා ගැනීම සදහා නොයෙක් ක්‍රමෝපායන් දියත් කළහ. ඒ අතර ඔවුන්ගේ එක් උපක්‍රමයක් වූයේ අවශ්‍ය පමණට යටිතල පහසුකම් සැපයීමයි. ඒ අනූව ඔවුන් දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලදි. නමුත් එම පහසුකම් හරහා ජනතාවගේ හදවත් තුළ ජාතිකානුරාගී අදහස් ශ්‍රීඝ්‍රයෙන් පැතිර ගියේය. පසුකාලීන බ්‍රිතාන්‍යයන්ට ඉන්දීය බලය අහිමි වීම දක්වාම ප්‍රබල වූයේද එයයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව 1867 දී සුරේන්ද්‍රනාත් බැනර්ජි විසින් කල්කටා ඉන්දියානු සංවිධානය යනුවෙන් නව සංවාධානයක් ආරම්භ කළේය. එය ඉන්දියානු ඉතිහාසයේ 19 වන ශතවර්ෂයේ බිහි කරන ලද වැදගත්ම දේශපාලන සංවිධානය ලෙස හැදින්විය හැක. 1947 ඉන්දියාව නිදහස ලැබීමේ පළමු අඩිතාලම දමන ලද්දේ මෙම සංවිධානය හරහා වීම එය මැනවින් පැහැදිලි කර දෙයි.
කල්කටා ඉන්දියානු සංවිධානය හරහා සුරේන්ද්‍රනාත් බැනර්ජි විසින් බ්‍රිතාන්‍යය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළේය.
  • සිවිල් සේවා විභාගය ප්‍රතිසංවිධානය කිරීම.
  • අවි ආයුධ පනත් සංශෝධනය කිරීම.
  • බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගෙන් ගොවීන් ආරක්‍ෂා කිරීම.
මෙම ඉල්ලීම් මත පදනම්ව කල්කටා සංවිධානයට ඉහළ මහජන ප්‍රතිචාරයක් ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඇලන් ඔක්ටේවියන් හියුම් විසින් කල්කටා සංවිදානයට හා ඒකාබද්ධව ඉන්‍දියානු ජාතික එකමුතුව අරඹන ලදීමෙම එකමුතුව ඉන්දියාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත විය. නමුත් පසුව බැනර්ජි විසින් එය ඉන්දියානු ජාතික කොන්ග්‍රසය බවට පත් කරන ලදි.
ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ නැගී සිටීමත් සමග මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් මොහොමඩ් අලීජින්නා යටතේ මුස්ලිම් සංගමයද ජාතික කොන්ග්‍රසය සමග අත්වැල් බැදගත්තේය. පසුව මෙම සංවිදාන දෙක වෙන් වුවද නිදහස ලබා ගැනීම තෙක් මෙම සංවිධාන දෙකින් ඉටු වූ කාර්යභාරය අති මහත්ය.
මහත්මා ගාන්ධි ජාතික නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වීම.
1915 දකුණු අප්‍රිකාවේ සිට භාරතයට පැමිණි මහත්මා ගාන්ධි, ඉන්දියානු කොන්ග්‍රසයට සම්බන්ධ වීමත් සමඟම එහි නව පිබිදීමක්‌ ඇතිවිය. නිදහස දිනා ගැනීමේ සටන අවිහිංසාවාදී වියයුතුය යන පරමාදර්ශය ජනතා සිත් සතන් තුළට ඇතුළු කිරීමට මහත්මා ගාන්ධි අපමණ වෙහෙසක්‌ දැරීය. බහුජන ජාතික ව්‍යාපාරය නමින් ඔහු ජනතාවට වඩාත් සමීප වූ ව්‍යාපාරයක්‌ කොංග්‍රසය තුළම ආරම්භ කොට. තම අරමුණු සාක්‌ෂාත් කර ගැනීම සඳහා එය ඉදිරියට මෙහෙයවීය. ගාන්ධිගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණු මේ නව දේශපාලන ව්‍යාපාරය කෙරේ එවකට අට හැවිරිදි දරුවකු වූ භගත් සිංගේ සිත ඇදී ගියේය. භගත් සිං ද ඇතුළුව තවත් දරුවන් රාශියක්‌ ම ගාන්ධිගේ දේශප්‍රේමී ව්‍යාපාරය වටා එක්‌ වී සිටියාක්‌ මෙන්ම, කුඩා කල සිට ම උපන් භූමියට ආදරය කළ යුතුය යන උද්ධෘතය අනුව ගාන්ධි ළමයින් දේශපාලනයෙන් වළක්‌වා ලීමට ද උත්සාහ නොකළ බව ද මෙහිදී කිව යුතුය.
නීති උපාධිය ලබා නීතිඥවරයෙකු ලෙස දකුණු අප්‍රිකාවට සිය වෘත්තීය කටයුතු සඳහා නික්ම යාමත් සමග ඔහුගේ ජීවිතයේ නව මාවතකට දොරටු විවෘත විය. ඒ වන විට දකුණු අප්‍රිකාවේ පැවති වාර්ගික බෙදීමත් සමග සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන් තාඩන පීඩනයන්ට ලක් කරන්නට විය. මිනිසා සමේ වර්ණය අනුව උස් පහත් යැයි වෙන්කරනු ලැබීය. පාසල්වලට කළු ජාතිකයන්ගේ දරුවන්ට ඇතුල්වීමට ඉඩක්‌ නොවීය. දුම්රියේ පවා ඉන්දියානුවන් ඇතුළු කළු ජාතිකයන් සඳහා වෙන් කළ වෙනම මැදිරි තිබිණි. මෙවැනි පසුබිමක් සමග නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තියෙහි නිරත වීමට සිදු වූ අතර ඔහු එහි දී කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් රැක දීම සඳහා දකුණු අප්‍රිකාවේ සිට ම අරගල මෙහෙයවන්නට විය. ඒ වන විට දකුණූ අප්‍රිකානු රජය ඉන්දියානුවන්ට අලුත් නීතියක් පනවා තිබිණ. එනම් සියල්ලන්ම ඇඟිලි සළකුණු තබා ලියාපදිංචි විය යුතුයි යන්නයි. මීට විරුද්ධව මූලිකත්වය ගෙන ගාන්ධිතුමන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඔහු යටතේ රැස් වු ඉන්දියානුවන් මේ නීතියට කිසි ලෙසකවත් යටත් නොවන බවට ද ප්‍රතිඥා ලබා දී තිබේ. මේ සියල්ල ගාන්ධී තුමන් මෙහෙය වනු ලැබුයේ හිංසනයෙන් තොර වූ බැවින් ඔවුන්ගේ මේ විරෝධතාවය සාර්ථක වුණි.
පසුකාලීනව ඉන්දියාව තුළ ඇති වූ දේශපාලන අරගල වලදී අහිංසාවාදී ක්‍රියාමාර්ගවලට ප්‍රධාන අඩිතාලම වී ඇත්තේ ද මෙම සතයග්‍රහයයි. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකාවේ සිටි ඉන්දියානුවන්ට ඔවුන්ගේ අයිතීන් බොහෝමයක් සුරක්ෂිත කර දීමට ගාන්ධි තුමන් ට හැකි වී තිබෙන අතර ඔහු 1896 වසරේදී යළි සිය මව්බිමට පැමිණියේය. නමුත් ඉන් නොනැවතී සටන දිගටම පවත්වාගෙන යන්නට විය. ඒ අනුව ඔහු ඉන්දීය විමුක්‌ති සටනේ පුරෝගාමියා බවට පත්විය. ඔහු ප්‍රථමයෙන් සටන ඇරඹුවේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදි පාලනයට එරෙහිවය. එකල බ්‍රිතාන්‍යය අදිරාජ්‍යය හඳුන්වන ලද්දේ හිරු නොබසින අධිරාජ්‍යය යනුවෙනි. නමුත් මහත්මා ගාන්ධිතුමා එම පාලන බලයට විරුද්ධව ජීවිතය කැප කරන්නට විය.
ඉන්දියාව නිදහස ලැබීමට ආසන්න කාලය පමන වන විට මහත්මා ගාන්ධි තුමන් නිදහස් ජාතික ව්‍යාපාරය හරහා සිය අවිහිංසාවාදය මුළු ලෝකය පුරා ව්‍යාප්ත කරලීමට සමත් වූ අතර ඉන්දීය නිදහස්‌ සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට ද පත් විය.
අවිහිංසාවාදි ව්‍යාපාරය
මහත්මා ගාන්ධිතුමා ජාතික ව්‍යාපාරය හරහා ඉන්දියානුවන්ගේ නිදහස උදෙසා මහත් වූ කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්‍රදානියා ලෙස ඔහු මත මහත් වූ වගකීම් සමුදායක් විය. තමා නිදහස් සටනට සෘජුව සම්බන්ධ වූවා සේම ජාති හිතෛසි ජනතාවද ඒ සදහා යොමු කරවා ගැනීම එතුමා අතින් ඉටු වූ සුවිශේෂි කර්තව්‍යකි. 1947 වන තෙක්ම එතුමා ජනතාව සමග නිදහස් වයාපාරයේ පෙරමුණ ගත්තේය. නමුත් ඔහු කිසිවිටකත් හිංසනයෙන් යුතු ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකළේය. සැම විටම සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලෙමින් තම අයිතීන් දිණා ගැනීමට උත්සුක විය. මේ නිසා එතුමා අවිහිංසාවාදයේ පියා ලෙස ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වීමට වැඩි කලක් ගත නොවිණි.
ඉංග්‍රීසින්ගෙන් තම රට නිදහස් කර ගැනීමේ අරගලවලට සෘජුව සම්බන්ධ වූ මහත්මා ගාන්ධි උපවාස සත්‍ය ග‍්‍රහ ආදිය සංවිධානය කරමින් ඉංග්‍රීසින්ව අපහසුතාවයට පත්කළේය. නමුත් දඩු මුගුරු ආදිය ගෙන විප්ලව කිරීම එතුමාගේ න්‍යාය පත්‍රයට අදාළ නොවීය. පළමුවැනි ලෝක යුද්ධය අවසානයේදී බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළ යෝජනාවකට විරුද්ධව මහත්මා ගාන්ධි විසින් සත්‍යග්‍රහයක් සංවිධානය කළේය. එය නීති විරෝධි බව ප‍්‍රකාශයට පත් කෙරුණු ද 1919 අප්‍රේල් 13 වැනිදා අම්රිට්සර්හි ජලියන්වලා බාග් චතුරස‍්‍රයට ඉංග්‍රීසින්ගේ තහනම නොතකා විසි දහසක් දෙනා රැස්වූහ. ඉන් කිපුණු ඉංග්‍රීසි හමුදාව රැස් වූ ජනතාවට වෙඩි තබන්නට වූහ. එහිදි අහිංසක ජනතාව සිය ගණනක් මරුමුවට විය මහත්මා ගාන්ධි මේ ඝාතනයට එරෙහිව අහිංසාවාදී විරෝධතා පෙළපාලි රාශියක් සංවිධානය කලේය. එමෙන්ම බ්‍රිතාන්‍යය නිෂ්පාදන වූ ඇඟළුම් සහ රෙදි පාවිච්චියට නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සිය රටේ නිෂ්පාදනම මිලදී ගන්නා ලෙසද බලකර සිටියේය.
මෙලෙස ගාන්ධිතුමා ඒ සම්බන්ධව නොයෙක් සත්‍යග්‍රහ ව්‍යාපාර දියත් කළේය. ඒ හේතුවෙන් එතුමාව කිහිපවරක්ම ඉංග්‍රීසින් විසින් සිරභාරයට ගනු ලැබීය. නමුත් එතුමාගේ ක්‍රියා කලාපයේ අඩුවක් නොවිණි. මෙම සත්‍යග‍්‍රහයන් අතරතුරදි ඉංග්‍රීසින් ලුණු බද්දක් පනවා ලුණු නිපදවීම තහනම් කලහ. එමගින් ලුණු නිෂ්පාදනය හා අලෙවිය බ්‍රිතාන්‍යයන්ගේ ඒකාධිකාරයක් බවට පත් විණි. දුප්පතාට මෙන්ම පොහොසතාටද අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වුණු ලුණු වලට මෙලෙස බද්දක් පැනවීම අධර්මිෂ්ඨ ක්‍රියාවක් ලෙස සැළකූ මහත්මා ගාන්ධි එයට විරුද්ධව විශේෂ ක්‍රියා මාර්ගයක් ගත්තේය. ඒ අනූව 1930 මාර්තු 12 දා මෙම ලුණු බද්දට එරෙහිව පාද යාත‍්‍රාවක් ඇරඹූ අතර එය දින 25 පුරා පවත්වනු ලැබීය. සබාර්මතී ආශ‍්‍රමයෙන් වෙරළබඩ දන්දි දක්වා සැතපුම් 241 ක් වුණූ මෙම පාගමනට ඉන්දියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වූහ. මෙම පාගමන අප්‍රේල් 5 වෙනිදා දන්දි වෙරළට ලගා වූ අතර එහිදි ගාන්ධි විසින් ලුණු අහුරක් අතට ගෙන බ්‍රිතාන්‍යයන්ගේ නීතිය කඩා දැමීය. මේ නිසා ගාන්ධි අත්තඩංගුවට පත් විය. නමුත් ඔවුන්ගේ අමානුසික නීති දෙදරවාලීමට මෙම පාගමන ප්‍රබල පිටුවහලක් විය.
මේ අයුරින් නොයෙක් අවස්ථාවලදී මහත්මා ගාන්ධි අධිරාජ්‍යවාදී පාලකයන්ගේ නීතිරීති කඩ කළේය. කොතරම් නීති විරෝධි වුවද ඔහුගේ ව්‍යාපාරයන් සාමකාමි මෙන්ම සිත් ගන්නා සළු ද විය. ඉන්දියාවේ සම්පත් හා නිෂ්පාදනයන්ගේ ප්‍රතිලාභ ලබමින් බ්‍රිතාන්‍යන් සැපවත් ජීවිත ගත කළ අතර එය ඉන්දියානුවන්ට දැරිය නොහැකි විය. ආර්ථික අපහසුතාවයන් නිසා ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් කුසගින්නේ මිය ගියේය. මෙම තත්වය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පැවති අතර ඉන්දියානුවන්ට නොයෙක් අකටයුතුකම් කිරීමටද බිතාන්‍යයන් පෙළඹුණේය. මේ අතර ඉන්දියානුවන් කිසිදු හේතුවක්‌ නොමැතිව සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා පනතක්‌ සම්මත කිරීමටද ඔවුන් කටයුතු කළහ. එයින් තත්වය තවත් උග්‍ර විය.
බ්‍රිතාන්‍යයන්ගේ මෙම ක්‍රියා කලාපයට එරෙහිව ගාන්ධි සත්‍යග්‍රහ සහ හර්තාල් ව්‍යාපාරයක්‌ ආරම්භ කළේය. බ්‍රිතානය ජෙනරාල් රෙජිනල්ඩ් බී. එච්. ඩයර් විසින් රැස්‌ව සිටි පිරිසට වෙඩි තබන ලෙස ඉන්දියානු හමුදාවට නියෝග කළේය. මෙහිදී පුද්ගලයින් 379 දෙනකු ජීවිතක්‌ෂයට පත්වූ අතර දහස්‌ ගණනක්‌ තුවාල ලැබූහ. ගාන්ධිතුමත් අත්අඩංගුවට පත් වූ අතර, එතුමාට වසර හයක සිර දඬුවමක්‌ නියම කරනු ලැබිණ.
ගාන්ධිතුමාගේ අවිහිංසාවාදයේ තරම දැනගැනීම සදහා පහත ප්‍රකාශය ඉතා වැදගත් වේ. ගාන්ධිතුමා හැම අවස්ථාවකදීම අවිහිංසාවාදය හා සත්‍යඅගය කොට සැලකීය. ඔහු චාම් සරල දිවිපෙවෙතක් ගත කළ අයෙක් විය. ඔහු විසින්ම ගොඩ නගාගත් ආශ්‍රමයේ වූයේ ඔහුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණකි. තම ඇඳුම් පැළඳුම් තමා විසින්ම සකස්කරගත් ඒවා විය. හෙතෙම, අතින් ක්‍රියාත්මක කරන ලද චර්කයකින් වියා ගන්නාද ලද නූල් වලින් මැසූ සාම්ප්‍රදායික ඉන්දියානු ජෝතිය හා සලුව භාවිතා කළේය. ඔහු සරල එළවළු ආහාරයට ගන්නා ලදී. එමෙන්ම ඔහු නිරාහාරව උපවාසයේ යෙදී සිටි කාලයද අති මහත්ය. සමහර දාට මසකටත් වඩා ඔහු එසේ සිටියේ තම ආත්ම පාරිශුද්ධත්වය හා විරෝධය පල කිරීම පිණිසම වේ.
කිහිප වතාවක්ම සිර දඩුවම් විදීමට සිදු වුවද ගාන්ධිතුමා සත්‍යග්‍රහ හා අරගල දිගටම කරගෙන ගියේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1947 අගෝස්‌තු 15 වැනි දින ඉන්දියාවේ නිදහස්‌ සිහිනය යථාර්ථයක්‌ බවට පත්විය. ගාන්ධි කොමියුනිස්ට්වාදය නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගයක් ලෙස දුටුවේ නැත. සත්‍යග්‍රහ ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක කිරීම ඔහුගේ අරමුන විය. වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි. මේ අනූව එම නිදහස දක්වා වූ ගමන් මාර්ගය සාර්ථක කර ගැනීම සදහා සෑම ප්‍රයත්නයක් තුළම වූයේ මහත්මා ගාන්ධිතුමාගේ අවිහිංසාවාදි සංකල්පය බව නිතැතින්ම පැහැදිලි වේ.
මහත්මා ගාන්ධිගේ සමාජ සාධාරණත්වය
ජාතික ව්‍යාපාරය මගින් ඉන්දියානුවන්ගේ චින්තනයද උසස් මට්ටමක ඔසවා තැබුවේය. බ්‍රිතාන්‍යයන්ගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ සමාජ සාධාරණත්වයක් පිළිබදව අදහස් පැන නැගෙන්නට විය. එහි පුරෝගාමියකු ලෙස මහත්මා ගාන්ධි සුවිශේෂි ස්ථානයක් ලබයි. ගාන්ධිත් සමග සමාජ සාධාරණත්වය උදෙසා චින්තනයෙන් අත්වැල් බැදගත් තවත් වැදගත් චරිතයක් වනුයේ ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර්ය. 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද අම්බෙඩ්කාර් කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ධූරය දැරීමට තරම් උගතකු විය.
ඉන්දියාව අතීතයේ පටන්ම වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය පදනම් කරගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන රටකි. කුල භේදය දැඩිව පවතින ඉන්දියාවේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ පහත්ම කුලය ලෙස හරිජන බිහි විය. මේ නිසා සමාජයේ සියල්ල කුල ක්‍රමය මත පදනම් විය. ගාන්ධි හා අම්බෙඩ්කාර් මෙම කුල ක්‍රමය එකහෙලා ප්‍රතික්ෂේප කලහ. එකල ඉන්දියාවේ කම්කරුවන් ලෙස හුවා දැක්වූයේ කුලයෙන් පහත් පිරිස්ය. නමුත් මොවුන් දෙදෙනා කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය.
අසාධාරණයට ලක් වූ ඉන්දියානුවන්ගේ විමුක්තිය උදෙසා ගාන්ධි නොබියව තම අදහස් ප්‍රකාශ කළේය. නමුත් ඒවා බොහොමයක් ආගම මත පදනම් වූ කරුණුය. සමාජ සාධාරණත්වය පිළිබඳ ගාන්ධිගේ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් යොමු ‍කර තිබේ. ඔහු අවිහිංසාවාදි අදහස් පදනම් කරගනිමින් ප්‍රගතිශිලි ව්‍යාපාරයක නියුතු විය.
බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය ජාතිවාදය විප්ලවවාදී ජනතා සටනකට පරිවර්තනය කර, එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම සිදු වූයේ ගාන්ධිගේ අනුදැනුම මතය. පංචමත්වය නිසා ඉන්දියාව අසීමිත ලෙස දුක් විඳින බවත් එය පාපයක් බවත් පෙන්වා දුන් ගාන්ධි පංචමත්වය දුරුකර වීම හා එය පවත්වාගෙන යෑම වරදක් ලෙසට නීති සකස් කළේය.
ආගම්, කුලවාදය දුරු කිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී විෂමතා දක්නට ලැබුණ ද එය තව දුරටත් වැඩි දියුණු කිරීමට ඔහු කටයුතු කළේය. එහිදි ගාන්ධි හින්දූන් ආරක්ෂා කිරීමටද ඊට එරෙහි බලවේග මර්දනය කිරීමටද ඉදිරිපත් විය. 1918 පැවති පීඩිත දළිත පංති සම්මේලනයේදි අම්බෙඩ්කාර් ප්‍රකාශ කළේ “මේ රට අසමානතාවයේ නිවාසස්ථානයයි.බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොවන පීඩිත පංතිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක” යන්නයි. ඒ සදහා පීඩිත පංතිවලට හොද අධ්‍යාපනයකුත්, සිවිල් සේවය හා ත්‍රිවිධ හමුදා සේවය සැමට විවෘත විය යුතු බවත්, ඡන්ද ක්‍රමය තුළ එක් එක් ජනවර්ග උදෙසා සම්පූර්ණ පළාත් ස්වයංපාලන අයිතිය තිබිය යුතු බවත් පෙන්වා දුන්නේය.
ඒ අනූව ක්‍රිස්තියානි, ඇංග්ලෝ ඉන්දියානු ,යුරෝපා ,ෂික් ජාතික ඉඩම් හිමියන්ට, කම්නරුවන්ට, ව්‍යාපාරිකයන්ට ස්වයංපාලන අයිතිය හිමි වීමට ඉඩ තිබුනි. නමුත් ගාන්ධි පහත් පන්තිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට විරුද්ධව අදහස් ප්‍රකාශ කළේය. ගාන්ධිගේ හා අම්බෙඩ්කාර්ගේ මෙම මත ගැටුම ඔවුන් දෙදෙනා සතුරන් වනතෙක්ම දුර දිග ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1932 සැප්තැම්බර් 24 දා “පූන”පනතට අත්සන් කිරීමට සිදු වුණි.
ස්වරාජ්‍ය සංකල්පය යටතේ මහත්මා ගාන්ධි විසින් ග්‍රාමීය සංවර්ධනය නගා සිටුවිමට උත්සාහ කළේය. ගම හා නගරයේ ජනතාව අතර පරතරයක් නොවියයුතු බව ගාන්ධිගේ අදහස විය. රට තුළ සියලු දෙනාට පොදු වූ සමාජයක් ගොඩ නැගීම ඔහුගේ එකම අභිප්‍රාය වූ බව පහත කියමනෙන් පැහැදිලි වේ. *නාගරික ජීවිතය පාපකාරී බවත්, දිළිඳු බව ,නූගත් බව , කුල පීඩනය ඉවත් කිරීමට ග්‍රාමීය ස්වරාජ්‍ය සංකල්පය අත් කර ගත යුතු බවත් බටහිර සංස්කෘතියේ අංගයක් වූ කාර්මීකරණයට විරුද්ධ වූ ගාන්ධි ඒ මගින් ග්‍රාමීය ජීවිතයට හානි නොවිය යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.“
මහත්මා ගාන්ධි තුමාගේ අධ්‍යාපනික හා දාර්ශනික සංකල්ප
අවිහිංසාවාදී සත්‍යග්‍රහ දර්ශනයේ පුරෝගාමියා ලෙස ගාන්ධිතුමා සැළකිය හැකි ය. ඒ අනුව එතුමා ශ්‍රේෂ්ඨ චින්තකයෙක්, දාර්ශනිකයෙක් මෙන් ම ශේෂ්ඨ අධ්‍යාපනඥයෙක් ලෙස ද තම කාර්යභාරය ඉටු කළේය.
අධ්‍යාපනය තුළින් හිස සහ අත පුහුණු කිරීම ම පමණක් නොව හදවත පුහුණු කිරීම ද සිදු විය යුතු බව ඔහු සඳහන් කරයි. මෙතුමා දක්වන ආකාරයට පුද්ගලයා සිය දැනුම ලබා ගත හැකි මාර්ගයට පිවිසෙනුයේ අභ්‍යන්තර ශක්‌තිය වර්ධනය කර ගැනීමෙනි. එලෙස පුද්ගලයා හට සිය අභ්‍යන්තර ශක්‌තිය වර්ධනය කර ගැනීමට හැකි වන්නේ, ස්‌වභාව ධර්මය සමග ජීවත් වෙමින් ඉඳුරන් වටහා ගෙන ඒවා නිසි පරිදි පාලනය කිරීම තුළින් බව දක්වයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් එතුමා තව දුරටත් දක්වන්නේ, ඇස‌, කන නාසය, දිව, ශරීරය ආදී වශයෙන් වූ පංච ඉන්ද්‍රියයන් තුළින් මනසට පණිවුඩ ගෙන යන අතර ඉන් හිස පෝෂණය වී දැනුම ඇති වන බවයි. එබැවින් කුඩා කල සිටම ළමයා සතු ඉන්ද්‍රිය පද්ධතිය මනාසේ පෝෂණය කොට නිසි මගට යොමු කිරීම තුළින් ළමයාගේ අධ්‍යාපන ක්‍රියාදාමය ද ඔප මට්‌ටම් කර ගත හැකි බව ගාන්ධිතුමාගේ විශ්වාසයි.
ගාන්ධිතුමාගේ අදහස වූයේ අධ්‍යාපනය යන්න සෑම දෙනාට එකසේ ලැබිය යුතුයි යන්නයි. ඒ බව ඔහු විසින් “හිරුරැස්‌ හා වර්ෂාව සෑම දෙනාටම සමසේ ලැබෙන්නා සේ අධ්‍යාපනය ද සමසේ ලැබිය යුතුයි“ යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඔහු අධ්‍යාපන ක්‍රමවේදය ලෙස දක්වන්නේ “මව් පසින් අධ්‍යාපනය දීම යන්නයි.
ප්‍රාථමික අධ්‍යාපනය පමණක් නොව උසස්‌ අධ්‍යාපනය ද මව් බසින් ලබා දිය යුතු බව දක්වයි. එතුළින් පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්ට හා සේවකාදීන්ට පහසුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු කළ හැකි බව ඔහුගේ අදහස විය .“ එම ක්‍රමවේදය තුළින් අධ්‍යාපනය ලබා දීම පුද්ගල සංවර්ධනයන් සදහා මග පාදන්නක් බව දක්වයි. ඒ තුළ ඔහු සදාචාරාත්මක සංස්‌කෘතිකමය වාග් විද්‍යාත්මක මනෝ විද්‍යාත්මත්මක ආදී වශයෙන් වූ අගයන් සමුදායක් පිළිඹිබු කරවයි. ඔහු ඉන් උත්සුක වූයේ, විදේශ බලවේග මැඩපවත්වා දේශීයත්වය අගය, ජාතික මමත්වයෙන් යුතුව ක්‍රියා කරන කරන සමාජයක්‌ බිහි කරලීමය.
එසේ ම ශිල්ප කේද්‍රීය අධ්‍යාපනය මූලික කර ගෙන ළමුන්ගේ කුසලතා වර්ධනයට උත්සුක වී තිබේ. ඒ තුළින් ඔහුගේ අරමුණ වූයේ දේශමාමකත්වය ගොඩනැගීම තුළින් වැසියන් ඒකරාශි කිරීමයි. එමගින් දේශයේ එක්‌සත් බව හා සාමුහිකකත්වය ගොඩනැගිය හැකි බව දැක්වීය. එතුමන් සාර්ථක බුද්ධිගෝචර පුහුණුවක්‌ සඳහා අධ්‍යාපනය සමග හස්‌තකර්මාන්තය සම්බන්ධ කරනු ලැබීය. මේ සඳහා උචිත විෂය ලෙස දැක්වූයේ රෙදි විවීමයි. ප්‍රාථමික අංශයේ සිට උසස්‌ ශ්‍රේණින් දක්‌වාම මෙම කර්මාන්තය සදහා කපු නූල් කැටීම, රෙදි විවීම ඇතුළු සියලු ක්‍රියාදාමයන් උපයෝගී කරගත් අතර එය වයස්‌ මට්‌ටම් අනුව ළමුන්ගේ විවිධ කුසලතා වර්ධනයට හේතුවන බව ඔහුගේ අදහස විය. එසේ ම මෙවැනි ආර්ථික වටිනාකමින් යුත් විෂයයන් තුළින් ස්‌වයංපෝෂිත ඉලක්‌කය සපුරාගත හැකි බව ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනයේ හරය විය. මීට සමගාමීව භූගෝලය ඉතිහාසය, දේශපාලනය හා ගණිතය වැනි විෂයයන් හැදෑරීමට අවස්‌ථා ලබාදී තිබෙන අතර එතුළින් පූර්ණ වර්ධනයක්‌ ගොඩනැගිය හැකි බව ගාන්ධිතුමා විසින් පෙන්වා දුනි.
පුද්ගලයා තුළ පිරිසිදු ආකල්ප වර්ධනය කිරීමේ මාර්ගය ලෙස දැක්වූයේ ද පුද්ගල හෘදය පිරිසිදු කරගැනීමයි. එසේ සිදු කිරීම ගාන්ධි තුමන් දකිනුයේ දෙවියන් වහන්සේ දැකිය හැකි ආකාරයක් බවයි. මොහු මෙහි දී හෘදය පිරිසිදු කිරීම ලෙස සදහන් කරනුයේ බ්‍රහ්මචාරී බව, පරිත්‍යාගශීලී බව, ආත්ම දමනය වැනි ගුණාංග පුද්ගලයා තුළ දියුණු කර ගැනීමයි.එතුළින් කෙනෙකුට අවිහිංසාවාදියකු, ගවේශකයකු වීමට හැකි බවත්, ඉන් දෙවියන් වහන්සේ දැකිය හැකි බවත් වැඩිදුරටත් සදහන් කර තිබේ.
වර්තමානය වන විට බොහොමයක්‌ තුන් වන ලෝකයේ රටවල ද ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය පාදක කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ.
එසේ ම ඔහුගේ දාර්ශනික චින්තනමය හැකියාව ද උසස් මට්ටමකින් යුක්ත වූ බව පහත සදහන් කරනු ලබන ඇතැම් ප්‍රකාශ වලින් ගම්‍ය වේ. වරක් ඔහු සඳහන් කර ඇති ප්‍රකාශයකින් ඔහුගේ දාර්ශනික භාවය විද්‍යමාන වේ. එනම්, “සතර දිග් භාගයෙන් හමා එන සුළඟ ඇතුළුවීමට හැකිවනසේ ඔබේ සියළුම දොරවල් සහ ජනෙල් විවෘත කර තබන්න. නමුත් සුළඟට ඔබව ගසාගෙන යැමට නොහැකි වනසේ ඔබේම භූමිය මත ඔබ ඔබේ දෙපා දැඩිව රඳවාගෙන සිටිය යුතුයි.“ යන්නයි. එතුලින් ඔහුගේ දාර්ශනික භාවය මනාව විද්‍යමාන වේ. එසේම මොහුගේ චින්තනාවලිය කෙසේ ද යත් 1947 දී ඔහු විසින් පවත්වන ලද දේශනයක කළ ඇති අදහස් අනුව පැහැදිලි වේ. "අපට නීති මගින් කිසිදිනෙක මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලිය නොහැකිය. එම ක්‍රමය අපට නොගැලපේ. ප්‍රථමයෙන්ම නායකයින් අංගසම්පූර්ණ පුද්ගලයන් බවට පත්විය යුතුය. ඔවුනට මහජනයා වෙනුවෙන් සේවයක්‌ කළ හැක්‌කේ එවිටය. දේශනාවලින් පමණක්‌ කිසිදු ප්‍රතිඵලයක්‌ නොලැබේ.“ මේ අනුව පැහැදිලි වන්නේ පවතින නීති මගින් ම පමණක් ජනතාවගේ ජීවන තත්වය ගොඩනනැගිමට කටයුතු කළ නොහැකි බවයි. ඒ සදහා නායකයින් ද ගුණාංගවලින් යුක්ත විය යුතු බව සදහන් කරන අතර ජනතාවට සේවය කළ හැකි මාර්ගය සකස් වන්නේ ඒ තුළින් පමණක් බවක් දේශනා තුළින් ප්‍රතිඵලයක් නොලැබෙන බවත් දත්වයි. මේ අනුව ඔහුගේ චින්තනයේ උසස් බව ගම්‍ය වේ.
1928 ඔහු චීන කාන්තාවක් වෙත යවනු බලන ලිපියක සඳහන් වනුයේ, “මූලික හේතු සාධකය ඉවත් නොකර ජාතීන් හා ජනවර්ගයක්‌ අතර සමගියත් ඇති කළ නොහැකිය. එකි මූලික සාධකය නම් ශක්‌තිවන්තයා විසින් දුර්වල තැනැත්තා සූරා කෑමයි.“ එනම් රාජ්‍යයක් තුළ පාලකයා විසින් පාලිතයා සූරා කෑම යන ප්‍රධාන හේතු සාධකය ඉවත් නොකරන තාක් කල් ජාතීන් අතර සමගිය ඇති කරලීමට නොහැකි බව දක්වයි. ඒ අනුව පැහැදිලි වන්නේ සියල්ලටම සම තත්වය සමාජය තුළ ලැබිය යුතු බවයි.
එසේ ම 1948 දී සිය මිතුරෙකු වෙත යවන ලද ලිපියක “ඉරණම හෝ දෛවය යනු කර්මයේ ඵලයයි. ඉරණම හොඳ එකක්‌ හෝ නරක එකක්‌ විය හැකිය. මිනිසාගේ උත්සාහය තුළින් පීඩිත ඉරණමක්‌ වුවද ජයගත හැකිය. මිනිසාගේ උත්සාහය හා ඉරණම අතර අඛණ්‌ඩ අරගලයක්‌ පවතී. එයින් ඇත්ත වශයෙන්ම කුමක්‌ ජය ගනීවි දැයි කිව හැක්‌කේ කාටද එම නිසා අපි අපේ උත්සාහය අඛණ්‌ඩව පවත්වාගෙන යන අතර ප්‍රතිඵලය දෙවියන්ට භාර කරමු. “ යන්නෙන් සඳහන් කර තිබිණ. මෙහි සරල අදහස් වන්නේ පුද්ගලයාගේ ඉරණම හෝ දෛවය කුමක් වුවත් උත්සහය තිබේ නම් ඕනම භාධකයක් ජය ගත හැකි බවයි.
1926 සැප්. 23 වැනි දින ගාන්ධි විසින් ශද්බට ෂබාස්‌, පුවත්පතට "මම" සහ "මගේ" යන පද ඉවත්කිරීම යන මාතෘකාව යටතේ ලියා හ ඇති ලිපියක සඳහන්ව තිබූනේ, “අපට ආගමෙන්, දේශපාලනයෙන්, හා ආර්ථිකයෙන් "මම" සහ "මගේ" යන පද ඉවත් කළ හැකි නම් අපට කඩිනමින් විමුක්‌තිය ලඟා කර ගත හැකි අතර ස්‌වර්ගයද මිහිතලය මතට රැගෙන හා හැකිය." මේ අනුව එතුමාගේ තිබූ උසස් දාර්ශනිකමය චින්තනමය ශක්තිය පැහැදිලි වේ.
විදේශීකයන්ගෙන් මෙන් ම බාහිර බලපෑම්වලින් සිය රාජ්‍යය මෙන් ම ජනයා ආරක්ෂා කර ගැනීම සදහා නමින් පමණක් සටන් ව්‍යාපාරයක් දියත් කරනු වෙනුවට සංකල්පීයම වශයෙන් ගාන්ධි තුමන්ගේ සටන් ව්‍යාපාරය දාර්ශනික, චින්තනමය, අධ්‍යාපනික,සමාජීය, සදාචාරමය වශයෙන් හර පද්ධතියකින් යුක්ත වූවක් බව ඉහත කරුණු අනුව පැහැදිලි ය.

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...