Friday, March 15, 2019


උපනිෂද් යුගයේ දාර්ශනික පසුබිම.


භාරතීය ආගමික පසුබිම ලෝකයෙ අනිකුත් ආගම් අතර සුවිශේෂි වුවකි. දර්ශනවාද කිහිපයක සංකලනයෙන් න්ර්මාණය වී ඇති මෙය අතීත මානව ඉතිහාසයේ පැතිකඩවල් රාශියක් විවරණය කරනු ලබයි. බටහිර ආගමික පසුබිමට වඩා සුවිශේෂි ලක්‍ෂණ සමුහයක් භාරතීය ආගමික පසුබිම තුළ දැකිය හැක. මිනිසා කෙරෙහි නැඹුරු වූ කේන්ද්‍රීය කරුණු කාරණා මේ තුළ විශේෂයෙන් කැපී පෙනෙයි. බටහිර ආගම් හුදු චින්තනය සඳහාම කාලය වැයකොට ඇත. චින්තනයේ අභිවෘද්ධිය සඳහා  හේතුවන න්‍යායන් ඉදිරිපත් කරමින් තම දර්ශනයන් පෝෂණය කිරීමට පමණක් ඔවුන් උත්සාහ දරා ඇත. ඒ අතර සමහර දාර්ශනිකයන් ජීවිතය පිළිබඳව විග්‍රහයන් සිදුකිරිමට කටයුතු කර ඇති අතර එය එතරම් සාර්ථක වී නැත. නමුත් පෙරදිග ආගමික චින්තකයින් චින්තනය හා ජීවිතය යන දෙඅංශය පිළිබඳවම සාකච්ඡා කර ඇත. මිනිසාගේ සෑම ප්‍රශ්නයක් කෙරෙහිම අවධානය යොමු කිරීමට තරම් භාරතීය ආගමික පසුබිම දියුණු වුවකි- දේශපාලනික සංස්කෘතික ආගමික හා සමාජීය යන සෑම අංශයක්ම පෙරදිග දාර්ශනිකයා විසින් සියුම් විමසුමකට ලක් කර ඇත. වෛදික උපනිෂද් ජෛන හා නියතවාදි ආදි දර්ශන සම්ප්‍රදායන්වල ඒ ඒ කාල වකවානු තුළ විසූ චින්තකයන් සදාචාරමය විඥානයකින් හා ගැඹුරු බුද්ධියකින්ද යුක්ත වු පිරිසකි. ඒ නිසා ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනයද ජනතාවට හිතකර වූ ප්‍රායෝගික එකක් විය. මෙවැනි සුවිශේෂි වූ ලක්‍ෂණ භාරතීය ආගමික පසුබිම තුළ සුලභව දක්නට ලැබේ. සමස්තයක් ලෙස මිනිසා නව මාවතකට යොමු කර එමගින් ඔහුගේ චින්තන ශක්තිය වර්ධනය  කර යහපත් පුද්ගලයකු බවට පත්කිරීමට අතිශයින් උපකාරි වූවක් ලෙස භාරතීය ආගමික පසුබිම හැදින්විය හැක.
භාරතය අනාදිමත් කාලයක පටන් නොයෙක් දර්ශනයන්ගේ උප්පත්ති ස්ථානය විය. දැනට ශේෂව ඇති සාක්ෂ්‍ය අනූව වෛදික දර්ශනයේ පටන් නොයෙක් දර්ශන සම්ප්‍රදායන් ඒ අතර වේ. භාරතයේ ක්‍රි. ව 6 වන ශතර්ෂයේදි පමණ පහළ වූ බෞද්ධ දර්ශනය එම දර්ශනයන් අතර අග්‍ර වූවක් ලෙස බොහෝ දෙනාගේ ගෞරවයට පත්‍ර වී තිබේ. බුදු දහමේ උදාව සඳහා භාරතයේ පැවති නොයෙක් ආගම් හා දර්ශන අතිශයින් උපකාරී වී ඇත.  ප්‍රාග් බෞද්ධ යුගය ලෙස සැලකෙන වෛදික,  බ්‍රාහ්ණ,  අරණ්‍යක,  උපනිෂද් යුගවල පැවති ආගමික සංකල්ප බුදු දහමේ විකාශය සඳහා හේතු වී ඇත.  විශේෂයෙන්ම එහිදි උපනිෂද් දර්ශනයේ බලපෑම සෘජුවම ලැබී ඇත.
උපනිෂද් දර්ශනය වනාහි මිනිසාගේ චින්තනයේ දියුණු අවස්ථාවක් පෙන්නුම් කරනු ලබයි. ගැඹුරු සංකල්පනාවන්ගෙන් හා දියුණු සාහිත්‍යකින් සමන්විත මෙය පසුකාලීන දර්ශන සම්ප්‍රදායන්ට මූල බීජය විය. එම උපනිෂද් දර්ශනය පිළිබදව විමසා බැලීමක් මෙහිදී සිදු කරනු ලබයි. එහිදී උපනිෂද් යුගය, උපනිෂද් ග්‍රන්ථ, උපනිෂද් ඉගැන්වීම් යන ප්‍රධාන මාතෘකා යටතේ කරුණු ඉදිරිපත් කර ඇත. එම නිසා මෙමගින් උපනිෂද් දර්ශනය පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.


උපනිෂද් යුගය.
වෛදික යුගයෙන් පසුව එළඹෙනුයේ උපනිෂද් යුගයයි. ක්‍රි. පූ 800 – 600 අතර කාල පරාසය මෙම යුගයට අයත් ලෙස සැලකේ. භාරතීය චින්තනයේ අග්‍රතම කාලය ලෙසද උපනිෂද් යුගය බහුමානයට පාත්‍ර වේ. වෛදික යුගයේ පටන් ක්‍රමානුකූලව වර්ධනය වී පැමිණි මිනිසාගේ බුද්ධියා මෝරා යනුයේ උපනිෂද් යුගයේදීය. පුරාතනයේ පටන්ම ඉන්දියානුවන් උත්සාහ කළේ ආත්ම සාක්ෂාත්කරණය සදහාය. එහිදි ඔවුන් විවිධ ක්‍රමෝපායන් අනුගමනය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස නොයෙක් දර්ශනයන් ලොවට පහළ විය. වෛදික යුගයේදි භාරත වැසියන් බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ හා සන්‍යාසි යන චතුරාශ්‍රධර්ම අනූව ජීවිතය ගත කර ඇත. ඒ අනූව වානප්‍රස්ථ අවස්ථාව සත්‍යක්ෂණය සදහා යොදා ගත්හ. එම නිසා නොයෙක් භාවනා ක්‍රම මගින් ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්නට ඔවුන්ට හැකි විය. ධර්ම, අර්ථ, කාම හා මෝක්ෂ යන තත්වයන්ට පත් වීම එම දියුණුවේ උපරිම අවස්ථාව විය. ඔවුන් ලබාගත් සුවිශේෂි තත්වයන් උපයෝගි කරගනිමින් නොයෙක් ගැඹුරු කරුණු පිළිබදව සාකච්ඡා කිරීම උපනිෂද් යුගයේදි අර්ථවත් වී ඇත.
උපනිෂද් යුගයේ පැහැදිලි ව මැ මූලික දාර්ශනික ප්‍රශ්නයන්ට පිළිතුරු සෙවීම දැකිය හැකි අතර ආරණ්‍යකයන්ගේ තිබුණු ආත්මගවේණනය හුවාදැක්වීම පූර්ණ වශයෙන් ම අභ්‍යන්තරය ගැනැ සෙවීමක් දක්වා මෙහි දී දියුණූ වී ඇත. ලෝකයේ ආරම්භය මිනිසා ගේ උපත පැවැත්ම මරණින් මතු පැවැත්ම ආදී වූ බොහෝ දේ පිළිබඳ ව විමර්ෂණාත්මක තොරතුරු සෙවීමක් සිදුකළ උපනිෂද් මුනිවරු වනාහී සපුරා වේද මාර්ගයෙන් මිදුනෝ නො වූහ. බ්‍රාහ්මණ ග්‍රන්ථ යනු වේද කෘතීන්ට ලියැවුණු භාෂ්‍ය ස්වරූපයක් වූ අතර බ්‍රාහමණයන් ගේ සංකල්ප වැඩි වර්ධනය කරමින් පැහැදිලි කිරීමක් ආරණ්‍යක තුළ දී සිදු වී ය. ආරණ්‍යක තුළ ඇති සංකල්පය තව තවත් දාර්ශනික ව දියුණු කරමින් වඩාත් ප්‍රශස්ථ මට්ටමකින් පැහැදිලි කිරීම උපනිෂද් තුළ දී සිදු කර ඇත. මෙහි දී සිදු වී ඇත්තේ වේදයේ එන්නා වූ කරුණු ම විචක්ෂණ ශිලීව විවරණය කිරිමක් ය. නුමුත් එහි දී වේදයේ දක්නට ලැබෙන සෛද්ධාන්තික කාරණාවන් ගේ වෙනස් කිරීමක් ඒවා ගේ පැවැත්මට හානියක් නො වන සේ ගෙන හැර පෑම දැකිය හැක. එයට එක් උදාහරණයක් නම් බහු දේවවාදය පරමාත්මවාදයකට පරිවර්තනය වීම සිදු වීම ය. සෘග් වේදයේම පසුව ලියැවුණු දසවන කාණ්ඩයේ ඇතුළත්වන පුරුෂ සූක්තය ආදී සූක්ත වනාහි සියලු දෙවි වරුන්ට ප්‍රාථමික වූ එක් දෙවි කෙනෙක් ගැනැ දක්වන්නේය. එය විවිධ සූක්තයන් ගේ විවිධ නාමයන් ගෙන් දක්වන්නේ වුව දු ඒ සියල්ල තුළ දක්නට ඇත්තේ එක් ප්‍රධාන වූ දෙවියෙකු පිළිබඳ සංකල්පයය. පසුව මෙම සංකල්පය බ්‍රාහ්මණ ග්‍රන්ථ තුළ දි වඩාත් වර්ධන ය වූ අතර ප්‍රජාපතී නම් එක් දෙවි කෙනෙකු සියල්ල ගේ නිර්මාතෘ ලෙස දැක්වීමක් විය. ආරණ්‍යක අවධියේ දී මෙය තව දුරටත් වර්ධනය වූ අතර උපනිෂද් මුනිවරු මෙය පැහැදිලි කරන ලද්දේ සියලු තැනැ සියල්ල තුළ වූ ආත්මයක් බලයක් ඒකාත්මීය භාවයක් ලෙසටය.
උපනිෂද් යුගයේදී ගුරුවරයා විසින් ශ්‍රැතියෙන් අතවැසියාට උගැන්වූ රහස් දැනුමක් පැවතියේය. උප + නි යන උපසර්ග පූර්ව සද් ධාතුවෙන් නිපන් උපනිෂද් යන්නෙන් “සමීයෙහි හිද“ යන අර්ථය දෙයි. මෙසේ  සමීපයේ හිඳ යන අර්ථයෙන් විග්‍රහ කිරීම මගින් ද පෙනී යන්නේ රහස්‍ය භාවයය. තව ද රහස්‍ය යනු උපනිෂද් හැඳින්වීම සඳහා ම පර්යාය නාමයක් වශයෙන් යොදාගෙන තිබීම මගින් ද මෙය දැක්ක හැකැ. ‘ධර්මේ රහස්‍ය උපනිෂද් ස්‍යාත්“ වැනි අමරකෝෂයේ එන පැහැදිලි කිරීම් එම මතය තවදුරටත් පැහැදිලි කරන්නේය. නමුත් එය එතරම් ගැළපෙන පැහැදිලි කිරීමක් නොවේ. උපනිෂද්හි ගුරුවරයා ශිෂ්‍යයා සමීපයේ තබාගෙන ඔහුට දැනුම ලබා දී ඇත. දැනුමත් සමග ගුණවත්කම, හැදියාව හා සදාචාරය ශිෂ්‍යයාට හිමි වුණි. නමුත් එය සෑම ශිෂ්‍යයකුටම ලබා ගැනීම කළ නොහැකි විය. සුදුසු ශිෂ්‍යයන් පමණක් ඒ සදහා හිමිකරුවෝ වූහ. ඒ නිසාම උපනිෂද් ඉගැන්වීම් යම්කිසි ගුප්ත බවක් දරයි. ඒ හැර එහි කිසිදු රහසිගත බවක් නොවන්නට ඇත.
උපනිෂද් මුනිවරු සාකච්ඡා කළ මාතෘකා ඉතා ගැඹරු ඒවා විය. ඒ බව ඔවුන්ගේ ග්‍රන්ථයන්ගෙන් මනාව පැහැදිලි වේ. එම නිසා එම ගැඹුරු කරුණු අවබෝධය සෑම කෙනෙකුටම විෂය නොවීය. සාමන්‍යය ජනයාගෙන් වෙන්ව වනගතව එම කරුණු සාකච්ඡා කළේ ඒ නිසා වන්නට ඇත. තත් යුගයේ පැවති සමාජ වාතාවරණයද එයට බලපාන්නට ඇත. උපනිෂද් යුගය වනාහි බ්‍රාහ්මණ බලය ගිලිහි යන කාල පරාසයක් විය. බමුණු මතවාදවලට විරුද්ධව නැගී ආ උපනිෂද් දර්ශනය බමුණන්ට ප්‍රබල පහරක් වී ඇත. මෙම තත්වය යටතේ උපනිෂද් මුනිවරුන්ට බමුණු සමාජයෙන් නොයෙක් විරෝධතා නැගෙන්නට විය. ඒ නිසා තම දාර්ශනික කටයුතු හා අධ්‍යාපනය බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට රහසිගතව ක්‍රියා කිරීම ඉවහල් විය.
උපනිෂද් මතවාද ඉදිරිපත් වූ මෙම කාලය ලෝක ඉතිහාසයේද ඉතා වැදගත් සංධිස්ථානයකි. මිනිසුන් තුළ බුද්ධිමය වර්ධනයක් සිදු වන්නේ මෙම කාලයේදීය. විශේෂයෙන්ම වෛදික යුගයේදි බමුණන්ට අනූව සමාජය හැඩ ගැසී තිබුනි. භාරතීය පුද්ගලයාට සිතීමට පවා සිදු වූයේ බමුණන්ට අවශ්‍යය පරිදිය. මෙම රටාව බිද දමමින් ක්ෂත්‍රියවරු නැගී සිටින්නේ මෙම කාලයේදීය. මේ සමග බමුණු බලය සමාජයෙන් ගිලිහි යන අතර ක්ෂත්‍රියවරු රාජ්‍ය බලයෙන්ද වර්ධනය වූහ. බමුණන් අතර පමණක් විසිරී තිබුණු වරප්‍රසාද ක්ෂත්‍රියන් අතරද පැතිරිණි. මේ නිසා ආගමික දාර්ශනික විෂයන් අතරින් ඉහළට ඒමට ක්ෂත්‍රියන්ට හැකි විය. එයට කිදිම උදාහරණයක් ලෙස සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ දැක්විය හැකිය. උන්වහන්සේ ක්ෂත්‍රිය වංශිකයෙකි. ජෛන මහාවීරද ක්ෂත්‍රියෙකි. මෙලෙස පසුකාලීන නොයෙක් ශ්‍රේෂ්ඨ දර්ශනයන්ගේ පහළ වීමටද මග පෑදූයේ මෙම යුගයේ පරිවර්තනයයි.
උපනිෂද් යුගයේදී ඉන්දියාව පුරා බුද්ධිමය ප්‍රබෝධයක් ඇති විය. ආගම්, දර්ශන හා ආචාර සමාචාර විධි පුළුල් මේ හරහා වර්ධනය විය. මේ නිසා සමාජයේ චින්තනමය විප්ලවයක් ඇති වීම අත්‍යන්තයෙන්ම සිදු වී ඇති බව පෙනේ. එය විපරිණාමයට ලක්වෙමින් පැමිණි වෛදික චින්තනයේ අග්‍ර ඵලයක් ලෙසද සිතිය හැකිය. ක්‍රි. පූ 6 වන ශතවර්ෂය පමණ වන විට ඉන්දියාව පුරා ආගම් හා දර්ශන 62 ක් තිබූ බව දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වේ.[1] ඒ අනූව විවිධ දර්ශනයන්ගේ උප්පත්තියට උපනිෂද් යුගය මග පෑදු බව පැහැදිලි වේ. මෙලෙස ඉන්දියාව මුල් කරගනිමින් පෙරදිග දාර්ශනික චින්තාවක් ඇති වන විට ඊට සමගාමිව අපරදිගද චින්තනයද දියුණු විය. මෙම කාලයේ ග්‍රීසිය මුල් කර ගනිමින් පෛතගරස්, සොක්‍රටීස්, ඇරිස්ටෝටල් හා ප්ලේටෝ වැනි දාර්ශනිකයෝ පහළ වූහ. ඊට අමතරව චීනයේ කොන්ෆියුසියස්ද, පර්සියාවේ සරතුස්ත්‍රද එවැනිම දාර්ශනිකයෝ. ඔවුන් අපරදිග දාර්ශනික විප්ලවය ඇති කරමින් මිනිසාගේ චින්තනය පෝෂණය කළහ.
මේ ආකාරයෙන් උපනිෂද් කාල පරාසය ලෝකයේම චින්තනය දියුණු වූ යුගයකි. විශේෂයෙන්ම ඉන්දියාවේ සීමාවලට යටත්ව පැවති මිනසාගේ බුද්ධිය මුහුකුරා ගිය කාලයකි. නොයෙක් වූ ගැඹුරු කරුණු පිළිබදව තම නුවණ මෙහෙයවමින් උපනිෂද් මුනිවරු මෙම කාලයේ ක්‍රියා කළහ. ඔවුන්ගේ එම ක්‍රියාපටිපාටිය මිනිසාගේ නිදහස් චින්තනයට ද, වැදගත් දර්ශනයක් ලොවට පහළ වීමට ද ප්‍රබල පිටුවහලක් වූ බව තහවුරු වේ.

උපනිෂද් ග්‍රන්ථ.
උපනිෂද් දර්ශනයේ වැදගත්ම අංගය වන්නේ උපනිෂද් කෘති සමූහයයි. දාර්ශනික කරුණු හා උපනිෂද් මුනිවරුන්ගේ සාකච්ඡාවන් මේවායෙහි ඇතුළත් වේ. වෛදික ග්‍රන්ථයන්ගේ යාගහෝම පූජා විධීන්ට මුල් තැන දුන්නද උපනිෂද් ග්‍රන්ථයන්හි මුල් තැන දී ඇත්තේ දාර්ශනික සාකච්ඡාවන්ටය. සත්, අසත්, ආත්ම, කර්ම, පුනර්භව, අමෘතත්ව, මරණ හා මනස් ආදී ගැඹුරු මාතෘකා ඔස්සේ සිදු කළ සාකච්ඡා මේවා තුළ අන්තර්ගත වේ. එම සාකච්ඡාවන් දෙස අවධානය යොමු කිරීමේදි පැහැදිලි වන්නේ ලෝකයේ යථාර්ථය හා සත්‍යය ගවේෂණය උපනිෂද්හි මූලික අරමුණ වී ඇති බවයි.
උපනිෂද් ග්‍රන්ථවල දාර්ශනික වටිනාකම හදුනාගැනීම සදහා පහත ව්‍යවහාරයන් ඉතා ප්‍රයෝජනවත් වේ.

  • අසතෝ මා සද්ගමය. ( අසද්භාවයෙන් සද්භාවය සොයන්න.)
  • තමසෝ මා ජ්‍යෝතිර්ගමය. (අදුරෙන් ආලෝකයට යන්න.)
  • මෘත්‍යෝර් මා අමෘතං ගමය. (මැරෙන තත්වයේ සිට අමරණිය තත්වයට යන්න.)
  • සර්වං ඛලු ඉදං බ්‍රහ්මං. (මේ සියල්ල බ්‍රහ්ම හෙවත් මැවුම්කරු කෙරෙහි පවත්නා තත්වයයි.)[2]
මෙම දාර්ශනික ප්‍රකාශයන් මගින් උපනිෂද් ග්‍රන්ථයන්හි අන්තර්ගතය හදුනාගත හැකිය. ග්‍රන්ථ සියල්ලේම සාකච්ඡාවට බදුන් වී ඇත්තේ මෙවැනි වටිනා මාතෘකාවන්ය. ඒ ඒ උපනිෂද් මුනිවරුන්ගේ නමින්ම මෙම ග්‍රන්ථ හදුන්වා තිබීම කැපී පෙනෙයි. උපනිෂද් යුගයේ ඉතා ප්‍රසිද්ධ මුනිවරුන් කිහිප දෙනෙකි. විශ්වාමිත්‍ර, වශිෂ්ඨ, භාරද්වාජ, ගෞතම, ජෛවලී, උද්දාලක, ආරුණි, යාඥවල්ක්‍ය ආදීහු ඒ අතර වේ. ඔවුන් විසින් රචනා කළ ග්‍රන්ථ ඔවුන්ගේ නම්වලින්ම හදුන්වා ඇත.
උපනිෂද් ග්‍රන්ථ රචනා කර ඇති භාෂාව සංස්කෘත නොවුනද එය  සංස්කෘතයට ඉතා සමීප වූවකි. ගද්‍ය පද්‍ය මිශ්‍ර භාෂා විලාසයකින් මෙම ග්‍රන්ථ රචනා කර තිබේ. චමත්කාරජනක සංවාද, උපමා රූපක, සමාජ සිද්ධි, කථා, ප්‍රවෘත්ති ආදිය ඉතා අලංකරවත් ලෙස යොදා ඇත. භාෂා විලාසය ඉතා සරල වූවකි. ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගත හැකි සුඛ නම්‍ය ශෛලියක් උපනිෂද් ග්‍රන්ථ රචනය සදහා යොදාගෙන ඇති බව පෙනේ. නිදසුනක් ලෙස පහත පාඨයෙන් ඒ බව සනාථ කරගත හැකිය.
“යත්‍ර සුප්තෝ න කඤ්චන කාමං කාමයතේ. න කඤ්චන ස්වප්නං පශ්‍යති. තත් සුෂුප්තම්. සුෂුප්තස්ථාන එකීභූත: ප්‍රඥා න ඝන ඒවානන්දමයො හ්‍යානන්දභූත් චෙතෝමුඛ: ප්‍රඥාස්තෘතිය: පාද:“[3]
කෙසේ වුවත් මෙම උපනිෂද් ග්‍රන්ථ අධ්‍යයනය කිරීමේ දී  අධ්‍යයන පහසුව සහ විවරණ පහසුව තකා වර්ගීකරණයකට ලක් කර ඇත. එම වර්ගීකරණ පහත පරිදි දැක්විය හැකිය.
උපනිෂද් ග්‍රන්ථ ලියවී ඇත්තේ කතුවරුන්ට සහ එම ගුරුකුලයන්ට අනන්‍ය ආකාරයෙන්ය. එම ගුරුකුල පැවත එන්නේ වෛදික යුගයේ පටන් බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. එම පිළිගැනීමට අනුව වෛදික ශාකා 1180 තිබුණු බව කියවේ. එම නිසා ඒ එක් ගුරු කුලයට එක් උපනිෂදය බැගින් උපනිෂද් ග්‍රන්ථ 1180ක් තිබිය යුතුය. නමුත් මුණ්ඩකෝපනිෂදයේ දැක්වෙන පරිදි උපනිෂද් 108ක් දක්නට ලැබෙන්නේය.  එම උපනිෂද් එය අත් ගුරුකුල සහ මතවාද අනුව වෙන් වෙන් වශයෙන් බෙදා දක්වා තිබේ. එ් පහත පරිදිය.
  • ශිව - 13.
  • ශක්ති - 9.
  • වෛෂ්ණ - 14.
  • යෝග - 19.
  • සන්‍යාස - 16.
  • සාමාන්‍ය - 27.
  • ප්‍රධාන දශෝපනිෂද් - 10.
මීට අමතර ව උපනිෂද් බෙදා දක්වන සාම්ප්‍රදායික බෙදීමක් ද ඇත. ඒ වේද ග්‍රන්ථ අනුව බෙදා දැක්වීමයි. ඒ අනූව මූලික වේද සංහිතා හතරට මෙම උපනිෂද් ග්‍රන්ථ අයත් වන ආකාරයට මෙම වර්ගීකරණය සිදු කර තිබේ. එහි දී යජුර් වේදය වනාහි ශුක්ල සහ කෘෂ්ණ ලෙස කොටස් දෙකක් වශයෙන් සලකා ඇත.
  • සෘග් - 10.
  • සාම - 16.
  • ශුක්ලයජුර් - 19.
  • කෘෂ්ණයජුර් - 32.
  • අථර්ව - 31.
තව ද මෙම උපනිෂදයන් ඒ ඒ වේදයන්ගෙන් විකාශය වූ ආකාරය අනූවද වර්ගීකරණයට ලක් වේ.
  • සෘග් > ඓතරේය බ්‍රාහ්මණය > ඓතරේයාරණ්‍යකය > ඓතරේයෝපනිෂදය.
  • සෘග් > කෞශිතකී බ්‍රාහ්මණය > කෞශිතකී ආරණයකය > කෞශිතකී උපනිෂදය.
  • සාම > තාණ්ඩ්‍යමහාබ්‍රාහ්මණය > එහිම ඇති ආරණයක කොටස > ඡාන්දෝග්‍ය උපනිෂදය (ආරණ්‍යක කොටස මෙහි මුල් කොටස වේ).
  • සාම > ජෛමනී බ්‍රාහ්මණ > ජෛමනී ආරණ්‍යක > කේත උපනිෂදය.
  • ශුක්ලයජුර් > ශතපථ බ්‍රාහ්මණය > එහි ම තුදුස්වෙනි අධ්‍යායයේ පළමු කොටස් තුනෙන් එක කොටසක් එහි ආරණයකයි > ඒ බ්‍රාහ්මණයේ ම අවසන් කොටස බෘහදාරණ්‍යක උපනිෂදයයි.
  • කෘෂ්ණයජුර් > තෛත්තරීය බ්‍රාහ්මණය > තෛත්තරිය ආරණ්‍යකය > තෛත්තරීය උපනිෂදය.
  • අථර්ව > පසු කාලීන නිසා බ්‍රාහ්මණ දු පසුකාලීන වේය. නුමුත් ආරණ්‍යක උපනිෂද් ලක්ෂණ දක්නට අපහසුය. කෙසේ වුවත් පසුකාලීන උපනිෂද් අථර්ව වේදය හා සම්බන්ධ කොට දක්වයි.
මින් පසු දක්නට ලැබෙන්නේ පැරණිම හෝ මුඛ්‍ය වූ උපනිෂද් ලෙස සලකා කෙරෙන බෙදා දැක්වීමයි. එය විවිධාකාරයෙන් සිදුකෙරෙන බව දැකිය හැක. මෙහි විශේෂ අවධානය යොමු වන්නේ ශඞ්කරාචාර්යයන් විසින් භාෂ්‍යයන් කළ උපනිෂදයන් පිළිබඳවය. එම උපනිෂදයන් දස ශ්‍රී මාධවයන් විසින් සහ ශ්‍රී රාමානුජ විසින් ද පෞරාණික උපනිෂදයන් ලෙස පිළිගෙන ඇත.
  • ඊෂ.
  • කේන.
  • කට.
  • ප්‍රශ්න.
  • මුණ්ඩක.
  • මාණ්ඩුක්‍ය.
  • තෛතරේය.
  • අත්‍රේය.
  • ඡාන්දෝග්‍ය.
  • බෘහදාරණ්‍යක.
මෑක්ස් ම්‍යූල පඬිතුමා විසින් ද වැදගත් ම වූත් පෞරාණීක ම වූත් උපනිෂද් ලෙස ග්‍රන්ථ කිහිපයක් නම් කරනු ලබයි.
  • ෂ.
  • කෙන.
  •  කඨ.
  • ප්‍රශ්න.
  • මුණ්ඩක.
  • කෞශීතකී.
  • තෛතරේය.
  • ඓතරේය.
  • ඡාන්දෝග්‍ය.
  • බෘහදාරණ්‍යක.
  • මෛත්‍රායණීය.
  • ශ්වේතාශ්වතර.
  • නාම.
හ්‍යූම් පඬිතුමා ද ම්‍යූලතුමාගේ උපනිෂද් සමූහයම පිළිගන්නා අතර ඊට අමතරව මාණ්ඩුක්‍ය උපනිෂදය පිළිගනී. මෙම බෙදීම්වලට අමතරව තවත් බෙදීමක්ද දක්නට ලැබේ.
  • පුරාණ ගද් උපනිෂද් - බෘහදාරණ්යක, ඡාන්දෝග්‍ය, ඓතරේය, කෞශීතකී, තෛත්තරීය, කේන.
  • පෞරාණීක උපනිෂද් - ඊශ, කට, ශ්වේතාශ්වතර, මුණ්ඩක, මහානාරායණ, ප්‍රශ්න (ගද්‍යපද්‍ය).
  • පශෟචාත්කාලීන ගද්‍යෝපනිෂද් - මාණ්ඩුක්‍ය, මෛත්‍රායනී.
  • අර්ථවෝපනිෂද් නොහොත් අවෛදිකෝපනිෂද් - වේදාන්තධර්මගර්භකෘත, යොගධර්මගර්භකෘත, වානප්‍රස්ථජීවිතවර්ණිත, විෂ්ණුස්තුත, ශිවස්තුත, ශක්තාදීමතාගත.
උපනිෂද් ඉගැන්වීම්.
උපනිෂද් මුනිවරු ගැඹුරු සංකල්ප පිළිබද දැනුමක් තම ශිෂ්‍යයින්ට ලබා දී තිබේ. එය උපනිෂද් කෘති අධ්‍යයනයෙන් පැහැදිලි වේ. උපනිෂද් ඉගැන්වීම් ප්‍රධාන මාතෘකා කිහිපයක් යටතේ විකාශනය වී ඇත. එය මේ ආකාරයෙන් දැක්විය හැකිය.
  • ආත්මන් හා බ්‍රහ්මන් සංකල්පය.
  • කර්මය හා පුනරුප්පත්තිය.
  • ආචාර විද්‍යාත්මක අංශය.
ආත්මන්  හා බ්‍රහ්මන්.
ආත්මන් බ්‍රහ්මන් යන සංකල්ප දෙක ඉදිරිපත් කරමින් ඔවුන් පරම සත්‍යය පැහැදිලි කරනු ලබයි. ආත්මන් බ්‍රහ්මන් සංකල්ප දෙකක් වුවද එකම පදාර්ථයක් විග්‍රහ කිරීම සදහා එය යොදාගෙන ඇති බව පෙනේ. ආධ්‍යාත්මිකව හෙවත් තමා තුළින්ම සත්‍ය සොයා ගැනීම ආත්මන් ලෙසත් බාහිර වශයෙන් සත්‍ය සොයා ගැනීම බ්‍රහ්මන් ලෙසත් හැදින්වේ. ආධ්‍යාත්මික බාහිර වශයෙන් සංකල්ප දෙකක් වුවද මෙම සංකල්ප දෙකින්ම අරමුණු කර ඇත්තේ පරම සත්‍යයයි. “ඒකාන්තයෙන්ම අජාත වූ අජරාමර වූ ඒ ආත්මය බ්‍රහ්ම වෙයි.“[4] යන පාඨයට අනූව ආත්මන් බ්‍රහ්මන් එකම තත්වයක් බව පැහැදිලි වේ.
උපනිෂද් ග්‍රන්ථ පුරාවටම ආත්මන් බ්‍රහ්මන් සංකල්ප පිළිබදව නොයෙක් මත පලවී ඇත. ඒවා එකිනෙකට වෙනස්ය. තමන්ට හැගෙන පරිදි එම සංකල්ප පැහැදිලි කිරීමට උපනිෂද් චින්තකයින් උත්සාහ දරා ඇති බව පෙනේ. ඒ සදහා ඔවුන් අන්තරාවලෝකනය සිදු කර ඇත. “ආත්මය නැවත නූපදියි. නොමැරෙයි. කිසිවකින් ඇති වූයේද නැත. ඔහුගෙන් කිසිවක් ඇති වූයේද නැත. ශරීරය විනාශ වන විට ආත්මය විනාශ නොවේ.“[5] යන පාඨයෙන්ද, “සෑම දෙයක් තුළම ඇති දෙය ආත්මයයි. ඉන් බැහැර සියල්ල අසත්‍යය.“[6] කියමනෙන්ද ආත්මය පිළිබද විවිධ අදහස් පළ වී ඇත. බ්‍රහ්මන් පිළිබදව “දැකීමට අපහසු වූ ගූඪ වූ ගුහාවක වාසය කරන පුරාණ වූ බ්‍රහ්මත්වය දැක අවබෝධ කරගෙන දුක,සැප, සාපේක්ෂක බව තේරුම් ගනී.“[7] යනුවෙන් කඨ උපනිෂදයේද, “බ්‍රහ්මන්ට පූර්වාපර දෙයක් නොමැත. එහි ඇතුළත පිටත වශයෙන් දැක්විය හැකි දෙයක් නොමැත.“[8] යනුවෙන් ද උපනිෂදයන්හි බ්‍රහ්මන් පිළිබදව විස්තර වේ. මෙවැනි නොයෙක් අදහස් උපනිෂද් ග්‍රන්ථවල සුලභය.
  • ජාගර.
  • ස්වප්න.
  • සුෂුප්ති.
  • බ්‍රහ්මානන්ද
යනුවෙන් ජීවිතයේ අවස්ථා හතරක් ඇති බව උපනිෂද් චින්තකයින් පෙන්වා දෙනු ලබයි. එම අවස්ථා හතරට අනූව කටයුතු කිරීමෙන් සත්‍යය අවබෝධ කර ගත හැකි බව ඔවුන්ගේ අදහසයි. බ්‍රහ්මානන්ද අවස්ථාව සම්පූර්ණ කිරීමෙන් ආත්මන් හා බ්‍රහ්මන් එකක් වී එමගින් සත්‍යය ප්‍රත්‍යක්ෂ වේ. මෙම තත්වයෙන් ඔබ්බට කිසිවක් සදහන් කර නොමැති අතර චින්තනයේ උපරිම අවස්ථාව ආත්මන් බ්‍රහ්මන් තත්වයට පැමිණීම බව උපනිෂද් යුගයේ පිළිගැනීම විය.
උපනිෂද්හි ආත්මන් බ්‍රහ්මන් සංකල්පය තවත් පැහැදිලි කරගැනීම සදහා උද්ධෘත කිහිපයක් විමසා බැලීම ඉතා වටී.
ආත්මය ඇසින් දත නොහැකිය. වචනයෙන් හෝ පසිදුරන් මගින් හෝ අවබෝධ කළ නොහැකිය. ආත්මාවබෝධය ලද හැකි වනුයේ ඥානප්‍රසාදයෙන් පමණක.“[9]
යනුවෙන් ආත්මය අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් පමණක් වටහාගත හැකි දෙයක් බව හදුන්වා දී තිබේ. එමෙන්ම ආත්මය ඉතා සූක්ෂම පදාර්ථය බවත් එය පසිදුරන් මගින් අවබෝධ කරගැනීමට යෑම ඉතා අසාර්ථක කර්තව්‍යක් බවත් අර්ථ ගන්වා තිබේ.
“ආත්මන් වාස්තවික නොවේ. එහෙයින් ආත්මන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ නොහැකිය.“[10]
“එය මනසට වඩා ඉක්මන්ය. මනසට වඩා සූක්ෂමය. එහෙයින් පසිදුරන් මගින් හසුකරගත නොහැකිය.“[11]
මේ අනූව ආත්මය පරම පවිත්‍ර ලෝකෝත්තර සත්‍යයක් බව විග්‍රහ කර තිබේ. ශරීරයක් නොමැති වුවද අමරනීයත්වය පදනම් කරගෙන ඇති ආත්මය අනුභූතියෙන් හෝ තර්ක බුද්ධියෙන් අවබෝධ කර ගත නොහැකිය. ආත්මය ප්‍රත්‍යක්ෂ කරගත හැකි එකම ක්‍රමය ලෙස උපනිෂදයන් පෙන්වා දෙන්නේ යෝගාභ්‍යාසයන්ය. යෝග භාවනාවෙන් ප්‍රත්‍යාත්මාවබෝධය වූ ආනන්දමය තත්වයට පත් විය හැකිය.[12]
ආත්මය පිළිබද විවිධ අර්ථකථනයන්ද උපනිෂදයන්හි ඇතුළත් වේ. ශරීරය රථයක් ලෙසත්, බුද්ධිය රථාචාර්ය ලෙසත්, මනස රැහැන් ලෙසත්, ඉන්ද්‍රියන් අශ්වයන් ලෙසත් අර්ථගන්වා ඇත. එය විෂය රූපි මාර්ගයේ ගමන් කරන අතර රථයේ ස්වාමියා වන්නේ ආත්මයයි. ඒ අනූව ආත්මය ශරීරයේ ස්වාමිය වශයෙන් පෙන්වා දෙයි.
ආත්මානං රථීනං විද්ධිං ශරීරං රථමේවතු
 බුද්ධිං තු සාරථිං විද්ධි මන: ප්‍රග්‍රහ මෙවච
ඉන්ද්‍රියාණිහයානාහුර්විෂයාංස්තේෂු ගෝචරාන්
ආත්මෙන්ද්‍රිය මනෝයුක්තං භෝක්ත්‍යොහුර්මනීෂිණ:“[13]
ආත්මයේ විවිධ අවස්ථාවන් පිළිබදව උපනිෂදයන්හි ඉගැන්වේ. ප්‍රබෝධ, ස්වප්න, නිද්‍රා. මරණ, උත්පත්ති, මුක්ති, ආදි වශයෙනි. ශාරීරික ආත්මය, ආනුභවික ආත්මය, අනුභූතිකාරක ආත්මය හා පරම ආත්මය වශයෙන් ආත්මය වර්ග කළ හැකිය. කෙසේ වුවද උපනිෂදයන්හි ඉගැන්වෙන්නේ ආත්මය සදාකාලික බවය. ආත්මය අවබෝධ කරන්නවුන්ද සදාකාලික බවට පත් වේ. ඉන් පසු එම ආත්මය ක්‍රමිකව පරමාත්මය හා එක් වේ.
බ්‍රහ්මන් පිළිබඳවද උපනිෂදයන්හි බොහෝ විග්‍රහයන් වේ. ඒ අතර බ්‍රහ්මන් පිළිබඳ විවිධ අවස්ථා හා තත්වයන්ද දැක්වේ.
o   සර්ව ලෝකය. (විරාත් නොහොත් වෛශ්වතර)
o   ලෝකාත්මය. (හිරණ්‍යගර්හ)
o   ආත්මඥ. (ඊශ්වර)
o   ආනන්ද. (බ්‍රහ්මන්)
යනුවෙන් බ්‍රහ්මන්ගේ නොයෙක් අවස්ථාවන් නිරූපණය කරයි. විශ්වයේ අචේතනික, සචේතනික සියල්ලේ නිර්මාතෘ වන්නේ බ්‍රහ්මන්ය. බ්‍රහ්මන් තමන්ට කැමති පරිදි විශ්වය නිර්මාණය කළ බව බෘහදාරණ්‍යක උපනිෂදයේ දැක්වේ. මේ නිසා බ්‍රහ්මන් විශ්වයේ නිර්මාතෘ ලෙස සළකා ඇති බව පෙනේ.
“අතිශයින් සූක්ෂම වූ ද නොයෙක් ආකාරයෙන් ප්‍රාදූර්භූත වන්නා වූ ද සියල්ලෙහි නිර්මාතෘ වන්නා වූ ද ඔහු කාරුණික සත්වයකු ලෙස හදුනාගන්නා තැනැත්තා සදාකාලික තෘප්තියක් ලබයි.“[14]
“ප්‍රාණය චිත්තය හා කර්මේන්ද්‍රිය  ද අකාශය හා වායුව හා අග්නිය ද ජලය හා පෘථවිය  ඔහුගෙන්ම ඇති වූයේය. ........දෙව්ලොව ඔහුගේ ශීර්ෂය වන්නේය. සූර්යා හා චන්ද්‍රයා ඔහුගේ නේත්‍ර වන්නේය. චතුර් දිශාව ඔහුගේ කර්ණය වන්නේය. වේදයන් ඔහුගේ හඬය. වායුව ඔහුගේ ප්‍රාණයය. විශ්වය ඔහුගේ හෘදයය. ඔහුගේ පාද පද්මයෙන් පෘථවිය ඇති විය. සියල්ලන්ගේ ම අන්තරාත්මය ඔහුය.“[15]
බ්‍රහ්මන් යනු කෙනෙකුට වටහාගත නොහැකි තත්වයකි.ඒකාන්තයෙන් අජාත වූ අජර වූ ආත්මය බ්‍රහ්ම යනුවෙන්ද විටෙක හදුන්වා ඇත. බ්‍රහ්මන්ගෙන් විශ්වය හටගැනීම පිළබඳව හා බ්‍රහ්මන් , පුද්ගලාත්මය පිළිබඳවද උපමා ආශ්‍රයෙන් කරුණු දක්වා තිබේ. මේ ආකාරයෙන් උපනිෂදයන්හි ආත්මන් බ්‍රහ්මන් සංකල්පය පිළිබඳව නොයෙක් අන්දමින් උගන්වා ඇත.

කර්මය හා පුනරුප්පත්තිය.
වෛදික යුගයේ දැක්වෙන කර්ම සංකල්පය ඊට වඩා ගැඹුරු ලෙසත්, මනොවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක ලෙසත් , උපනිෂද් මුණිවරු  විවරණය කළහ. යහපත් ක්‍රියා කරන අයට යහපත් විපාක ලැබෙන බවත් , අයහපත් ක්‍රියා කරන අයට අයහපත් විපාක ලැබෙන බවත් ඔවුහු පැහැදිලිවම ප්‍රකාශ කළහ. “ යථාකාරී, යථාවාරි යථා භවති පාප: පාපෙන.......”[16] යනුවෙන් උපනිෂද් ග්‍රන්ථවල ඒ බව පැහැදිලිවම දක්වා තිබේ.
වෛදිකයන් විසින් දෙවියන් කෙරෙන් අපේක්ෂා කළ බාහිර විමුක්තියත්, ඒ විමුක්තිය අනුගමනය කළ යුතු යයි බ්‍රාහ්මණයන් විසින් පෙන්වා දෙන ලද යාඥයත්, උපනිශද් මුනිවරු නිර්ධය ලෙස විවේචණය කළහ. බාහිර විමුක්තිය ප්‍රතික්ෂේප කළ උපනිෂද් මුණිවරු අධ්‍යාත්මගත විමුක්තියම අපේක්ෂා කළහ. පුද්ගලයා යහපත් වන්නේ ද, විමුක්තිලාභී වන්නේද දෙවියන්ගේ හෝ‍ ඥානයෙන් හෝ නොව ස්වසන්තානගත සංවරයෙන් , පාරිශුද්ධියෙන් හා ඥානයෙන් බව ඔවුහු අවධාරණය කළහ.
කර්මය හා පුනරුප්පත්තිය පිළිබඳව උපනිෂද් ග්‍රන්ථවලවල සදහන් වන කාල පරාසය පිළිබඳවද විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. බුදු දහම ඉන්දියාව පුරා ව්‍යාප්ත වීමෙන් පසුකාලීනව ලිය වුණු ග්‍රන්ථවල පමණක් මෙම සංකල්ප දෙක සාක්ච්ඡාවට ලක් වී තිබේ. ඒ අනූව පැහැදිලි වන්නේ බුදු දහමේ එන මෙම සංකල්ප දෙක හින්දු ජනයා අතරද ප්‍රචලිත වීමෙන් ඔවුන්ද මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි. එය තවත් තහවුරු කරන ප්‍රවෘත්තියක් උපනිෂදයක ඇතුළත් වේ. “ දරුව, මාගේ අත අල්වා ගෙන මෙහි එව. ආර්තභෘග අපි දෙදෙනා පමණක් මේ කාරණය දැන ගනිමු. මේ සාකච්ඡාව නොකර“ යනුවෙන් යඥවල්ක්‍ය ඔහුගේ ශිෂ්‍යා සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. එහිදී “ඔවුහු (බුද්ධිවාදීහු) මේ මිනිසාට සිදු වන දේ කියන්නේ කර්මයෙනි. ඔවුහු ඒ කර්මයට ප්‍රශංසා කරති. ඒ කර්ම උගැන්වීමේ හැටියට යහපතක් කිරීමෙන් මිනිසා යහපත් වේ. අයහපතක් කිරීමෙන් අයහපතක් වේ.“ මෙහිදී බුද්ධිවාදීන්ගේ ඉගැන්වීම් ලෙස හදුන්වන්නට ඇත්තේ ගෞතම බුදුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේලා වන්නට ඇත. ඒ අනූව බැලීමේදි උපනිෂද් කර්ම සංකල්පය හා පනරුප්පත්තිය බුදු දහමින් පෝෂණය වූවක් ලෙස සිතිය හැකිය.
මෙලොව යහපත් චරිත ඇත්තවුන් කල්නෙයවා බමුණකු නැතහොත් , වෛශයකු වශයෙන් උපදි. එහෙත් මෙලෙව දුසිරිතෙහි යෙදෙන අය කල් නොයවා සුනඛයකු වශයෙන් හෝ ඌරෙකු වශයෙන් චණ්ඩාලයකු වශයෙන් උපදන බව ඡාන්දොග්‍ය උපනිෂදයෙහි සදහන් වෙයි. ගුණවත්හු තම මරණාසන්නයේ ද ශ්‍රේෂ්ඨ උප්පත්තියක් කරා ඉහළටද පාපකාරීහු පහත් උප්පත්තියකට ද, මෙම දෙකින්ම යුතු පුද්ගලයා මනුෂ්‍ය ලෝකයෙහිදි උපදින බව ප්‍රශ්න උපනිෂදයේ දැක්වේ. මිනිසා හොද වන්නේත්, නරක වන්නේත් කුසල අකුසල කර්මයන්ගෙන් බවත්, වාසනා ස්වරූපය යහපත් මාර්ගයෙන් හා අයහපත් මාර්ගයෙන් ගලා බස්නා බවත් උපනිෂදයන්හි ඉගැන්වේ. “ශුභාශුභාභ්‍යාං මාර්ගාභ්‍යාං වහන්තී වාසනාසරීත්“[17]
මේ අනුව උපනිෂද් මුණිවරු , හොද - නරක ක්‍රියාවන්හිම කර්මය යනුවෙන් හැදින් වු බවත් , ඒ කර්මය අනුව පුනර් ජන්මය සිදු වන බවත් ඉගැන් වු බව පැහැදිලි ය. මේ හැරුණු විට කර්මයෙහි චේතනාත්මක අංශය කෙරෙහි ද ඔවුන් සඳහන් කොට ඇත. ඵලයෙහිලා මූලික ආදීප්‍රත්‍ය උසුලන බව උපනිශද් දර්ශනයෙන් ඉගැන්වෙයි. උපනිෂද් කර්ම සංකල්පය බුදු දහමේ ඉගැන්වෙන කර්ම සංකල්පයට ඉතා සමීප යයි ද කෙනෙකුට එකවරම හැගී යනු ඇත. එහෙත් මේ දර්ශන දෙක්හි වෙනසක් ඇත. උපනිෂද් දර්ශනය කර්ම වාදය පිළිගෙන ඇති නමුත් කර්මය හා සමිබන්ධ වි පවත්නා පුනරුප්පත්ති දැක්විමේදි උපනිෂද් හා බෞද්ධ කර්ම දර්ශනය වෙනස් වෙයි.
කුඩැල්ලා තණ පත් අගට ගොස් වෙනත් තණ පතක් අල්ලා ගෙන එයට තමා ඇද ගන්නා ලෙසින් මේ ආත්මය , මේ ශරීරය අතහැර වෙනත් ශරීරයකට පිවිසෙයි.”[18] යනු උපනිශද් ඉගැන්විමයි. “මිනිසා ධාන්‍ය මෙන් පැසී නැවත ධාන්‍ය මෙන් උපදිය.“[19] මෙයින් පෙනි යන්නේ උපනිශද් දර්ශනයෙහි නෙවෙනස් වන නොසීදී යන ආත්මයක් පිළිබදව ඉගැන්වෙන බවයි. බුදු සමය කර්ම සංකල්පය අර්ථවත් කරන්නේ අනාත්මවාදී දර්ශනයක්  මත සිටය. එබැවින් ආත්ම වාදය පදනමි කරගත් උපනිශද් ඉගැනිවිම් හෝ කවර ඉගැන්විමක් වුවද ශාශ්වතවාද නමි මිත්‍යා දෘෂ්ටියක් හැටියට බුදු සමයෙහි දැක්වෙයි. “සො කරොති. සො පටිසං වේදියතීතී සස්සාතං ඒතාං පරෙති” යනුවෙන් වදාරණ බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරයි. මේ අනුව උපනිශද් දර්ශනයෙහි ඉගැන්වෙන කර්ම සංකල්පය ආත්ම වාදය හා බැදී පවතින අතර , බුදු දහමේ ඉගැන්වෙන කර්ම සංකල්පය ඉදුරාම වෙනස් වෙයි.

ආචාර විද්‍යාත්මක අංශය.
විශ්වය නැතහොත් ස්වභාව ධර්මය පදනම් කරගත් දර්ශනයක් ලෙස විශ්වය හා අප යනු දෙකක් නොව එකක් ලෙස මෙම උපනිෂද් දර්ශනය තුළ පිළිගනු ලබයි. තමා ලෝකයෙන් ද, ලෝකය තමාගෙන් ද වෙන් කළ නොහැකි බව මෙම දර්ශනය තුළ ඉගැන්වේ. තමා හා ලෝකය වෙන් කළ නොහැකි අවියෝජනීය සංකල්ප දෙකක් ලෙස පිළිගත් විටෙක ජාති, කුල, ආගම් ආදී භේදවලට ඉඩක් නැත. අනෙකාට හිංසාවක් කිරීම යනු තමාට හිංසාවක් කර ගැනීම යැයි සිතුවිල්ල ඇති විටෙක අනෙකාට හිංසාවක් කරන්නේ නැත. එසේ ම හිංසා, ඊර්ෂ්‍යා, ක්‍රෝධ කිරීමට ඔහුට බාහිර ලෝකයක් නොමැත. එනම් තමාගෙන් පිටස්තර ලෝකයක් නොමැති නිසා හිංසාවට පෙළඹෙන්නේ නැත.
ජීවිතයේ එකම අරමුණ විය යුත්තේ භෞතික සම්පත් පිටුපස හඹා යාම නොව ධර්මානුකූල ජීවිතයක් සකස් කර ගැනීම බව “තදෙතත් ත්‍රයං ශික්ෂෙද් දමං දානං දයාමිති.“[20] යනුවෙන් පෙන්වා දී තිබේ.
මේ සඳහා කදිම නිදසුනක් ලෙස මෙම දර්ශනයේ දක්නට ලැබෙන ශ්වේත කේතු හා ඔහුගේ පියාගේ සංවාදය ගත හැකි ය. ශ්වේත කේතු අවුරුදු දොළහක දරුවෙක් වන අතර ඔහුගේ පියා දවසක් මෙසේ සිතනු ලබයි. මාගේ පුතණුවන් මේ වන තෙක් වේද ඉගෙන ගනු ලැබුවත් ආත්මාවබෝධය ලබා නොමැති බවක් පෙනේ. එසේ නම් මා ඔහුට ආත්මාවබෝධය ලබා දිය යුතු යැයි සිතා පුතු අමතනු ලැබීය.
පියා - පුත, අර පෙනෙන නුග ගසින් ඵලයක් ගෙන එන්න.
ශ්වේත කේතු - හොදමයි පියාණෙනි.
පියා - එසේ නම් පුත ඔය නුග ඵලය දෙපලූ කරන්න.
ශ්වේත කේතු - එසේ සිදු කරා පියාණෙනි.
පියා - ඔබට කුමක් දක්නට ලැබෙන්නේ ද?
ශ්වේත කේතු - පියාණෙනි, ඉතා සියුම් බීජයන්ය.
පියා - හොදයි, එම සියුම් බීජයයන්ගෙන් එකක් අතින් පොඩි කරන්න.
ශ්වේත කේතු - එසේ ද කරා පියාණෙනි.
පියා - දැන් පුතණුවන්ට කුමක් දක්නට ලැබෙන්නේ ද?
ශ්වේත කේතු - කිසිවක් නැත පියාණෙනි.
පියා - පුත, ඔබට කිසිවක් පෙනෙන්නට නැතත් ඔබ ඔය විනාශ කළේ අර පෙනෙන නුග ගසමයි. ඔබ ඔය විනාශ කළේ නුග ගස පමණක් නොව ඔබම ය. එසේ නම් ඔය බීජයේ සාරය දැකිය නොහැකි වුවත් එම සාරය තුළ මුළු නුග ගසම ඇත. එමෙන් ම එම සාරය ආත්මය ද සියල්ල සත්‍යයකි. ඒ සියල්ලම ඔබම වේ. බීජයේ සාරය ද ඔබය. නුග ගස ද ඔබය.
තං හොවාච යං වෛ, සෞම්‍යෙතමණිමානං න නිභාලයසෙ, එතස්‍ය වෛ, සෙම්‍යෙෂො’ණිමන එවං මහාන්න්‍ය ග්‍රොධස්තිෂ්ඨති, ශ‍්‍රද්ධස්ව, සෞම්‍යෙති... ස ය එෂො’ණිමෛතදාත්ම්‍යමිදං සර්වං, තත් සත්‍යං, ස ආත්මා, තත්ත්‍වමසි, ශ්වෙතකොතො, ඉති ....... ”[21]
ශ්වේත කේතුගේ පියා ශ්වේත කේතු හට පවසනු ලැබුයේ තමන් හා විශ්වය වෙන් කළ නොහැකි බවයි. විශ්වය විනාශ කරනවා යනු තමාත් විනාශ වීම බව වැඩි දුරටත් පවසා ඇති බව පෙනේ.
තව ද උපනිෂද් පාඨයන් පහත දැක්වෙන අතර ඒ තුළ වැදගත් ආචාර ධර්මය කිහිපයක් අන්තර්ගත වන බව පෙනේ. සත්‍යං වද, ධර්මං චර....... සත්‍යාන්න ප‍්‍රමාදිතව්‍යම්, ධර්මාන්න ප‍්‍රමාදිතව්‍යම්,.... කුසලාන්න ප‍්‍රමාදිතව්‍යම්,.... දෙවපිතෘකාර්යාභ්‍යාං න ප‍්‍රමාදිතව්‍යම් මාතෘදෙවොභව, පිතෘදෙවොභව, ආචාර්යදෙවො භව, අතිථිදෙවො භව, යාන්‍යනවද්‍යානි කර්මාණි තානි සෙවිතව්‍යානි නො ඉතාරාණි.....”
“සත්‍යෙම්ව ජයතේ නානෘතං සත්‍යෙන පන්ථා විතතෝ දේවයාන:“[22]
“ස මූලො වා එෂ පරිශුෂ්‍යති යෝනෘතං වදත.“[23]
මෙම පාඨයන්ට අනුව වැදගත් ආචාධර්ම කිහිපයක් අප ජීවිතයට කියා දෙනු ලබයි. ඒ අනුව සෑම විටම සත්‍යය පවසන්න, ධර්මයෙහි හැසිරෙන්න, දෙමාපියන්ට ද ගුරුවරුන්ට ද ආගන්තුකයින්ට ද දෙවියන්ට මෙන් සලකන්න ආදී ආචාර ධර්ම අප ජීවිතයට අත්‍යවශ්‍ය බව පවසයි. මෙහිදී අප සෑම අයෙකුට ම සිනා මුසු මුහුණින් සංග‍්‍රහ කරනු ලබන විට කිසිදු තරහක්, ක්‍රෝධයක් මිනිසුන් අතර ඇති නොවන බව මෙහි දක්වා ඇත. මෙම දර්ශනයට අනුව සියලූ ම මිනිසුන් හට දෙවියන්ට මෙන් සැළකිය යුතුය. එසේ වන්නේ අප ජීවිතයේ දෙමාපියන් හා ගුරුවරුන් හැරුණු විට අනෙක් සියලූ ම මිනිසුන් ආගන්තුකයන් වන අතර ආගන්තුකයන්ටත් දෙවියන් ට මෙන් සැළකීමට මෙහි අනුශාසනා කර ඇත.
අප දන්නා අයට හා නොදන්නා අයට දෙවියන්ට මෙන් සංග‍්‍රහ කිරීම නිසා ඔවුන් අපට ආදරය කරනු විනා වෛර කරන්නේ නැත. එමෙන් ම දෙවියන් යනු අප පුජනීයත්වයෙන් සළකන කොටසකි. එසේ ම දෙවියන්ට සළකන්නේ ද පූජනීයත්වයෙනි. එලෙස පූජනීයත්වයෙන් හෘදයාංගමව අනෙකාට සංග‍්‍රහ කිරීම යනු පෙරලා ඔවුන්ගෙන් එවැනි ම සංග‍්‍රහයක් ලැබීමකි. එවිට මුළු මහත් සමාජයම එකිනෙකාට ආදරය කරනු දක්නට ලැබෙයි. මෙම උපනිෂද් දර්ශනය තුළ ආදරය ආදරයෙන් දිනා ගන්නා ආකාරය දක්වා ඇති බව පෙනේ.
මේ ආකාරයෙන් උපනිෂද් දර්ශනය තුළ ජීවිතය මහ මෙරක් කොට සැලකූ බවක් නොපෙනේ. උපනිෂද් ඉගැන්වීම් තුළින් ඔවුන් පෙන්වා දෙන්නේ ජීවිතයෙන් පලා යෑමට නොව වඩාත් සරල ලෙස ආදරයෙන් යුතුව ජීවත් වීමට මාර්ගයකි. තමා සියල්ල තුළත් සියල්ල තුළ තමාත් ජීවත් වේ යන ඉගැන්වීම මඟින් මෙම දර්ශනය මඟින් තමාගේ ජීවිතයටත් වඩා අන් ජීවිතවලටත් වැඩි ආදරයක් ජනිත කරවීමට උත්සහ දරා ඇත. මේ අයුරින් ජීවත් වන්නට නම් කුඩා දරුවන් සේ ජීවත් විය යුතු බව ද පවසයි. තස්මාද් බ‍්‍රාහ්මණඃ පාණ්ඩිත්‍යං නිර්විද්‍යා බාල්‍යෙන නිෂ්ඨාසෙත්. ....” කුඩා දරුවන්ගේ ජීවිත තුළ දැකිය හැක්කේ සරල බවකි. නිදහස් බවකි. සොඳුරු බවකි. විශ්වයත් තමාත් අතර ඇති මේ අවියෝජනීය සම්බන්ධය දුටු ක්ෂණමාත‍්‍රයේම කෙනෙකු තුළ මේ සරල වූත් නිදහස් වූත් සුන්දර වූත් ජීවිතය විකසිත කර ගැනීම උපනිෂද් දර්ශනය තුළ බලාපොරොත්තු වී තිබේ.

         මේ ආකාරයට විමසා බැලීමේදි උපනිෂද් දර්ශනයේ ආධ්‍යාත්මික පසුබිම අතිශයින් ජනහිතකාමි වූවක් බව ප්‍රත්‍යක්ෂ වේ. ස්වභාව ධර්මයට අනුගත වෙමින් බාහිර අභියෝගයන් ජයගෙන පරම සත්‍ය හෙවත් මෝක්‍ෂය කරා ගමන් කිරීම එහි මුලික අභිප්‍රායයි. උපනිෂද් දර්ශනය තුළ විවිධ සාධක මත පිහිටා ආධ්‍යාත්මික පැතිකඩවල් නිර්මාණය වී ඇත. බැලූ බැල්මට සමහර ආගමික මතයන් චින්තකයින්ගේ අඥානකම මත ගොඩනැගුනු ඒවා ලෙස පෙනෙයි.  නමුත් ඒවා සියුම් බුද්ධි පරීක්‍ෂණයකට යොමු කළහොත් එහි ඇති වටිනාකම මනාව පිළිබිඹු වෙයි. ඒවා ගැඹුරු බුද්ධියකින් ඉදිරිපත් කර ඇති අදහස් බවද පැහැදිලි වෙයි. බටහිර දේවවාදි ආගමික දර්ශනයන්ට වඩා ඉන්දියානු උපනිෂද් දර්ශනයේ ආගමිකත්වය ඉතා උසස්ය. එය ඉතා විමර්ශනශීලි බුද්ධිමය සංකල්පනාවන්ගෙන් පෝෂණය වූවකි. ස්වභාවධර්මය දේව සංකල්ප යාගය සාපේක්‍ෂකතාවය ආත්මය ශුන්‍යත්වය විඥානය මෝක්‍ෂය ආදි ගැඹුරු කරුණු මෙහිදි විමසුමට භාජනය වී ඇත. සමහර කරුණු සාමාන්‍ය බුද්ධියකින් අවබෝධ කරගත හැකි ඒවා නොවේ. තියුණූ නුවණකින් යුක්තව විමර්ශනය කළ යුතු ඒවාය.
චින්තනයේ මස්තකය හෙවත් පරම නිෂ්ඨාව සෙවීම ඉතා සුවිශේෂි කර්තව්‍යකි. එය ඉතා බැරැරුම් වූවකි. නමුත් උපනිෂද් චින්තකයින් බොහෝමයක් තම ඥානයට අනූව එය විග්‍රහ කිරීමට දැරු උත්සාහයක් දැකිය හැක. සමහර අවස්ථාවලදි එක් කරුණක් පිළිබඳව නොයෙක් මත ඉදිරිපත් වී ඇත. එසේ වුවද අවසානයේ එක් මතයකට එළඹීමටද ඔවුන් සමත් වී ඇත. එම මත ඉදිරිපත් කිරීමේදි තත්කාලීන සමාජයෙන් පැන නැගුණු අභියෝග රාශීයකට මුහුණ දීමටද ඔවුන්ට සිදු විය. ජනතාව අතර මුල් බැසගත් ආගමික මත ඛණ්ඩනය කොට නවමු අදහස්වලට ඔවුන් යොමු කරලීම තරමක් අසීරු කරුණක් විය. නමුත් එය ඉතා සාර්ථක ලෙස ජයගෙන ආධ්‍යාත්මික වශයෙන් සුවිශේෂි වූ ආගමික දර්ශනයක් කිරීමට උපනිෂද් දාර්ශනිකයින් සමත් වී ඇති බව මේ අනූව පැහැදිලි වේ.




[1] දීඝ නිකාය. බ්‍රහ්මජාල සූත්‍රය.
[2] බෘහදාරණ්‍යක උපනිෂදය.
[3] මාණ්ඩුක්‍ය උපනිෂදය.
[4] ඓතරේය උපනිෂදය.
[5] කඨ උපනිෂදය.
[6] බෘහදාරණ්‍යක උපනිෂදය.
[7] කඨ උපනිෂදය.
[8] බෘහදාරණ්‍යක උපනිෂදය.
[9] මෛත්‍රි උපනිෂදය. 31.8.
[10] මුණ්ඩක උපනිෂදය. 3.2.3.
[11] බෘහදාරණ්‍යක උපනිෂදය. 3.8.1.
[12] ශ්වෙතාශ්වර උපනිෂදය. 2.1.4.
[13] කඨ උපනිෂදය. 1.3.4.
[14] ශ්වේතාශ්වර උපනිෂදය. 4.14.
[15] මුණ්ඩක උපනිෂදය.
[16] බෘහදාරණ්‍යක උපනිෂදය.
[17] බෘහදාරණ්‍යක උපනිෂදය. 111. 2.13.
[18] එම. 4.4.3.
[19] ඡාන්දෝග්‍ය උපනිෂදය. 1-8.
[20] බෘහදාරණ්‍යක උපනිෂදය. 5.2.3.
[21] ඡාන්දෝග්‍ය උපනිෂදය. 6.12.
[22] මුණ්ඩක උපනිෂදය. 3.1.6.
[23] ප්‍රශ්න උපනිෂදය. 6.1.

8 comments:

  1. ඉතා අගනා ලිපියක්. තෙරුවන් සරණයි

    ReplyDelete
  2. ගොඩක් කරුණු තියෙනවා.ගොඩක් වටින ලිපියක්

    ReplyDelete
  3. ඉතා වැදගත් කරුණු ගණනාවක් අන්තර්ගත ලිපිය කි.

    ReplyDelete
  4. වැදගත්

    ReplyDelete

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...