Wednesday, February 27, 2019

පුරාතන ශ්‍රී ලංකාවේ වෙළඳාම 



පුරාතන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා දායක වූ සුවිශේෂි අංගයක් ලෙස වෙළදාම හැඳින්විය හැක. අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන්ම වෙළදාම ජනතාව අතර ජනප්‍රිය ධන ඉපැයීමක් බවට පත්ව තිබූ බවට සාක්‍ෂ්‍ය සුලභව ලැබේ. රටේ රජුගේ පටන් ප්‍රභූ පන්තිය හා සාමාන්‍ය ජනයාද එකසේ වෙළදාමට නැඹුරු වී ඇති බව පෙනේ. රට පුරා විහිදී ඇති ශිලා ලේඛනවලට අනූව හා සාහිත්‍ය මූලාශ්‍රවලට අනූව එකල වෙළදාම ඉතා දියුණු තත්වයක පැවති බව පෙනේ.ඉතා පහසු කටයුත්තක් හා රාජ්‍යන් සමග නොයෙක් සම්බන්දතා ඇති කර ගැනීමට හැකි වූ නිසා වෙළදාම කෙරෙහි ජනතාව වැඩි කැමත්තක් දැක්වූ බව සිතිය හැක. වෙළඳාමෙහි අතීතය පිලබඳව සාකච්ඡා කිරීමේදි එය ලංකාව ජනාවාස වීමේ කාලය දක්වාම දිව යන්නකි. පාහියන් භික්‍ෂුවගේ දේශාටන වාර්තාවට අනූව මුලින්ම ලක්දිව ජනාවාස පිහිටුවා ගත් අය මෙහි පැමිණ ඇත්තේ වෙළෙන්දන් වශයෙනි. එමෙන්ම දිව්‍යාවදාන නම් සංස්කෘත ග්‍රන්ථයට අනූව ලක්දිව සිටි කාන්තාවන් සමග වෙළදාමේ පැමිණි ජනතාව විවාහ සබඳතා පැවැත්වීමෙන් ලංකාව ජනාවාස වූ බව දැක්වේ. මෙවැනි ඉතිහාසගත තොරතුරුවලට අනූව ලංකාවේ වෙළදාමට දිගු කාලීන ඉතිහාසයක් තිබේ. කෙසේ වුවද අනුරාධපුර යුගය පමණ වන විට ලංකාව තුළ විශාල දියුණුවක් ඇති කිරීමට වෙළදාම සමත් වී ඇත. ඒ සඳහා රට තුළ පැවති අභ්‍යන්තර වෙළදාම හා රටින් බාහිරව ඇති කරගත් විදේශීය වෙළදාමද අතිශයින් උපකාරී වී ඇත.
අනුරාධපුර යුගයේ වෙළදාම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබෙනුයේ දීපවංශයෙනි. විජය කුමරු විසින් ගොඩ නගන ලද තම්මැන්නා නුවර වෙළදපොලක් වූ බවත් ඔහු සමග පැමිණි උපතිස්ස ඇමතියා විසින් උපතිස්ස ගමෙහි වෙන් වෙන් ව පිහිට වූ අන්තරාපණ වූ බවත් දීපවංශය දක්වයි. මුල් කාලයේ අන්තරාපණ ලෙස හඳුන්වා ඇත්තේ වෙළඳපොලවල්ය. ක්‍රිඃපූ යුගයේ භික්‍ෂූන් වහන්සේලාට ලෙන් පූජා කළ අය අතර වණිජ හා වාපර යනුවෙන් හඳුන්වනු ලැබූ වෙළෙන්දන් සිටි බවට විවිධ පළාත්වල ඇති ලෙන් ලිපිවලින් තහවුරු වේ. මහා බෝධිවංශ ග්‍රන්ථිපද විවරණයට අනූව සංඝමිත්තා තෙරණිය සමග පැමිණි කුල අතර වෙළඳ කුලයට අයත් පවුල් වූ බවද සඳහන් වේ. වළගම්බා රජුගේ කාලයේ අනුරාධපුරයේ විසූ ධනවත් වෙළඳ පවුලක් ගැන තොරතුරු සීහලවත්ථු ප්‍රකරණයේ දැක්වේ. මෙම තොරතුරුවලට අනූව අනුරාධපුර යුගයේ වැසියන්ගේ ප්‍රධාන රැකියාව වූ කෘෂිකර්මාන්තයට නොදෙවෙනි තැනට වෙළඳාම පත්ව තිබූ බව පෙනේ. එමෙන්ම වෙළෙන්ඳන් වෙනම කුලයක් වශයෙන් රට පුරා විහිදී සිටි බවද පැහැදිලි වේ.
අභ්‍යන්තර වෙළඳාම.
මෙම යුගයේ රට තුළ පැවති අභ්‍යන්තර වෙළඳාම ඉතා දියුණු තත්වයක පැවති බවට සාධක ලැබේ. සෑම නගරයකම පාහේ වෙළඳසල් සහිත වීථි තිබී ඇත. නගරයෙන් පිටතද වෙළඳපොලවල් හා වෙළඳ ගම් පවත්වාගෙන ගොස් ඇත. හතර වන උදය රජුගේ (946-953)කාලයට අයත් බදුලු ටැම් ලිපියෙහි වණිග්‍රාම යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙම වෙළඳ ගම් බව සිතිය හැක. ක්‍රිඃ ව 4-5 සියවස්වලදී අනුරාධපුර නගරයේ ප්‍රධාන වාසල් දොරටු හතරට නුදුරින් නියම් ගම් හෙවත් වෙළඳ ගම් පිහිටා තිබූ බව සෙල්ලිපි කිහිපයකින් තහවුරු වේ. මෙම වෙළඳසල්වල ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ මෙන්ම විදේශවලින් ආනයනය කරන ලද භාණ්ඩද වෙළදාම් කර ඇත. ඒ සඳහා කදිම උදාහරණයක් මහාවංශයෙන් ලැබේ. විහාර මහා දේවියගේ දොල සංසිදීම සඳහා තිසා වැවෙන් දිය ගෙන ඒමට ගිය වේලුසුමන යෝධයා ඒ සඳහා අවශ්‍ය කළය මිලදීගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ කුම්භකාර වීදියේ වෙළඳසලකිනි. එමෙන්ම මාගම සිට අනුරාධපුරයට ගිය සුරනිමල යෝධයා සුවද ද්‍රව්‍ය මිලදී ගෙන ඇත්තේද අනුරාධපුරයේ වෙළඳසැලකිනි. ඔවුන් මිලදී ගත් භාණ්ඩවලින් කලය ලංකාවේ නිෂ්පාදනයක් වූ අතර සුවද ද්‍රව්‍ය විදේශයෙන් ආනයනය කරන ලද වෙළඳ භාණ්ඩයක් වන්නට ඇත. මහාවංශයේ දැක්වෙන මෙම පුවත් දෙකට අනූව එකල වෙළඳ භාණ්ඩ පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකිය.
අභ්‍යන්තර වෙළඳාම සඳහා රජුගේ පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. ඒ සඳහා නිළධාරින් පවා පත් කර තිබූ බවට තොරතුරු ලැබේ. වෙළඳ නිළධාරීන්ගේ ප්‍රධාන නිළධාරියා සෙට්ඨි යනුවෙන් හඳුන්වා ඇත. එය රජයේ ඉහළම තනතුරක් වූ අතර ඔහු විසින් වෙළඳාම පිළිබඳ කටයුතු හා රජයට අය විය යුතු බදු මුදල් ආදිය පිළිබඳ සියලු කටයුතු සොයා බලා ඇත. අශෝක අධිරාජයා වෙත දෙවනපෑතිස් රජු යැවූ දූත කණ්ඩායමේ සිටි ගණක නම් වෙළඳ ශේණි ප්‍රධානියාට අශෝක රජු සෙට්ඨි යන උපාධිය පිරිනැමූ බව මහවංශයේ දැක්වේ. මේ අනූව වෙළඳ නිළධාරීන්ට පවා සුවිශේෂිත්වයක් හිමිව තිබූ බව පෙනේ. රජය හා වෙළඳාම අතර මනා බැඳියාවක් ඇති කිරීමට මෙම නිළධාරින් මහගු සේවාවක් සිදුකර ඇත. නිළධාරීන් පත් කිරීම තුළින් ක්‍රමානූකූල ව්‍යුහයක් තුළ අභ්‍යන්තර වෙළඳාම සිදු කිරීමට එකල පාලකයන් බලාපොරොත්තු වන්නට ඇත.
වෙළඳසල්වල වෙළඳාම් කළ අතරම ප්‍රදේශයෙන් ප්‍රදේශයට රැගෙන ගොස් වෙළඳාම් කිරීමද එකල පැවතුනි. එසේ රැගෙන යෑම සඳහා භාවිතා කරන ලද තොටුපලවල් පටුන්ගම් ලෙස හඳුන්වා ඇත. බදුලු ටැම් ලිපියේ එවැනි පටුන්ගම් රාශියක් මහවැලි ගග අසබඩ පිහිටා තිබූ බව දක්වයි. දේශීය වෙළෙන්දන් මෙන්ම විදේශිය වෙළෙන්දන්ද රට අභ්‍යන්තරයේ වෙළඳාමට සම්බන්ධ වී ඇත. ඔවුන් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස් වෙළදාමේ යෙදී ඇත. එසේ දේශිය වෙළෙන්දන් කුරුඳු, ගම්මිරිස්, එනසාල් වැනි කුලුබඩුද හාල් වැනි දේද වෙළඳාම් කර ඇත. විදේශීය වෙළඳුන් පිගන් බඩු, සුවඳ විලවුන් ආදි දෑ වෙළඳාම් කර තිබේ. මුල් කාලයේ වෙළඳාමේදි මුදල් ලෙස සිප්පිකටු, දුංකල, පිගන් ගඩොල් කැබලි, සත්ව ඇට කටු ආදිය භාවිත කර ඇත, මුදල් ලෙස මෙම ද්‍රව්‍ය හුවමාරු කරගනිමින් නිසි ලෙස ඔවුන් වෙළඳාම සිදු කර තිබේ. මෙසේ වෙළඳාම් කිරීමේදීද වෙළෙන්දන්ට අවශ්‍ය ලෙස එය සිදු කළ නොහැකි විය. රජයේ සම්මත නීති රීති පද්ධතියට අනූව වෙළඳාම් කිරීමට සිදුවිය. එම නීති රෙගුලාසි ගොඩවාය බදුලු ආදි වෙළඳකටයුතු සම්බන්ධ සෙල්ලිපිවල දැක්වේ.
ක්‍රිඃව යුගය වන විට ලංකාවේ භාවිතා වී ඇත්තේ කහවණුය. රජවරුන් විසින් විශාල වශයෙන් සිදු කළ කහවණු පරිත්‍යාගයන් පිළිබඳව සෙල්ලිපිවල තොරතුරු සඳහන් වේ. පාලුමැකිච්චාව, මිහින්තලේ, විලේවැව, වේරගල ආදි සෙල්ලිපිවල කහවණු පිළිබඳසටහන් වී ඇත. මෙම තොරතුරුවලට අනූව තත් යුගයේ දියුණු වෙළදාමක් තිබූ බවට සාක්‍ෂ්‍ය ලැබේ. ජනතාව කහවණු භාවිතා කරනුයේ ආරර්ථික වශයෙන් රට සමෘද්ධිමත් වූ විට පමණි. කහවණු මගින් වෙළඳාම සිදු කිරීමට තරම් දියුණු තත්වයක් එකල පැවති බව මේ අනූව සිතිය හැක.
විදේශීය වෙළඳාම.
අභ්‍යන්තර වෙලඳාම මෙන්ම විදේශීය වෙළඳාමද ලංකාව තුළ අතිශයින් ජනප්‍රියව පැවතී ඇත. සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍රවලට අනූව ලංකාව ආසියාවේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් විය. සමහර සෙල්ලිපිවල සමුද යන්නෙන් වෙළෙන්දන් හඳුන්වා ඇත. එසේ හඳුන්වා ඇත්තේ මුහුද හා සම්බන්දව වෙලඳාාමේ යෙදුනු වෙළෙන්දන්ය. සාහිත්‍ය මූලාශ්‍රවල දැක්වෙන පරිදි විදේශීය වෙළෙඳුන් නිසා මෙරටට ඇති වූ බලපෑම්ද බොහෝමයකි. සූරතිස්ස රජුගෙන් රාජ්‍ය පැහැර ගනු ලබන්නේද අස් වෙළෙන්දකුගේ පුතුන් වූ සේන හා ගුත්තික විසිනි. පස්වන මිහිඳු රජුගේ කාලයේ මෙරට පැති දේශපාලන ව්‍යාකූල භාවය රාජ රාජ චෝළ රජුට පවසා ආක්‍රමණයක් දියත් කිරීමට තොරතුරු සපයා ඇත්තේද එරටින් පැමිණි වෙලෙන්දෙකි. (1153-1186) බුරුම රජු මෙරටින් ගිය වෙළඳුන්ට අවහිරකම් කිරීම නිසා පළමු පරාක්‍රමබාහු රජු බුරුමය ආක්‍රමණය කර ඇත. විදේශීය වෙළෙඳුන් නිසා ඇති වූ මෙවැනි සිදුවීම් රාශියක් වංශ කතාවල දක්නට ලැබේ.
චීනය ආදි ප්‍රධාන වෙළඳ රටවල්වලින් විවිධ වෙළඳ ද්‍රව්‍ය මෙරටට ගෙනැවිත් ඇත. ඒ අතර සේද, අගිල්, සඳුන්, කරාබුනැටි ආදිය ප්‍රධාන තැනක් ගනී. එම ද්‍රව්‍ය නැවත බොම්බාය, පර්සියාව, අරාබිය හා ඇඩ්‍යුල් ආදි ප්‍රදේශවලට බෙදා හැරීම සිදු කර ඇත්තේ ලංකාවේ සිට බව කොස්මාස්ගේ කෘතිවල සඳහන් වේ. මේ සඳහා ලංකාවේ වෙළඳ නැව් මෙන්ම පර්සියාව, ඇබිනිසියාව වැනි රටවල්වලින් විශාල නැවි යොදාගෙන ඇත. ෆාහියන්ගේ දේශාටන වාර්තාවට අනූව අනුරාධපුරයේ බොහෝ සිටුවරුන් හා අරාබි වෙළන්ඳන් ජීවත් වී ඇත. ඔවුන් වෙළඳාම සඳහා මෙරටට පැමිණි පුද්ගලයන්ය. මාෂියන් නැමැති රෝම යාත්‍රිකයා තප්‍රොබේන්වල වෙළඳ මධ්‍යස්ථාන විසි දෙකක් තිබූ බව සඳහන් කරයි. මේ අනූව ලංකාව ලොව වටා භාණ්ඩ බෙදා හරින විදේශීය වෙළෙන්ඳන් නිතර ගැවසුණු ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පෙනේ.
ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පැවති වරායවල් විදේශීය වෙළඳාමේදි වැදගත් තැනක් ගනී. මුල් කාලයේ ලක්දිව ප්‍රධාන වරාය ලෙස සලකා ඇත්තේ මහාතිත්ථයයි. ඊට අමතරව ගෝකණ්ණයද ප්‍රධාන තැනක් ගෙන ඇත. දකුණූ ඉන්දියාවේ නාගපට්ටනය හා මහාතිත්ථය අතරත් ගෝකණ්ණය හා කාලිංග රටේ නැව් තොට අතරත් ප්‍රධාන වෙළඳ මාර්ග පිහිටා තිබී ඇත. මෙම වරායන් සේම ඌරාතොට, දඹකොළ පටුන, තිරියාය, දෙවිනුවර, ගොඩවාය යන වරායන්ද විදේශීය වෙළඳාම සඳහා යොදාගෙන ඇත.ඒවා සමීපයෙහි පිහිටවා ඇති සෙල්ලිපි මගින් විදේශීය වෙළඳාම පිළිබඳව සත්‍ය තොරතුරු රාශීයක් ලබාගත හැක.
විදේශය සමග කරන ලද වෙළඳාමේදි හුවමාරු කරන ලද භාණ්ඩ පිළිබඳව සාකච්ඡා කිරීමේදි මෙරටින් මුතු, මැණික්, කුලුබඩු, ඇත්දත් හා ඇතුන් ප්‍රධාන භාණ්ඩ ලෙස අපනයනය කර ඇත. ලංකාව මුතු මැණික් හා ඇතුන් සම්බන්ධයෙන් ලොව පුරා කීර්තියට පත්ව ඇත. මෙගස්තිනීස් දක්වන පරිදි එකල ලංකාවෙන් විශාල මුතු මෙන්ම රත්තරන්ද හමු වී ඇත. ග්‍රීසියේ විසු ටොලමි පවසන පරිදි ලංකාවේ වී, මී පැණි, ඉගුරු, ගෝමේද හා වෙනත් මැණික් වර්ගද රත්තරන් රිදී හා වෙනත් ලෝහ වර්ගද බහුලව තිබුනි. ඒවා විදේශ රටවලට වෙළඳාම් කර විශාල ආදායමක් ලබාගෙන තිබේ. ලංකාවේ නිෂ්පාදනය කළ පටසාරි පිළිබඳව සඳහනක් කාශ්මීරයේ රාජතරංගණි නම් ග්‍රන්ථයේ සඳහන් වේ. එයට අනූව එහි සිටි උසස් පවුල්වල කාන්තාවන් ලංකාවේ පටසාරි ඇඳීමට වැඩි කැමත්තක් දැක්වා තිබේ. ලංකාවේ වෙළඳ භාණ්ඩ මෙන්ම විදේශයෙන්ද මෙරටට නොයෙක් භාණ්ඩ වෙළඳාම් කර ඇත. ඒ අතර රන්, රිදී, තඔ හා අශ්වයන් ප්‍රධාන තැනක් ගෙන ඇත. සමහර විට ඒවා මෙරට භාණ්ඩ සමග හුවමාරු කරන්නට හෝ මුදල්වලට විකිණීම සිදු කරන්නට ඇත. විදේශවලින් පැමිණෙන වෙළෙන්ඳන් ගැන සොයා බැලීමට වෙනම රාජ්‍ය නිළධාරින් පත්කර සිටි බවට තොරතුරුද ලැබේ. ශිලා ලේඛනවල මහාපුටු ලද්දන් ලෙස හඳුන්වා ඇත්තේ මෙම නිළධාරින්ය. මොවුන් විසින් වෙළෙන්ඳන්ගෙන් බදු අය කරගැනීමද සිදුකර ඇත. එසේ විදේශීය වෙළෙන්දන්ගෙන් රජයට තීරු බදු වශයෙන් විශාල ආදායමක් හිමි විය. ඒ බව පළමු පරාක්‍රබාහු රජුගේ නයිනතිව් දෙමළ ලිපියෙන්ද, ගජබා රජුගේ ගොඩවාය ලිපියෙන්ද, ලීලාවති රැජිනගේ පුලියන්කුලම පුවරු ලිපියෙන්ද සනාථ වේ. කෙසේ වුවද විදේශීය වෙළඳාමද අභ්‍යන්තර වෙළඳාම මෙන්ම ඉතා දියුණු තත්වයක පැවති බව මෙම තොරතුරුවලට අනූව සිතිය හැක.
ඉහත තොරතුරුවලට අනූව ලංකාවේ වෙළඳාම ඉතා දියුණු තත්වයක පැවතී ඇත. එය අභ්‍යන්තර හා විදේශිය යන දෙයංශයෙන්ම සිදුව ඇති අතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායක්ද විය. රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වූ වෙළඳාමට රජුගේ සහයද හිමිව තිබේ. එම නිසා එය ශ්‍රීඝයෙන් රටපුරා මෙන්ම විදේශයන්හිද ව්‍යාප්ත වී ඇත. කාසි හා භාණ්ඩවලට භාණ්ඩද වෙළඳාම තුළදී හුවමාරු වී ඇත. එය රට සමෘද්ධිමත් කිරීමට මහගු පිටුවහලක් වී තිබේ. වෙළඳාමෙන් රජ්‍යට සැලකිය යුතු ආදායමක් ලැබී ඇති අතර බදු ලෙස ඒවා රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිනි. විදේශිය වෙළෙන්ඳන්ගෙන් මෙරටට හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද එල්ල වී ඇත. ඒ අතර ආක්‍රමණ ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම සංස්කාතික සමාජීය ආගමික අංශවල වෙනස්වීමක්ද විදේශීය වෙළෙන්ඳන් නිසා සිදුව ඇත. මෙවැනි සුවිශේෂි ලක්‍ෂණ රාශියක් ලාංකීය වෙළඳාම තුල දැකිය හැක.

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...