Tuesday, March 26, 2019

ඉන්දියානු ඉතිහාසය හැදෑරීමේදි පාහියන් හා හියුංසියෑංගේ මූලාශ්‍රවල වැදගත්කම.



රටක ඉතිහාසය හැදෑරීමේදි ඒ සදහා උපයෝගි කරගන්නා මූලාශ්‍ර මාර්ගයන් දෙකක් තිබේ. ඒ සාහිත්‍යය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍රයි. මෙම මූලාශ්‍ර මාර්ගයන් දෙකම ඉතිහාසය හැදෑරීමේදි එකසේ ප්‍රයෝජනවත් වේ. ඒ අතර සාහිත්‍යය මූලාශ්‍රයන්ගෙන් දේශපාලනික, සමාජීය, ආගමික හා සංස්කෘතික යන සෑම අංශයක් පිළිබදවම තොරතුරු ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. සාහිත්‍යය මූලාශ්‍රයන්ද දේශීය හා විදේශීය යනුවෙන් ප්‍රභේද දෙකකින් යුක්තය. විදේශයක ලේඛකයින් විසින් ලියන ලද මූලාශ්‍රයන් විදේශීය මූලාශ්‍ර යනුවෙන් හදුන්වයි.
මෙහිදි ඉන්දියානු ඉතිහාසයට අදාළව කරුණු දක්වනු ලබයි. ඒ අනූව ඉන්දීය ඉතිහාසය හැදෑරීම සදහා උපයෝගි වන විදේශීය මූලාශ්‍රයන් රාශියකි. ඒවා හා එහි කතුවරුන් පිළිබදව කෙටියෙන් මෙහි විස්තර කර ඇත. ඉන්දීය ඉතිහාසයේ සුවිශේෂි කාල පරාසයක ඓතිහාසික කරුණු එම විදේශීය ලේඛනයන්ගෙන් ආවරණය කරනු ලබයි. අප මෙහිදි සළාකා බලනු ලබන්නේ එසේ පාහියන්ගේ හා හියුංසියෑංගේ වාර්තාවන් ඉන්දිය ඉතිහාසය හැදෑරීම සදහා උපකාරි වන ආකාරයයි.
යථොක්ත මාතෘකාව යටතේ පාහියන්ගේ ජීවන චරිතයත් හියුංසියෑංගේ ජීවන චරිතයත් , ඉදිරිපත් කොට ඔවුන් සටහන් තබා ඇති ඓතිහාසික කරුණු පිළිබද සාකච්ඡා කරනු ලැබේ. එමෙන් ඔවුන්ගේ සටහන් ඉන්දිය ඉතිහාසය අධ්‍යයනය කිරීමට කෙතෙක් දුරට වැදගත් වේ දැයි විමසා බලනු ලැබේ.
ඉන්දියාවට පැමිණි විදේශීය සංචාරකයින්.
ඉන්දියානු ඉතිහාසය හැදෑරීමේ දී සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරාවිද්‍යා මූලාශ්‍රද එකසේ ඉතා වැදගත් වේ. ඒ අතර සාහිත්‍ය මූලාශ්‍ර මාර්ගයක් වන දේශාටකයින්ගේ වාර්තා මගින් ලැබෙනුයේ මහගු පිටුවහලකි. ඉන්දියාවට නොයෙක්වර විවිධ සංචාරකයින් පැමිණ ඇත. ඔවුන් විසින් දේශපාලනික, සමාජීය, ආගමික, සංස්කෘතික විෂයන් අළලා ලියන ලද තොරතුරු ඉන්දියාවේ අබණ්ඩ ඉතිහාසය මනාව පිළිබිඹු කරයි. ඔවුන්ගේ වාර්තාවල දැක්වෙන තොරතුරු මගින් අනිකුත් මූලාශ්‍ර මගින් ඉදිරිපත් කරන ඓතිහාසික කරුණු බොහෝමයක් සනාථ කරගත හැකිය. ඔවුන් පැමිණි යුගයන් පිළිබද තොරතුරු මෙන්ම ඊට පෙර හා පසු කාලයන් පිළබදවද ඔවුන්ගේ වාර්තා තුළ සටහන් තබා තිබේ.
එසේ ඉන්දියාවට පැමිණි විදේශීය දේශාටකයින් මෙසේය.
1. මෙගස්තින්ස් (ක්‍රි.පූ. 302-298) මොහු සිරියාවේ සෙල්කස් නිකටාටර්හි විදේශ තානාපතිවරයා විය. චන්ද්‍රගුප්ත මෞර්යගේ උසාවිය වෙත පැමිණියේද මොහුය. ඉන්දියාවේ සංචාරය කළ පළමු විදේශීය දූතයා වන මෙගස්තින්ස් විසින් චන්ද්‍රගුප්ත මෞර්යගේ චරිතය හා රාජ්‍යයද විස්තර කර කෘතියක් ලිවීය. එසේම මොරිස්ගේ කාලයේ සමාජ හා පරිපාලනමය තත්වයද සටහන් කළේය.
2. පාහියන් (ක්‍රි.ව 399-414) පාහියන් ඉන්දියාවේ සංචාරය කළ ප්‍රථම චීන වන්දනාකරුවෙකි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා ධාතු රැස් කිරීම සඳහා ඔහු ඉන්දියාවට පැමිණියේය. එහිදි තම අත්දැකීම් ඇසුරින් "බෞද්ධ රාජධානි වාර්තාවක්" සකස් කරන ලදි.
3. හියුංසියෑං (ක්‍රි.ව 627-645) හර්ෂවර්ධන රාජ්‍යය සමයේදී ඉන්දියාවේ සංචාරය කළ චීන සංචාරක භික්ෂුවකි. ඔහු සිය අත්දැකීම් ආශ්‍රයෙන් බටහිර ලෝක පිළිබද වාර්තාවක් රචනා කළේය.
4. ඉත්සිං (ක්‍රි.ව 671-695) චීන සංචාරකයෙක් වන ඉත්සිං බුදුදහම සම්බන්ධයෙන් ඉන්දියාවේ සංචාරය කර ඓතිහාසික කරුණු තම වාර්තාවේ දක්වා ඇත.
5. අල් මසුඩි (ක්‍රි.ව 957) අරාබි සංචාරකයකු වන මොහු ඉන්දියාවේ ඉතිහාසය ගැන ඔහුගේ මුවූව්-උල්-සීබාබ් පොතේ විස්තර කර ඇත.
6. අල්-බෙරූනි (ක්‍රි.ව 1024-1030) මුස්ලිම් විද්වතකු වන අල් බෙරූනි ඉන්දියාව පුරා සංචාරය කර "Tahqiq-i-Hind" යන ග්‍රන්ථය රචනා කර ඇත.
7. මාර්කෝ පෝලෝ (ක්‍රි.ව. 1292-1294) විදේශීය තානාපතිවරයෙක් වන මොහු ඉන්දියාවේ සංචාරය කොට තම අත්දැකීම් ඇසුරින් ඉන්දියාවේ ආර්ථික ඉතිහාසය ඇතුළත් කර 'සර් මාර්කෝ පෝලෝ' නම් පොත ලියා තිබේ.
8. ඉබ්න් බභූතා (ක්‍රි.ව. 1333-1347) ඉබ්න් බභූතා මුහම්මද්-බින්-තුග්ලක්ගේ රාජධානිය සහ ඔහුගේ කාලයෙහි ආර්ථික, සමාජීය සහ භූගෝලීය තත්වය විස්තර කරමින් 'රීලා' යන පොත ලිවීය.
9. ෂිහාබුඩින් අල්-උමාරි (ක්‍රි.පූ. 1348) මොහු Masalik albsar fi-mamalik al-amsar කෘතියෙන් ඉන්දියානු ඉතිහාසය පැහැදිලි කළේය.
10. නිකෝලෝ කොන්ඩි (ක්‍රි.ව 1420-1421) බෙනීටියානු සංචාරකයෙක් වන නිකොලෝ කොන්ඩි ඉන්දියාවේ විජයාගර් අධිරාජ්‍යය පිළිබද තොරතුරු සටහන් කර ඇත.
11. අබ්දූර් රාසාකා (ක්‍රි.ව. 1443-1444) ටමුරිඩ් රාජවංශයේ ෂාරුක්හි තානාපතිවරයා වශයෙන් ඉන්දියාවේ කැලිකට් හි පිහිටි තාමරින්හි උසාවියෙහි රැඳී සිටිමින් තොරතුරු සටහන් කොට ඇත. මොහු පර්සියන් ජාතිකයෙකි.
12.ඇනනසියස් නිකිටින් (ක්‍රි.ව 1470-1474) මුහම්මද්ගේ බහමානි රාජධානියේ ජීවන තත්වයන් පැහැදිලි කළ රුසියන් වෙළෙන්දෙකි.
ඉහත දක්වන ලද ලේඛකයින් තම වාර්තා හා ග්‍රන්ථ මගින් එසේ ඉන්දියානු ඉතිහාසයේ නොයෙක් පැතිකඩවල් වාර්තා කර ඇත. සමහර තොරතුරු අතිශයෝක්තියෙන් වාර්තා කර ඇතද එයින් එම ග්‍රන්ථවල ඓතිහාසික අගය අඩු වී නොමැත. එම නිසා මේවා ඉන්දියානු ඉතිහාසය හැදෑරිමට එකසේ වැදගත් වේ. නමුත් මෙහිදි චීන භික්ෂුන් වහන්සේලා දෙනමක් වන පාහියන් හා හියුංසියෑංගේ වාර්තා ඉන්දීය ඉතිහාසය හැදෑරීමේදි වැදගත්කම සාකච්ඡා කරනු ලැබේ.
පාහියන් .
පාහියන් 5 වන සියවසේ මුල් භාගයේ චීනයේ සිට අයිස්ලන්ත කාන්තාර හරහා ඉන්දියාවට පැමිණියේය. ඔහු වයඹ දෙසින් ඉන්දියාවේ පාටලිපුත්‍රයට ළගා විය. ඉන්දියාවට පැමිණීමේ ඔහුගේ ප්‍රධාන පරමාර්ථය වූයේ බෞද්ධ ග්‍රන්ථ හා නිවැරදි බුදුදහම චීනයට රැගෙන යෑමයි. දෙවන චන්ද්‍රගුප්තගේ කාලයේදි පැමිණෙන පාහියන් ගෞතම බුදුන් උපත ලද ලුම්බිණිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමද සිදු කළේය. මෙසේ එතුමා ඉන්දියාව පුරා සංචාරය කරමින් බෞද්ධ පොත්පත් රාශියක් රැගෙන වසර 15කට පසුව නැවත චීනය බලාම පිටත් විය.
පාහියන් චීනයේ ෂින්-හීහි විශාල ප්‍රෙද්ශයක් වන පිං-යන්ග්හි වයි-යන්ග්හි උපත ලැබීය. තමාට වඩා වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකු ඔහුට සිටියේ ය. ඔහුගේ පියා බෞද්ධයකු වූ අතර සමාජ සේවයේද නිරත වූවෙකි. පාහියන් කුඩා කලම පැවිදි විය. නමුත් ඔහුගේ පියා ඔහු නිවසේ තබාගෙන සිටියේය. දිනක් පාහියන් රෝගාතුර වූ නිසා පියා ඔහු ආරාමයට පිටත් කර හැරීය.එහිදි ඔහු ඉක්මනින් සුවය ලැබූ අතර නැවත දෙමව්පියන් වෙත යෑමට අකමැති විය.
දෙමාපියන්ගේ අභාවයෙන් පසුව පාහියන් ආරාම ජීවිතයටම හුරු විය. මෙසේ සිටින විට ඔහුගේ සිත ඉන්දියාවේ සංචාරය කිරීම සදහා යොමු විය. ඒ සදහා හෙතු වූයේ විනය පිටකයේ සම්පූර්ණ පිටපත් සොයා ගැනීමයි. චීනයේ ඒවා දුලභ වූ නිසා ඉන්දියාවට ගොස් ඒවා සොයා ගැනීමට ඔහුගේ චිත්ත ශක්තිය දියුණු විය. බෞද්ධ පොත්පත් සොයාගෙන් නැවත් චිනයට පැමිණීමේ පළමු ගමන අසාර්ථක වුවද අවසානයේ එය සාර්ථක කර ගැනීමට ඔහුට හැකි විය.
චීනයට පැමිණි පසු ඉතිරි ජීවිත කාලය පුරාම ඔහු එකතු කරගත් ශුද්ධ ලියවිලි හා දහම් පොත්පත් පරිවර්තනය කිරීම හා සංස්කරණය කිරීම සිදු කළේය.එම ගමනේදි ඔහු ලැබු අත්දැකීම් හා සිදුවීම් මුල් කරගනිමින් බෞද්ධ රාජධානි ඇතුළත් වන සේ වාර්තාවක් සකස් කළේය. පාහියන්ගේ වාර්තාව යනුවෙන් අද ප්‍රකටව ඇත්තේද එයයි.
පාහියන්ගේ වාර්තාව.
පාහියන්ගේ ජීවන තොරතුරු අළලා ලියන ලද ග්‍රන්ථය පාහියන්ගේ වාර්තාව ලෙස හදුන්වයි. මෙය උන්වහන්සේගේ ශිෂ්‍යයකු වූ ෂමන් ලී විසින් ලියන ලද්දක් බව විශ්වාස කරයි.මෙයට ස්ථිර නමක් නොමැති වුවද බෞද්ධ රාජධානි පිළිබද වාර්තාව යන්න වැඩිපුර භාවිත කරයි. සමහර තැනක පාහියන් තෙරුන්ගේ කථාන්දරය, පාහියන් භික්ෂුව විසින් තමන්ගේ ඉන්දියානු චාරිකාව පිළිබද ලියන ලියූ තොරතුරු යනුවෙනුත් හදුන්වා ඇත. චීන භාෂාවෙන් තිබූ මෙය මුලින්ම ඉංග්‍රිසියට පරිවර්තනය කරන ලද්දේ සැමුවෙල් බීල් මහතා විසින් 1969 දීය. ඉන් පසු නැවත ජේම්ස් ලොග් විසින් “fa-hsing’s record of Buddhistic kindoms යනුවෙන් ඉංග්‍රිසියට නගා ඇත.
පාහියන්ගේ වාර්තාවේ ඇති වැදගත්කම.
පාහියන්ගේ වාර්තාවේ ඓතිහාසික වැදගත්කම ප්‍රමාණාත්මක කළ නොහැකිය. විශේෂයෙන්ම ඔහුගේ ගමන් මග පිලිබඳ සුප්‍රසිද්ධ වාර්තාවක් වන Foguoji ("බෞද්ධ රාජධානි වාර්තාව") සියවස් මුල් භාගයේ ඉන්දියානු බුද්ධාගමේ ඉතිහාසය ගැන වෙනත් මූලාශ්‍රයකින් සොයාගත නොහැකි වටිනා තොරතුරු රුසක් හෙළිදරව් කරයි.
පාහියන් ගන්සු හරහා ගමන් කරමින් මුලින්ම ඉන්දියාවේ වයඹ දිග පෙෂාවර් වෙත පැමිණියහ. ඉන් පසු ඔහු තක්ෂිලා, මථුරා, කනායු, කෝසම්බි, කෂි, කුසිනාර, සරස්වතී, කපිලවස්තු, වෛෂාලි, පාටලිපුත්‍ර සහ නාලන්ද යන ගිනිකොන දිග ප්‍රදේශවල සංචාරය කර ඇත. ඊට පසු ඔහු බෙංගාලයට ගිය අතර එතැනින් සිංහල දීපය හරහා ඔහුගේ ඉන්දියානු සංචාරය සමාප්ත විය.
පාහියන් වන්දනා කරුවකු වූ නිසා තමාගේ ක්‍රියාවට සම්බන්ධ දේවල් පිළිබදව හැර අන් දේවල් පිළිබදව අවධානයක් දක්වා නොමැත. ඒ කාලයෙහි සමාජ හෝ දේශපාලන තත්වයන් සටහන් කිරීමට ඔහු කිසිවිටෙකත් නොසිතුවේය. උදාහරණයක් ලෙස ඔහු පැමිණි කාලයේ ඉන්දියාවේ රජ කළ දෙවන චන්ද්‍රගුප්තගේ නමවත් ඔහුගේ ලේඛනයේ සදහන් නොකිරීමෙන් ඒ බව පැහැදිලි වේ.
එම කාලය තුල සමාජ, ආර්ථීක හෝ දේශපාලන තත්වයන් ගැන යම් යම් සටහන් ඔහු ලියා ඇති නමුත් ඒ සියල්ල කෙටි ප්‍රකාශයන්ය. එම නිසා එමගින් ඉන්දියානු ඉතිහාසය පිළිබදව අංග සම්පූර්ණ අධ්‍යයනයක් කළ නොහැකිය.
පාහියන් වාර්තා කර ඇති පරිදි ඔහු ඉන්දියාවට පැමිණි කාලයේදි එහි සිටි ජනයා සමෘද්ධිමත් හා සාමකාමී ජීවිත ගත කර ඇත. රාජ්‍යය පාලනය ඉතා කාර්යක්ෂම වූ අතර වැරදි කරන්නන් සදහා ඉතා මෘදු දඬුවම් ක්‍රමයක් පැවති ඇත. කිසිදු ප්‍රචණ්ඩකාරී බවක්, කැරලිගැසීමක් හෝ අපරාධකාරි බවක් දිස්වී නොමැත. රජුද යහපත් ගතිපැවතුම්වලින් යුතු වූ අතර පරිපාලන ක්‍රමයද මෞර්යයන්ගේ පාලන ක්‍රමයට සමාන වූ බව දක්වා තිබේ. පාහියන් මෙසේ සටහන් කර ඇත්තේ ඔහු පැමිණෙන විට ඉන්දියාවේ පැවති වාතාවරණයයි. ඒ අනූව එම කාලය ගුප්ත පාලකයින් රට ස්ථාවරත්වයට පත් කළ වකවානුවකි. පාහියන්ගේ මෙම තොරතුරු සත්‍යයහා විශ්වසනීය ඒවා ලෙස නිතැතින්ම පිළිගැනීමට සිදු වේ. ඊට හේතුව ඔහු තමන් දුටු දේ සටහන් කර තිබීමයි.
බුදුන් වහන්සේ උපත ලද කපිලවස්තු, බුදුරජාණන් වහන්සේ උත්තරීතර බුද්ධත්වය ලබාගත් ගයාවත්, බුදුන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළ බරණැස සහ පිරිනිවන් පෑ කුෂිනාරාවත් පාහියන්ගේ පළමු සංචාරක ස්ථාන බවට පත් විය. අනතුරුව පාටලිපුත්‍රයේදි ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සංවාදයෙහි යෙදෙමින්, බෞද්ධ විද්වතුන් සමග ධර්ම කරුනු සාකච්ඡා කර ඇත. මෙමගින් බුදුදහම පිළිබඳ ඔහුගේ දැනුම තව දුරටත් ගැඹුරු විය.
පාහියන් පැමිණෙන විට උතුරු ඉන්දියාවේ බුදුන්ගේ නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක වී තිබේ. එහි භික්ෂු වාසස්ථාන හා නිත්‍යය සංඝාරාම 500 ක් පමණ වූ බව සදහන් වේ. එහි සිටි භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම හිනායානිකයෝය. එම ආරාමවලට ආගන්තුක භික්ෂුවක් පැමිණි විට දින තුනක් ප්‍රත්‍යය පහසුකම් සලසනු ලැබේ. ඉන් පසු ආගන්තුක භික්ෂුව වාසස්ථානයක් සොයාගත යුතුය. මෙම සටහන්වලට අනූව ඔහු පැමිණි කාලයේ තත් ප්‍රදේශවල ක්‍රියාත්මක වූ ආරාමික පිළිවෙත් පිළිබදව නිසි අවබෝධයක් ලබා ගත හැකිය.
චීනයේ සිට ඉන්දියාව දක්වා වූ ගමන් මාර්ගය පිළිබදව පැහැදිලි අවබෝධයක් පාහියන්ගේ වාර්තාවෙන් ලැබේ. විශේෂයෙන්ම බෞද්ධ මූලස්ථාන ඇති ස්ථාන හා දුර ප්‍රමාණයන් නිවැරදිව දක්වා ඇත. ඔහු තමා දුටු මාර්ගයන්හි ස්වභාවය පවා සටහන් කර ඇති බව පෙනේ. *මාර්ගය ඉතා දුෂ්කර වූ අතර කඳු බෑවුමකින් යුක්ත විය. කඳුවැටිය උස අඩි 8000 ක් පමණ උසැති ගලක් පිහිටියේය. යමෙකු ඉදිරියට යාමට කැමති නම්, ඔහුගේ අඩි තබා ගැනීමට ඔහුට තැනක් නොතිබුණි. පහළින් ඉන්දු නදියයි. අතීතයේ දී මිනිසුන් භාවිත කළ ඉණිමඟට ලෑලි 700 කට අධික ප්‍රමාණයක් ඇතුළත් විය.
පාහියන්ගේ බෞද්ධ රාජධානි පිළිබද වාර්තාව මැකී ගිය ඉතිහාසයක් අධ්‍යනය කිරීමට පිටුවහලක් වේ. අතීතයේ ඉන්දියාව බෞද්ධ රාජ්‍යවලින් සමන්විත වූවකි. ස්තූප, සංඝාරාම, ප්‍රතිමා, කැටයම්වලින් අලංකාර වූ බෞද්ධ සිද්ධස්ථාන ඉන්දියාව පුරා විහිදි තිබූ බව එහි දැක්වේ. එම ස්තානවලට වන්දනාවේ ගොස් තොරතුරු තමන්ම දැන සටහන් කර ඇති නිසා ඒවායෙහි විශ්වසනීයත්වය වැඩිය. එපමණක් නොව අශෝක රජු හා කණිෂ්ක රජු පිළිබදවද ඔවුන්ගේ ශිලාස්ථම්භ පිළිබදවද පාහියන් අධ්‍යනය කර කරුණු දක්වා ඇත. ඔවුන් පිළිබද වූ ජනප්‍රවාද ද ඉදිරපත් කරයි. එම නිසා අතීතයේ බෞද්ධ උරුමය තහවුරු කරගැනීමට ඔහුගේ එම දත්තයන් මග පෙන්වනු ලබයි.
ඉන්දියාව පුරා විහිදි තිබුණු බෞද්ධ රාජධානි හා ඒවාට බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධතාවයද විස්තර කර ඇත. ඒ ඔහු ජනතාවගෙන් අසා දැනගත් තොරතුරු වන්නට ඇත. ජනප්‍රවාද ඒ ආකාරයෙන්ම ඔහු ඉදිරිපත් කර තිබේ. උදාහරණයක් ලෙස ගන්ධාර දේහය පිළිබදව සටහන් කර අත්තේ මෙසේය. මෙතැන් සිට පස් දිනක් මුළුල්ලෙ ගමන් කළ ඔවුහු ගන්ධාර දේශයට පැමිණියහ. මෙය ප්‍රථමයෙන් ධර්මාශෝක රජතුමාගේ පුත්‍ර වූ ධර්ම වර්ධනයන්ගේ රාජධානිය විය. *මෙහි බුදුන් වහන්සේ බෝධිසත්වරයකු වශයෙන් සිටියදී ඇස් උගුල්ලා දන් දුන්නහ. එම ස්ථානයෙහි ස්වර්ණ රජතයෙන් අලංකෘත වූ විශේෂ වූ ස්තූපයක් ගොඩ නගා ඇත. මේ රටේ මිනිසුන්ගෙන් වැඩි දෙනා හීනයාන බුද්ධ ධර්මය උගනිති.
පාහියන් වැඩියෙන්ම ජනප්‍රවාදයන්ට මුල් තැනක් දී ඇති බව පෙනේ. තමා දුටු දේ සමග ජනතාව අතර මුල් බැසගෙන තිබූ කතාවන් කෙරෙහිදි අවධානය යොමු කර තිබේ. ඒම ප්‍රවාදයන්ට මුල් වූ බුද්ධ චරිතයේ සිදු වීම්ද ඉිදිරිපත් කරයි. කණිෂ්ක රජු පිළිබදව බුදුන් වහන්සේ දේශනා කළ ආකාරය දක්වන්නේ මෙසේය. *ගන්ධාරයෙන් පිටත්ව දකුණු දිගට සිවු දිනක් ගමන් කළ ඔවුහු පුරුෂපුර රාජ්‍යට ළගා වූහ. බුදුන් වහ්නසේ ස්වකීය ශ්‍රාවකයන් සමග මෙහි චාරිකාවේ යෙදෙමින් සිටියදී වරක් ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළහ. (ආනන්දය මාගේ පරිණිර්වානයෙන් පසු අනාගතයෙහි පහළ වන කණිෂ්ක නම් රජ කෙනෙක් මෙහි ස්තූපයක් ගොඩ නංවති.
මේ ආකාරයෙන් පාහියන් ගමන් විස්තරයක් ඉදිරිපත් කර ඇති බව පෙනේ. තමා දුටු දේ මෙන්ම ඇසු දේද ඔහු එකසේ සටහන් තබා ඇත. ඒ හා බැදුනු දේශපාලනික, සමාජීය, ආර්ථික, සංස්කෘතික හා ආගමික කරුණුද ලියා ඇත. සෘජුවම බුදු දහම හා සම්බන්ධ වූ තොරතුරු දැක්වුවද අනිකුත් වටිනා දත්තයන්ද මෙහි ඇතුළත් වේ. විශේෂයෙන්ම මෙහි දැක්වෙන කාල නිර්ණයන් ඉතා විශ්වසනීය වේ. එම නිසා අනිකුත් මූලාශ්‍රයකින් නොලැබෙන බොහෝ තොරුතුරු මෙමගින් ලබා ගත හැකිය.
හියුංසියෑං.
හියුංසියෑං භික්ෂුවක , විද්වතෙකු, සංචාරකයෙකු මෙන්ම පරිවර්තකයකු ද විය. චීන බුද්ධාගම හා ඉන්දියානු බුද්ධාගම අතර පරස්පරතා දුරු කරගැනීම ඔහුගේ එකම අරමුණ විය. ක්‍රි.ව 602 දී පමණ හෙනාන් පළාතෙහි හියුංසියෑං උපත ලැබීය. ඔහුගේ කුඩා කළ නම චින් විය. කුඩා කාලයේ සිටම ඔහු පොත්පත් කියවීම හා පුරාණ මුස්ලිම් දාර්ශනික ලියවිලි ඇතුළු ආගමික ග්‍රන්ථ කියවීම සඳහා වැඩි කැමැත්තක් දක්වා තිබේ. හියුංසියෑංගේ නිවසේ මූලික වශයෙන් කොන්ෆියුෂියන් දර්ශනය ඇදහුවද ඔහුගේ සහෝදරයා මේ වන විට බෞද්ධ භික්ෂුවක් බවට පත්ව සිටියේය. ඔහු ජීවත් වූයේ ලෝයායන්හි ජින්ග්ටූ විහාරයේය. 611 දී ඔහුගේ පියාගේ මරණයෙන් පසු බෞද්ධ භික්ෂුවක් බවට පත්වීමට උනන්දුවක් දක්වන හියුංසියෑං තමා ළග පැවිදි කර ගැනීමට සහෝදරයා කටයුතු කළේය. ඒ අනූව හියුංසියෑං දහතුන්වන වියේදී ආරාමයක පැවිදි බව ලැබීය.
සුයි රාජවංශයේ වැටීම නිසා ඇති වූ දේශපාලන හා සමාජ නොසන්සුන්කම හේතුවෙන්, ඔහු සිචුවාන්හි චෙන්ග්ඩු වෙත ගියේය. එහිදී ඔහුට වයස අවුරුදු විසිතුනක් වන විට උපසම්පදාව ලැබීය. මේ කාලය අතරතුර ඔහු මහයාන මෙන්ම විවිධාකාර දර්ශන පිළිබද අධ්‍යාපනය ලබා ගත්තේය.
618 දී සුයි රාජ වංශය සම්පූර්ණයෙන්ම බිඳ වැටුනු අතර, හියුංසියෑං සහ ඔහුගේ සහෝදරයා, තංගල් රජ සමයේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලද චැන් වෙත පලා ගිය අතර, එතැන් සිට දකුණු දෙසින් චෙන්ඩුහි , සිචුවාන් වෙත ගියහ . මෙහිදී සහෝදරයන් දෙදෙනා අශ්වින්-කොෂා සාස්ට්රා ඇතුළු කොං හුවායි හි වැඩිදුර අධ්‍යාපනය සඳහා අවුරුදු දෙකක් හෝ තුනක් ගත කර තිබේ. එහිදි එවකට පැවති පාඨවල අසමානතාවයන් සහ විසංඟත්වීම් දැක ඉන්දියාවට ගොස් බුදු දහම ඉගෙන ගැනීමට තීරණය කළේය.
තංගේ තයිසොං අධිරාජ්‍යයාගේ සාමකාමී පාලනය යටතේ ඉන්දියාවේ සංචාරය කිරීමට හියුංසියෑං තීරණය කළේය. මෙම කාලයේදි රටින් පිටවීම තහනම් කර තිබූ කාල පරිච්ඡෙදයකි. නමුත් ඔහු නොයෙක් දෙනාගේ සහයෝගය ඇතිව ක්‍රි.ව 627 දී ඉන්දියාවේ සංචාරය සදහා පිටත් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 30 කි. 629 දී ලියාංෂුෂ් හා චිංයායි හරහා දේශසීමා තරණය කර ගොබී කාන්තාරය හරහා ටියාන් ෂාන් පසු කළේය. ඔහු 630 දී ටර්පාන් වෙත පැමිණියේය. එහිදී ඔහු ටර්පන්හි රජතුමා හමුවූ අතර සිය ගමන් වියදම් සඳහා මුදල් ද අවශ්‍ය උපකාරද ලබා ගත්තේය. මේ ආකාරයට හර්ෂ වර්ධන රජුගේ කාලයේදි ඉන්දියාවට සම්ප්‍රාප්ත වීමට හියුංසියෑංට හැකි විය.
ක්‍රි.ව 645 දී නැවත චීනය වෙත ඔහු ආපසු පැමිණියේය. චීනයේදි ඔහු බොහෝ ගෞරවාදරයට පාත්‍ර විය. එකල තාවකාලික අධිරාජ්‍යයා වූ තයිසෝ විසින් පිරිනමන ලද උසස් සිවිල් පත්වීම හා තනතුරු ප්‍රතික්ෂේප කළ ඔහු විශ්‍රාම ශාලාවකට ගියේය.
එහිදි තමා විසින් රැගෙන එන ලද බෞද්ධ ග්‍රන්ථ පරිවර්ථනය කිරීම සිදු කළේය. ඒ අතරම තමාගේ ගමන් මාර්ගය විස්තර කරමින් හා ඉන්දියානු ඉතිහාසය සටහන් කරමින් වාර්තාවක් සකස් කළේය. හියුංසියෑංගේ භ්‍රමණවෘත්තාන්තය යනුවෙන් අප හදුන්වනුයේ එයයි. මේ ආකාරයට ඔහු බෞද්ධ ශාස්ත්‍රීය කටයුතුවල නියලෙමින් ක්‍රි.ව 664 දී ජීවිතක්ෂයට පත් විය.
හියුංසියෑංගේ වාර්තාව.
ඉන්දියාවේ කළ සංචාරයේ අත්දැකීම් මුල් කරගනිමින් හියුංසියෑං විසින් ලියන ලද ග්‍රන්ථය හියුංසියෑංගේ භ්‍රමණ වෘත්තාන්තය ලෙස හදුන්වයි. එය චීන අධිරාජයාගේ ඉල්ලීම පරිදි ඔහු විසින් ලියන ලද්දකි. සංස්කරණය කර ඇත්තේ පීඑන්කි නම් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේය. නානාවිධ වූ ඓතිහාසික තොරුතුරු ඇතුළත් මෙය පරිච්ඡෙද දොළසකින් සමන්විතය. හියුංසියෑගේ චරිතාපදානයක්ද මෙයටම අළලා සකස් වී ඇත. එයින් මෙහි නැති තොරතුරු සමූහයක් ලබා ගත හැකිය. හුයිලි නම් භික්ෂුව විසින් එය ලියා ඇත. පසුව යෙන්ත්සොං නම් භික්ෂුව එය ගුහාවක තිබී හමු වූ පසි සංස්කරණය කොට අද තිබෙන තත්වයට පත්කොට ඇත. චීන භාෂාවෙන් තිබූ මෙම ග්‍රන්ථය මුලින්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ සැමුවෙල් බීල් පඩිතුමාය.
හියුංසියෑංගේ වාර්තාවේ ඇති වැදගත්කම.
හියුංසියෑං ඉන්දියාවේ සංචාරය කළේ හර්ෂවර්ධනගේ කාලයේය. එම කාලයේ දේශපාලනික, ආගමික, ආර්ථික, සමාජීය තත්වයන් පිළිබඳ බොහෝ විස්තර සහිතව ඔහු තම වාර්තාවේ සටහන් කර ඇත. ඉන්දියාවේ රැඳී සිටියදී ඔහු උතුරු හා දකුණු ඉන්දියාවේ විවිධ ස්ථානවල සංචාරය කළේය. විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ සියලු පූජනීය ස්ථානයන් බැලීමටද ඔහු ගියේය. එම සංචාරය අතරතුරදී ඔහු තවත් බොහෝ ස්ථාන නරඹමින් රටේ සමාජීය, ආගමික, දේශපාලනික, සංස්කෘතික හා ආර්ථීක තත්ත්වයන් දැඩිව නිරීක්ෂණය කර ඇත.
හියුංසියෑං කාෂ්මීරය, පන්ජාබ්, කපිලවස්තු, බුද්ධගයා, සාරානාත්, කුසිනගර්, ඩෙකෑන්, ඔරිස්සා සහ බෙංගාලය හරහා ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම සංචාරය කර ඇත. ඔහු නාලන්දා විශ්වවිද්‍යාලයේ පමණක් වසර 5 ක් පමණ අධ්‍යාපනය ලබා ඇත. මේ අයුරින් ඉන්දියාවේ අවුරුදු 14 ක් පමණ ගත කර ඇත. මේ නිසා ඔහුට ඉන්දියාවේ විවිධ ක්ෂෙත්‍රයන් පිළිබද පුළුල් දැනුමක් තිබූ බව පැහැදිලි වේ. ඉන්දියානු ජනතාව අතරද ජනප්‍රියත්වයට පත්ව වී රජුගේ ගෞරවාදරයට පත්වීමටද ඔහුට හැකි වූයේ ඒ නිසා වන්නට ඇත.
හියුංසියෑංගේ ලේඛන පරික්ෂා කිරීමේදි තමන්ට දැනුනු දේ මෙන්ම ඇසූ දේ පිළිබඳවද සඳහන් තිබේ. බෞද්ධයෙකු හා ශුද්ධ දේශයක වන්දනා කරන භික්ෂුවක් ලෙස අතිශයෝක්තියෙන් තොරතුරු සදහන් කිරීමට අවශ්‍යය නොවන්නට ඇත. අවංකව හා සැලකිලිමත් භාවයෙන් ඔහු කරුනු සටහන් කර ඇති බව පෙනේ. ඉන්දියාවේ බුද්ධාගමේ තත්වය විස්තර කිරීම ප්‍රධාන අරමුණ වූ නිසා අනිත් අංශයන් පිළිබදව එතරම් සැළකිල්ලක් දක්වා නොමැත. නමුත් හර්ෂ හා බුදු දහම පිළිබදව වැඩි සැළකිල්ලක් දක්වා ඇත.එම නිසා අනිකුත් අංශයන් ගැන ලියා ඇති තොරතුරු පක්ෂග්‍රාහි නොවූ ඒවාය. ඒ නිසා ඒවායේ විශ්වසනීයත්වයද වැඩිය. එබැවින් සමස්තයක් වශයෙන් ඔහුගේ වාර්තාව විශ්වාසදායක එකක් ලෙස පිළිගැනීමට සිදු වේ. එයින් පැරණි ඉන්දියානු ඉතිහාසයේ වැදගත් යුගයක් ආලෝකමත් කර තිබේ.
හියුංසියෑං විශේෂයේන්ම ඉන්දියාවේ නගර ජීවිතය විස්තර කර ඇත. එම තොරතුරුවලට අනූව නගරයේ වීදි මදක් අපිරිසිදු විය. පැරණි නගර බොහෝ නටබුන්ව ගොස් ඇත. නව නගර වර්ධනය වෙමින් පැවතී ඇත. නගරවල නිවාස විවිධ වර්ග වලින් සමන්විත වන අතර ලී, ගඩොල් හා ගොම ගා ඉදිකර ඇත. ප්‍රයාග් නගරය වැදගත් නගරයක් වන අතර පාටලිපුත්‍රයද එසේය. ස්‍රාවස්ති සහ කපිල්වුස්තු මේ වන විට ආගමික වැදගත්කම අහිමි කර ගෙන තිබේ. ඒ වෙනුවට නාලන්ද හා වාලච්චි බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථාන බවට පත්ව ඇත. මෙවැනි නාගරීක ස්වභාවය සහිත නිවැරදි ලේඛනයක් මූලාශ්‍ර අතර දුලභය.
ඉන්දියාවේ සමාජ තත්ත්වයද ඔහු විසින් විස්තර කරන ලදී. ඒ අනූව ඉන්දියානු සමාජයේ කුල ක්‍රමය දැඩිව පැවතුණි. නමුත් ජනයා සරල බවින් අවංකව ජීවිත ගත කර ඇත. ඔවුන් තමන්ගේ වස්ත්‍ර සඳහා කපු, සිල්ක් සහ ලොම් යොදා ගත් අතර විවිධ වර්ගවල ඇදුම් ආයිත්තම් විය. නමුත් ඒවා සරල ඇදුම් විය. ඔවුන්ගේ ආහාර පාන අතර මස් ලූණු හා මත් පැන් කැපී පෙනිණි. ධනපතියන් සුඛෝපභෝගි ජීවිත ගත කර ඇත. ඔවුන්ගේ නිවෙස්ද ඉතා අලංකාර ලෙස ඉදිකර තිබුණි. සමාජයේ කෙතරම් බෙදීම් තිබුණද සදාචාරවත් ලෙස ජීවත් වීමට ඉන්දියානු ජනතාව කටයුතු කර තිබේ.
හියුංසයෑංගේ අවධානය යොමු වූ තවත් වැදගත් අංශයක් වන්නේ අධ්‍යාපන ක්ෂෙත්‍රයයි. එකල පැවති ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථාන පිළිබදව ඔහුගේ වාර්තාවේ සටහන් වේ. විශේෂයෙන්ම ඔහු නාලන්දා විශ්වවිද්‍යාලයේ වසර 5ක් අධ්‍යයන කටයුතුවල නියැලි ඇත. එම නිසා එම විශ්වවිද්‍යාලය ගැන ඔහුගේ වාර්තාවේ වැඩි යමක් සදහන් කර තිබේ. එමෙන්ම ඉන්දියානුවන් වයස අවුරුදු 9-30 අතර කාලයේ අධ්‍යපනයේ නියැළි ඇත. ඉගෙනුම බොහෝ විට ආගමික අංශයට නැඹුරුතාවයක් දක්වා ඇත. වාචික හා ලිඛිත යන අංශ දෙකින්ම එය සිදු කර තිබේ.
මූලික භාෂාව සංස්කෘත වූ අතර වාද විවාද හා සාකච්ඡා මගින් දැනුම වර්ධනය කරගෙන තිබේ. තත් යුගයේ පැවති දේශපාලන හා පරිපාලන තත්වයද හියුංසයෑං විස්තර කරයි. විශේෂයෙන්ම එම කාලයේ පාලකයා වූ හර්ෂගේ ක්‍රියාපටිපාටිය ඔහුගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. ඒ අනූව හර්ෂ තම රාජධානිය හොඳින් පාලනය කළේය. බදු පැනවීම ජනතාවට එතරම් පීඩාවක් නොවීය. රජයේ සේවකයන් හිංසනයෙන් නිදහස් වූ අතර එම නිසා, ඔවුන් සතුටින් තම කාර්යන් සිදු කළහ. එමගින් රජයේ කාර්යක්ෂමතාවය වඩාත් දියුණු විය. රජය මගින් සිදු කරන සෑම කර්තව්‍යක්ම රජුට වාර්තා කළ යුතු විය. එයින් පරිපාලනය රජුගේ සෘජු අධීක්ෂණයට ලක් විය.
රට පුරා එකසේ නීතිය ක්‍රියාත්මක විණි. සාමකාමි පරිසරයක ජනතාව ජීවත් වී ඇත. නීති කඩන්නවුන් සදහා ශාරීරික දඩුවම් ලබා දුන්නේය. ද්‍රෝහින්ට මරණ දඩුවමද, පිටුවහල් කිරීමද විය. සත්‍ය දැනගැනීමට චූදිතයන්ට වධහිංසා පැමිණ වීමද ක්‍රියාත්මක වුණි. මේ ආකාරයට රාජ්‍යයේ නීති අංශයේදි ක්‍රමවත් භාවයක් ද පැවති ඇත. හර්ෂගේ හමුදාව යුධ අලි ඇතුන් 60,000 ක්, ශක්තිමත් අශ්ව රථ 50,000 ක් සහ 1,00,000 ක පාබල බලඇණියකින් සමන්විත වූ බවද එයින් ඔහු ශක්තිමත් පාලකයකු ලෙසද හදුන්වා දී තිබේ.
බ්‍රාහ්මණ. බෞද්ධ හා ජෛන යන ආගම් තුන ඉන්දියාවේ ජනප්‍රිය ආගම් විය. නමුත් බුද්ධාගමට සාපේක්ෂව එවකට ඉන්දියාවේ හින්දු ආගම වැඩි වශයෙන් ජනප්‍රිය වූ බව හියුංසියෑං ද පිළිගෙන තිබේ. මෙම ආගම් තුනේම ජනයා අන්‍යොන්‍ය සුහදත්වයෙන් කටයුතු කර තිබේ. රජුද මෙම ආගම්වලට එකසේ අනුග්‍රහ දක්වා ඇත. හර්ෂ රජු ආගමික සිද්ධස්ථාන සඳහා රජයේ ආදායමෙන් 4/1 ක් වැය කළ බව හියුංසියෑං වාර්තා කරයි. නමුත් පෙර පැවති සිද්ධස්ථාන සීඝ්‍රයෙන් විනාශ වී ඇති බව ඔහු පෙන්වා දෙයි. * මෙරටෙහි නටබුන් වූ සංඝාරාම දහසකට වැඩි ගණනක් ඇත්තේය.රාජ මන්දිරය අසල එක් ආරාමයක සම්මිතීය නකායික තිස්නමක් පමණ භික්ෂූහු මේතාක් වාසය කරත්. නානා දේව භක්තිකයන්ගේ දේවස්තාන දෙකක්ද ඇත්තේය.
මෙලෙස ආගමික අංශයේ තොරතුරු වාර්තා කරන හියුංසියෑං අලාහබාද් සහ කන්නායිජ්වල අදිරාජයා විසින් සංවිධානය කරන ලද ආගමික රැස්වීමක් පිළිබඳ විස්තරයක් විස්තර කළේය. ඒ සදහා ඔහුද සම්බන්ධ වී ඇති අතර මූලාසනය දැරීමටද සිදු වී ඇත. මෙයින් තත් යුගයේ පැවති ආගමික තත්වය පිලිබදව පුළුල් අවබෝධයත් ලබා ගත හැකිය.
හියුංසියෑං ගමන් කළ කාලයේ ඉන්දියාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ නිෂ්පාදිතයෙන් 6/1 ක් වූ ඉඩම් ආදායමයි. ඊට අමතරව කපු, සිල්ක් සහ ලොම් රෙදි නිපදවා විවිධ වර්ගයේ ඇඟලුම් සාදන ලදී. සියළුම වර්ගයේ ස්වර්ණාභරණ සහ විසිතුරු ආභරණ සකස් කරන ලදී. මුතු ඇට සහ ඇත් දළ වෙළදාමද පැවතියේය. පළතුරු සහ කෘෂිකාර්මික නිෂ්පාදනවල දිගු ලැයිස්තුවක් ද ඔහු ලබා දුන්නේය.
විදේශීය රටවල් සමඟ ඉන්දියාව වෙළඳාම් කළ බවත්, නැඟෙනහිර සහ බටහිර වෙරළ තීරයේ වෙරළබඩ නගරවල සුඛෝපභෝගී නගර තිබූ බවත් ඔහුගේ වාර්තාවේ දැක්වේ. ඉන්දියාව, රෙදි, ඖෂධ පැළෑටි, ඇත් දත්, මුතු, කුළුබඩු ආදිය විදේශ රටවලට අපනයනය කර ඇති අතර රන්, රිදී සහ අශ්වයන් ආනයනය කර ඇත.
හියුංසියෑං විස්තර කළේ හර්ෂ ඔහුගේ ආදායම කොටස් හතරකට බෙදු බවයි. රජයේ පරිපාලන කටයුතු සඳහා වැය කෙරුණේ ඉන් එක් කොටසකි. දෙවන කොටස රජයේ සේවකයින් අතර බෙදා දෙන ලදී. අනිත් කොටසක් විද්වතුන් වෙත ලබා දෙන ලදී. හතරවන කොටස එය බ්‍රාහ්මණ සහ බෞද්ධ භික්ෂූන් වෙත පුණ්‍ය කටයුත්තක දී ලබා දෙන ලදී. මේ ආකාරයට එම කාලයේ රට සමෘද්ධිමත් මෙන්ම ස්වයංපෝෂිතව පැවති බව පෙනේ.
මෙම තත් යුගයේ තොරතුරුවලට අමතරව ඔහු විසින් පෙර පැවති අසන ලද බෝහෝ දේවල් තම වාර්තාවේ සටහන් කර ඇත. විශේෂයෙන්ම බුදු දහමට අනුග්‍රහ දැක්වූ රජවරුන් පිළිබද ඔහු විශේෂ අවධානයක් යොමු කළේය. උදාහරණයක් ලෙස කණිෂ්ක රජතුමා ගැන ඔහු අදහස් දක්වන්නේ මෙසේය. කුශාන වංශික පෙර රජවරු හින්දු භක්තිකයෝ ය. කණිශ්ක රජ රාජ්‍ය පද ප්‍රාප්තියත් සමග ‍බෞද්ධයෙක් වූයේ ය. කණිශ්ක රජු බුදුසමය වැළදගත් පුවත ප්‍රවාදයක් සේ එකල පැතිර පවතින්නට ඇත. එම ප්‍රවාදය ඔහු වාර්තාවේ දක්වන්නේ මේ අයුරිනි.“ධර්මාධර්ම විවේචනයක් නොකල මෙ රජ පළමුවෙන් බුදු දහම පහත් කොට සැලකී ය. එක් දිනක් පදුරු සහිත වගුරු බිමක ඇවිදින රජ, සුදු හාවකු දැක ඌ අනුව යන්නේ අඩි තුනක් පමණ උසැති කුඩා සෑයක් ගොඩනගන ගොපලු දරුවකු දුටුවේ ය. තෝ කුමක් කෙරෙහි දැයි ඇසූ විට, “මෙරට රාජ්‍යයට පත් වන රජෙක් මගේ ශරීර ධාතුවලින් විශාළ කොටසක් පිහිටුවා මෙතැන ස්තූපයක් ගොඩනංවන්නේ යැයි ශාක්‍ය මුනීන්ද්‍රයන් විසින් ප්‍රකාශ කරන ලදි. කණිශ්කාධිරාජයෝ පුරාකෘත පුණ්‍ය ඇත්තෝ ය. ඒ උත්තම ශාස්තෘවරයාගේ අනාවැකිය සිද්ධ කිරීමට මෙය යෝග්‍ය කාලය බව සිහිපත් කරවමි.” යි උත්තර දී ගොපලු දරුවා නොපෙනී ගියේ ය. මේ කීම ඇසූ රජ මහත් ප්‍රීතියට පත් ව බෞද්ධාගමට ගෞරව කරමින් බුද්ධාගම වැළද ගත්තේ ය.”
මේ අනුව, වෙනත් චීන සංචාරකයෙකු විසින් ලබා නොදුන් ඉන්දියාවේ දේශපාලන, සමාජීය, ආගමික සහ ආර්ථික ජීවිතය පිළිබඳව ඉතා වටිනා විස්තරයක් හියුංසියෑං ලබා දේ. එය හර්ෂ අධිරාජයාගේ පාලන සමයේදී ඉන්දියාවේ පැවති තත්ත්වය හා ඊට පෙර තත්වයන් පිළිබදවද තක්සේරු කිරීම සඳහා ද ප්‍රශංසනීය මග පෙන්වීමක් සිදු කරයි. වර්ණනාවන් තිබුණද අනිකුත් මූලාශ්‍රයන්ගේ නැති තොරතුරු දැන ගැනීමට හා ඇති තොරතුරු තහවුරු කරගැනීමටත් සමකාලීන මූලාශ්‍රයන්ට වඩා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
ඉහත සාකච්ඡා කර ඇති පරිදි ඉන්දියානු ඉතිහාසය හැදෑරිමේදි පාහියන්ගේ හා හියුංසියෑංගේ වාර්තාවන් දෙක එකසේ වැදගත් වේ. අනිකුත් මූලාශ්‍රයන් හා සමානවත් සමහර අවස්ථාවන්හිදි ඒවාටත් වඩා උපයෝගිතාවයක් මෙම වාර්තා දෙකේ ඇත. පාහියන්ගේ වාර්තාවේ බෞද්ධ රාජදානි පිළිබද අගනා විස්තරයක් තිබේ. වර්තමානයේ ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතියක් හෝ බුදු දහමේ ව්‍යාප්තියක් දක්නට නොමැත. නමුත් අතීතයේ ඉන්දියාව පුරා පැතිර තිබුනේ බුදු දහමයි. රජවරු පවා බුදු දහම වැළදගෙන ඊට අනූව රට පාලනය කර ඇත. එම අතීත බෞද්ධ උරුමය පාහියන්ගේ ලේඛනය තුළින් ගම්‍ය කර තිබේ. එකල ඉන්දියාවේ පැවති නගර හා ඒවා අතර පැවති දුර ප්‍රමාණයන් නිවැරදිව දක්වා ඇත්තේ මෙම වාර්තාවේය. රජවරුන් හා ඔවුන්ගේ පාලන වර්ෂයන් ගැන නිවැරදි තක්සේරුවක් ද මෙහි ඇතුළත් වේ. එමෙන්ම යම් යම් දේශපාලනකි, සමාජීය හා ආගමික සංස්කෘතික යන අංශයන්ගේ තොරතුරුද ඇතුලත් වේ. වර්ණනා හෝ අතිශයෝක්ති අන්තර්ගත නොවන නිසා මෙම විස්තර සත්‍යය ඒවා ලෙස පිළිගැනීමට සිදු වේ. ජනප්‍රවාද තිබුණද ඒවා අසත්‍යය ඒවා ලෙස බැහැර කළ නොහැකිය. ඒ එම ප්‍රවාදද පුරාවිද්‍යා සාධක මගින් හදුනාගෙන ඇති නිසාය. පුරාවිද්‍යාඥයින් දැනට තහවුරු කරගෙන ඇති කරුණු සනාථ කරගැනීමට පාහියන්ගේ වාර්තාව මහගු පිටුවහලක් ලබා දෙයි.
හියුංසියෑං ද බුදු දහමට අදාළ දෑ පිළිබදව කරුණු ගොනු කළද අනිකුත් අංශයන් පිළිබදවද අවධානය යොමු කර ඇත. ඔහු තමා පැමිණි කාලයේ ඉන්දියාවේ පැවති තත්වය සම්පූර්ණයෙන් විග්‍රහ කර තිබේ. සමාජීය, ආර්ථික, පරිපාලනමය ආදි සෑම දෙයක්ම ඔහුට විෂය විය. එම කාලයේ හර්ෂවර්ධන රජුගේ ක්‍රියාපටිපාටිය ඔහුගේ ප්‍රශංසාවට ලක් විය. ඒ හා සමග තමා සංචාරය කළ ඉන්දියාවේ ප්‍රදේශ හා ඒ හා බැදුනු සංස්කෘතික ලක්ෂණ ඔහු වාර්තා කළේය. එම තොරතුරු සමකාලීන මූලාශ්‍රයකින් හමු නොවීම හියුංසියෑංගේ වාර්තාවේ අගය තවත් ත්‍රිවුර කරයි.
මේ අයුරින් ඔවුන් දෙදෙනාගේ වාර්තා දෙක ඉතිහාසඥයින්ට ආලෝකයක් සපයනු ලබයි. ඉන්දියානු ඉතිහාසයේ වැදගත් කාල පරාසයක් වූ ගුප්ත රජවරුන්ගේ පාලන සමය ඊට සමකාලීන කාලයේ ඓතිහාසික සාධක රාශියක් තහවුරු කරගැනීමට එම වාර්තා ප්‍රබල පිටුවහලක් වන බව මේ අනූව පැහැදිලි වේ.

1 comment:

  1. දේශනාටක ෆාහියන් හිමියන් ගේ වාර්තා වේ  ඇති ජම්බුද්වීපය පිහිටි සැබෑ පිංබිම පිළිබඳ සාක්ෂි සාධක සබැදියන් සහිත  පර්යේෂණාත්මක හෙලිදරව්ව.
    http://hmherath.blogspot.com/2013/06/blog-post_30.html?m=1

    ReplyDelete

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...