Wednesday, February 13, 2019


හරප්පා සභ්‍යත්ව ආර්ථිකයේ පදනම 
(අභ්‍යන්තර හා බාහිර වෙළඳාම)



ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලෝකයේ පැරණි ශීෂ්ටාචාරයන්ගෙන් එකකි. එහි දියුණූම අවස්ථාව වන්නේ හරප්පා සභ්‍යත්වයයි. හරප්පාවේ පැවති වෙළදාම පිළිබදව සාකච්ඡා කිරීම මෙහි අරමුණයි. එහිදි හරප්පවේ පැවති බාහිර හා අභ්‍යන්තර වෙළදාමත්, වෙළදාම සිදු කළ රටවල්, වෙළද භාණ්ඩ, වෙළද ප්‍රවාහය ආදි කරුණු පිළිබදව සාකච්ඡා කෙරේ. එමෙන්ම වෙළදාම පිළිබදව හෙළී වන මූද්‍රා ගැන වැඩි අවධානයක් යොමු කර ඇත. මෙසේ දියුණුව පැවති වෙළදාම හරප්පා ආර්ථිකය කෙරෙහි කෙසේ බලපෑවේද යන්න අනතුරුව විමසා බැලේ. මේ ආකාරයෙන් හරප්පාව තුළ පැවති වෙළදාම පිළිබදව යම් ඓතිහාසික ගවේෂණයක් කිරීම මෙහි අරමුණයි.

ඉන්දු නිම්නය ආශ්‍රය කරගනිමින් ගොඩනැගුණු පැරණි ශිෂ්ටාචාරයකි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. එය වර්තමාන පකිස්ථානයේ සින්ද් ප්‍රදේශයේ සිට බටහිර බලාචිස්ටන් පළාතටත්, ඊසාන දිගින් සහ බටහිරින් ඉන්දියාවටද මායිම්ව පිහිටා ඇත. මෙහි නෂ්ටාවශේෂ වර්තමාන ඇෆ්ගනිස්ථානයේ හා ඉරානයේ දක්නට ඇත. මෙම ශිෂ්ටාචාරයේ පරිනත කොටස හරප්පා සභ්‍යත්වයයි. ඉන්දු නිම්නයේ සුළමුල සොයා 1900 දී පමණ කැණීම් කටයුතු ආරම්භ කරන ලදි. එයින් වැදගත් තොරතුරු රාශියක් සොයාගෙන ඇත. සමහර සාහිත්‍ය මූලාශ්‍රවල ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සරස්වතී ශිෂ්ටාචාරය,හක්රා ශිෂ්ටාචාරය යනුවෙන්ද හදුන්වා ඇත.එයට හේතුව සෘග්වේදය වැනි වේද ග්‍රන්ථවල නයිල් නදිය සරස්වතී නදිය ලෙස හදුන්වා තිබීමයි. ඊට අමතරව ඒවායෙහිද මෙම ශිෂ්ටාචාරය පිළිබදව බොහෝ තොරතුරු ඇතුළත් වේ.දැනට සොයාගෙන ඇති කරුණු අනුව, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අදින් වසර 5700ක්‌ පමණ කාලයකට පෙර ආරම්භ වී ඇත.එමෙන්ම අදින් වසර 3300කට පමණ මෙහි විනාශයද සිදු විය. [1]මේ අනූව ක්‍රි.3700-1300 අතර කාලය තුළ මෙම ශිෂ්ටාචාරය පැවති ඇත.

             ඉන්දු ගංගා නිම්නය ආශි‍්‍රතව පැවති ශ්‍රේෂ්ඨ නගර දෙකක තොරතුරු පුරා විද්‍යා සාක්ෂි මගින් හමුවී තිබේ. එම නගර නම් මොහෙන්ජෝදාරෝ සහ හරප්පා යන නගරයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩ නැගුණේද මොහෙන්ජොදාරෝ සහ හරප්පා  නගර ආශ‍්‍රිතවයි. මෙම එක් නගරයක පමණක් ජනගහනය 40,000 ක් වූ බව සඳහන් ය.  එහි මැටි ගඩොලින් ඉදි කරන ලද ගොඩනැගිලි දැකිය හැක.ක්‍රමානුකූලව සැකසූ මං මාවත්ද වේ. මාර්ග කෙළවරවල් එක් තැනකදී හමු වීම නිසා නගරයට සමචතුරාශ්‍රාකාර හැඩයක් ලැබී ඇත. මෙම නගරවල නිවාස වර්ග දෙකක් දැකිය හැකිය. එයින් නිරූපණය වන්නේ කුල පංති දෙකක ජනතාව එහි වාසය කළ බවයි.සමහර නිවාස ඉතා විශාලය.ඒවා මනා නිමාවකින් යුක්තව සකසා ඇත. පිරිසිදුකම අතින් මෙම නිවාසවලට සමාන කළ හැකි වෙනත් නිවාස පැරණි ශිෂ්ටාචාර කිසිවක නොවීය. මේ නිවාස ධනවත් වෙළඳුන්ට හා ප්‍රභූන්ට අයත්ව තිබෙන්නට ඇත. අනෙක් නිවාස වර්ගය මුඩුක්කු මෙනි. ඒවා වෙළඳසල් සහ වෙනත් රැකියා ස්ථානවලට යාබදව එකගොඬේ ඉදිකර තිබේ. මේ නිවාස අඳගොවීන්ට සහ අත්කම් නිර්මාණකරුවන්ගේ විය හැකියැයි අනුමාන කෙරේ. මෙම නගර දෙකේම දියුණු ශිෂ්ටාචාරයක ලක්ෂණ දැකිය හැකිය. සංවිධානගත නගර සැලසුම්,උසස් සංස්කෘතිය හා දියුණු කලා නිර්මාණ ඒ අතර ප්‍රධාන වේ.

ඉතිහාසඥයන් විසින් හරප්පා ශිෂ්ටාචාරයේ අවධි හතරක්‌ එහි සංස්‌කෘතික මට්‌ටම් අනුව නම් කර තිබේ.
       I.            මූල රවි අවධියයි. (Early Ravi phase)  5700-4800 තෙක්‌ පැවැති අවධියයි.
     II.            අතරමැදි කොට්‌ ඩිජි (Transitional Kot Diji phase) 4800-4600 තෙක්‌ පමණ පැවැති අවධියයි.
  III.            දියුණු අවධිය (Mature phase) 4600-3900 තෙක්‌ පැවැතිණි.
  IV.            පශ්චාත් පිරිහීම් අවධිය (Late declining phase) 3900-3300 දක්‌වා පමණ පැවැති කාලවකවානුවයි. [2]

මේ කාලවකවානු සියල්ල තීරණය කර ඇත්තේ මේ දක්‌වා සිදු කර ඇති අධ්‍යයනවලින් අනාවරණය කරගත් විකිරණශීලී කාබන් කාලනිර්ණය අනුව ය.

හරප්පාවෙන් ලැබී ඇති තොරතුරුවලට අනූව ජනාවාසකරණයේ මුල් අවධියක් පිළිබදව දැනගත හැකිය. එයින් ලැබී ඇති දත්තවල කාලනිර්ණය හරහා මෙම නිගමනයට එළඹී ඇත. ඒ අනූව වසර 8350කට එපිට මෙම ශිෂ්ටාචාරය පැවති බවට සාධක ලැබේ.මේ මගින් මූලික අවධියේ එඩෙර හා ගම් මට්‌ටමේ කාෂිකාර්මික සමාජයක්‌ පැවැති බවපැහැදිලි වේ. එම අවධිය පූර්ව-හරප්පානු හක්‌රා අවධිය (pre-Harappan Hakra phase) ලෙස හඳුන්වනු ලබයි. [3]එය මුල් හරප්පා අවදියටද පෙර පැවතියකි.ඒ නිසා හරප්පා සභ්‍යත්වයේ පැරණිම අවධිය ලෙස මෙය සැළකීමට පුළුවන. මෙම අවධිය ක්‍රි.පූ 9500-8000 අතර කාලයට ඇතුළත් වේ.මේ අනූව පූර්ව හරප්පානු ජනතාව  ඉන්දු නිම්නයේ ආදිතමයන් ලෙස හැදින්වීමට හැකිය. මෙම කාලයේදි මෝසම් වැස්ස ඉතා ප්‍රබලව පැවති බවට සතුන්ගේ අස්ථි හා දත්වල ඔක්සිජන් සමස්ථානික විශ්ලේෂණයෙන් අණාවරණය වී ඇත.

තඹ සහ ලෝකඩ භාවිතයෙහි ප්‍රබලව පැවතුනද, යකඩ පිළිබඳව කිසිවක් දැන සිට නොමැත. "වස්ත්‍ර සඳහා කපු කටින ලද බවත් සායම් පොවන ලද බවත්, තිරිඟු, සහළ්, හා විවිධ වර්ගයන්ට අයත්වූ එළවුළු හා පළතුරු වගා කළ බවත්,  මොල්ලි සහිත වෘෂභයන් හා වෙනත් බොහෝ සිව්පාවුන් හීලෑකරන ලද බවත්, සක පෝරුව මත තැනූ මැටි භාණ්ඩ තිබූ බවත් සාහිත්‍යය මූලාශ්‍රවල දැක්වේ. මෙම භාණ්ඩ සත්ත්ව හා ජ්‍යාමිතික හැඩ මෝස්තර රටා වලින් හැඩගැන්වා ඇත.මෙම භාණ්ඩ ප්‍රධාන ඉන්දු නිම්න වැඩබිම් හිදී අති බහුල ලෙස සොයා ගෙන ඇත.දත්තයන් මගින් අනාවරණය කරගන්නා ලද සංස්කෘතික ඒකාග්‍රතාවය හේතුපාදක කොට ගෙන මධ්‍යගත පරිපාලනයක් පැවැති බවට අනුමාන කළ හැකිය.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඉතා සුවිශේෂි කාල පරාසයක් ලෙස ඉහත දක්වන ලද හරප්පා අවධිය සදහන් කළ හැකිය. මෙම කාලය තුළ විවිධ අංශවල සිදු වූ දියුණුව අනිකුත් පාලන සමයන්ට සාපේක්ෂව ඉහළ අගයක් ගනී. අක්ෂර කලාව, කලා ශිල්පය, ආර්ථිකය, ගෘහ නිර්මාණ ශිල්පය, ආගම හා දර්ශනය යන ක්ෂෙත්‍ර තුළ සාධනීය වර්ධනයක් සිදු වී තිබේ. එම වර්ධනයන්  අතරින් වෙළද අංශය පිළිබදව පහත පරිදි විමසා බැලීම වටී.

වෙළදාම.
·        හරප්පාවෙහි වෙළදාම තහවුරු කරන සාධක.
හරප්පා සභ්‍යත්වය තුළ පැවති වෙළදාම පිළිබදව කරුණු දැක්වීමේදි පහත පරිදි දැක්විය හැකිය.

a)     ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ප්‍රධාන වශයෙන් අතිරික්ත කෘෂිකාර්මික නිෂ්පාදනය හා වෙළහෙළඳාම විසින් පණ පෙවුනු නාගරික සංස්කෘතියකින් සමන්විත විය. (බොහෝ අතින් සමාකාර සැලසුම් ප්‍රකාරව මොහෙන්ජො-දාරෝ හා හරප්පා නගර ද්වයම ගොඩනගා ඇත. මනාව-ඇසිරූ මාවත්, වෙන්කොට නිර්මිත වාසස්ථාන, පැතලි-පියසි සහිත ගඩොල් නිවාස, හා කොටුබැම්මෙන් සුරැකුණු පරිපාලන හෝ ආගමික මධ්‍යස්ථානවලින් පරිපූර්න විය. මෙම නගර සැළසුම් දෙස බැලූ විට පෙනී යන්නේ විශේෂයෙන්ම වාණිජත්වය පදනම් කරගෙනම සකස් කරන ලද නගර සැළසුමක් බවයි.)

b)     හරප්පාව දකුණු මෙසපොටේමියාවේ සුමර් හා වෙනත් ශිෂ්ටාචාර සමගද වෙළඳාම සිදු කොට තිබේ. (මෙය හරප්පා වෙළදාමේ දියුණු අංශයන් පෙන්නුම් කරයි)


c)     කිරුම් පඩි හා මිනුම් ක්‍රම මුළු පෙදෙස පුරාම සම්මත කෘත කොට තිබූ අතර දේපල මෙන්ම නැව්ගත කෙරෙන භාණ්ඩ තොග හඳුනා ගැනීම සඳහාද විශේෂිත මුද්‍රා භාවිත කොට ඇත.(එකල පැවති මූද්‍රා මගින්ද වෙළදාම පිළිබදම යම් අවබෝධයක් ලබාගත හැකිය)[4]
ඉහත දක්වන ලද සාධක ඇසුරෙන් හරප්පාවේ පැවති වෙලදාම පිළිබදව පිළිබදව සාකච්ඣා කළ හැකිය.

·        වෙළදාමෙහි ස්වභාවය
අද මෙන්ම වෙළදාම රටක මූලිකආර්ථිකය සමග අතීතයේද බැදී තිබෙන්නට ඇත..එය අඩු වැඩි වුවද මෙම ස්වභාවයෙන් කිසිදු ශිෂ්ටාචාරයක් ගැලවී සිටි බව කිව නොහැකිය.වාණිජ සබදතා කිසියම් රටක පාලනයේ වෙනස් කිරීමක් දක්වා ගමන් කළ හැකි බව නූතන ඉතිහාසයෙන් පෙනේ.ඒ අනූව ඉන්දු නිම්නයේ ආර්ථිකයද මූලිකවම වෙලදාම මත රැදී පැවතුණි.ඉන්දුනිම්න ශිෂ්ටාචාරයේ වැසියන් සමකාලීන ශිෂ්ටාචාර සමග විශේෂයෙන් වාණිජ සබදතා පවත්වා ඇති අතර වාණිජ සබදතාව මගින්ම එක් එක් ශිෂ්ටාචාර පිළිබද බැදීම්,ආකල්ප,කලාව,භාෂාව,සංස්කෘතිය ඇති වූවා විය හැකිය. මුළුමනින්ම තම අවශ්‍යතා සපුරා ගැනීමට කිසිදු රටකට ශිෂ්ටාචාරයකට ඉඩක් පවතීයැයි සිතිය නොහැකිය.අතීතයේ මෙම බලපෑම අද තරම් නොවූවද යම් මට්ටමක පවතින්නට ඇත. අවශ්‍යතා සීමා සහිත නිසා එහි බලපෑම අඩුවන්නට ඇත.නමුත් ඉතා  බාහිර බලපෑම් මුළුමනින්ම නොමැති සංස්කෘතියක් ශිෂ්ටාචාරයක්  ලෝකයේ දැකගත නොහැකිය.

·        බාහිර වෙළදාම.
සමකාලීන ශිෂ්ටාචාර සමග පැවැත්වූ සබදතා පිළිබදව ප්‍රධාන වශයෙන් දැනට සාධක ලැබී ඇත්තේ මුද්‍රා මගිනි.කිසියම් දිනක මෙම ශිෂ්ටාචායේ අක්ෂර මාලාව වටහා ගැනීමට හැකි වුවහොත් වඩාත් නිරවදය සවිස්තරාත්මක තොරතුරු මෙන්ම අනෙක් ශිෂ්ටාචාර සමග පැවැත්වූ සබදතා පිළිබදවද නිසි අවබෝධයක් ලබාගත හැකිය. විශේෂයෙන්ම ඉන්දු නිම්නයේ මූද්‍රා සමචතුරක්ෂාකාර වූ අතර හැම එකකම පාහේ සත්ව රූපයක්ද දක්නට ලැබේ. එහි ඉන්දු නිම්න අක්ෂරද දැකගත හැකිය. මේ මූද්‍රා විශාල වශයෙන් ලැබී ඇත්තේ බැබිලෝනියාවෙනි. ඉන්දු නිම්නයේ වාණිජ කටයුතු සිදු වී ඇත්තේ විශේෂයෙන්ම සින්දු ගංගාවේ මුවදොර පිහිටි ලෝතාල් නෞකා තටාංගනයෙනි. ලෝතාල් ඉන්දු නිම්නයේ භාණ්ඩ අපනයනය හා ආනයනය කළ ප්‍රධාන වරාය විය.මුහුදු මගින් මෙන්ම ගොඩබිමින්ද භාණ්ඩ බැබිලෝනියාවට යවා ඇත. බැබිලෝනියෙන් හමු වූ මූද්‍රා එම ශිෂ්ටාචාරයට අයත් නොවූ නිසා ඒවා නිසැකවම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වේයැයි සිතිය හැක..හමු වී ඇති මූද්‍රා ශිෂ්ටාචාර දෙකෙහි ඓතිහාසික සබදතා පැහැදිලි කරගැනීමට වටිනා සාධක වේ. මෙසපොටේමියාවේ සූසා නගරයෙන්ද විශාල වශයෙන් මූද්‍රා හමු වී තිබේ. ඌර් නම් ප්‍රදේශයෙන් හමු වී ඇති මූද්‍රාවල මොල්ලිය සහිත ගොනා, ඇතා, ගෝනුස්සා, මාළුවා, කගවේනා, පියාඹන කිඹුලාගේ මූද්‍රාදක්නට තිබේ. මේවා බැබිලෝනියාවට ලැබෙන්නට ඇත්තේ ඉන්දු නිම්නයෙන් විය හැකිය. බැබිලෝනියට විශාල වශයෙන් ඉන්දු නිම්නයෙන් භාණ්ඩ අපනයනය කළද ඉන්දු නිම්නයට භාණ්ඩ ආනයනය කර ඇත්තේ අල්ප වශයෙනි. ඉන්දු නිම්න වරායවලින් මෙසපොටේමියාවේ මූද්‍රා සුළු වශයෙන් හමු වීමෙන් එය තහවුරු කරගත හැකිය.මේ අනූව  සිතිය හැක්කේ අපනයනයට වඩා ආනයනය අඩු ප්‍රමාණයක පැවති බවයි. බැබිලෝනිය සමග පැවැත්වූ වෙළද සබදතා සාහිතය මූලාශ්‍රවලින්ද තහවරු වී ඇත. විශේෂයෙන්ම සාගන් යුගයේ ඌර් තොටුපොල හරහා පැවති වාණිජ සබදතා පිළිබදව සදහන් වී තිබේ. මේලුන නම් ස්ථානයක සිට කළුවර ලී, ඇත්දත්, ඇත්දත්වලින් නිපදවූ භාණ්ඩ, විවිධ පබළු වර්ග නෞකා මගින් ගෙන ආ බව සාහිත්‍යය මූලාශ්‍රයක දැක්වේ. ඉතිහාසඥයින් මේලුන යනුවෙන් සදහන් වන්නේ ඉන්දු නිම්නය බව පිළිගනු ලබයි.

ඉන්දු නිමින ශිෂ්ටාචාරයේ ආර්ථිකය වෙ‍ළෙඳාම මත සැලකිය යුතු ලෙස රදා පැවතුණු අතර ප්‍රවාහන තාක්ෂණයේ පැවති විශාල දියුණුව මෙයට උපකාරි විය. ඉන්දු නිම්නයේ අරුමයක් වශයෙන් සැළකෙන ගොන් බැදි කරත්ත නෞකා රූ සටහන් මූද්‍රාවල දැක්වේ මෙම ප්‍රවාහන මාධ්‍ය අතර වර්තමානයේ පවා දකුණු ආසි‍යාවේ දක්නට ලැබෙන ගවයන් බැඳි කරත්ත හා බෝට්ටුද ඇත. මෙම බෝට්ටු වලින් බොහොමයක් අද ද ඉන්දු නදියේ ගමන් කරනා කුඩා, පැතලි පතුලක් සහිත රුවලක් මඟින් ගමන් කළ ඒවා විය හැකි බවට විශ්වාස කෙරේ. ඒ අතර විශාල මුහුදු යාත්‍රා ද පැවති බවට සාක්ෂි ලැබී තිබේ. පුරා විද්‍යාඥයින් විසින් බටහිර ඉන්දියාවේ (ගුජරාට් ප්‍රාන්තය) ‍වෙරළබඩ නගරයක් වන ලෝතාල් හි විශාල මඩ ඉවත් කරන ලද ඇල මාර්ගයක් සොයාගෙන ඇති අතර එය නැව් තටාංගනයක් ලෙස විශ්වාස කෙරේ.එමෙන්ම එච්. පී. ෆ්‍රැන්ක්ෆර්ට් විසින් වාරිමාර්ග ජාලයක් ලෙස හරප්පාවේ භාවිතා වු ඇල මාර්ග රාශියක්ද සොයාගෙන තිබේ.[5]

ක්‍රි.පූ 1950 පමණ බැබිලෝනයේ තිබූ ප්‍රධාන වරාය වූයේ ඌර්ය. ඌර්වලින් ලැබී ඇති මැටි පුවරු විශාල පුමානයකි. පර්සියානු බොක්කේ බහරේන් දූපතේ සිට නාවිකයෝ නින්ගාල් දෙව්දුවට පූජාවක් පැවැත්වූ බවට එම මැටි පුවරු ආශුයෙන් නිගමනය කරනු ලබයි. රන්, රිදී, තඹ, ආභරණ, මරකත මැණික්. පාෂාණමය පබළු, ඇත්දත්, පනා. ආභරණ වර්ග, දැව වර්ග, නයනාලේප, මුතු ඒවායෙහි සදහන් වන්නේ වෙළද ද්‍රව්‍ය වශයෙනි. ක්‍රි.පූ 2350 වසරේදි සදහන් වී ඇති සටහනක දැක්වෙන්නේ අක්කඩ්හි සාර්ගන් කාලයේදි මේලූන්නා මක්කාන් හා වෙල් මූන් අතර නෞකා ගමනය පැවති බවයි. ටෙල්මුන් නගරය එකල වැදගත්කොට සළකනු ලැබුයේ භාණ්ඩ හුවමාරු වූ වෙළද මධ්‍යස්තානයකට වඩා නෞකාවලට ආහාර පාන ලබා ගැනීමට යොදාගත් ස්ථානයක් ලෙසයි. මෝටිමලවීලර් පෙන්වා දෙන පරිදි ලර්සා රාජවංශය ක්‍රි.පූ 1700 දී පමණ අභාවයට ගිය පසුව ටෙල්මූන් නගරය හරහා පැවති වාණිජ සබදතා බිදි වැටී තිබේ. ඔහු පෙන්වා දෙන්නේ ඇත්දත් කර්මාන්තය ඉන්දීය ශිෂ්ටාචාරයේ සලකුණක් බවයි. නගරය විනාශ වී යෑමේදි එක් වැසියකු මරා දමා ඇත්තේ ඇත් දලයක් ඔසවාගෙන යමින් සිටියදීය. මේ අනූව ඇත්දත් වෙළදාමද බහුලව සිදු වන්නට ඇති බව සිතිය හැකිය. ඉන්දු නිම්නයේ වෙළදුන් බැබිලෝනියේ පදිංචිව සිට ඇත. ඔවුන්ගේ ප්‍රධාන වෙළද ද්‍රව්‍ය අතර කපු විශේෂ තැනක් ගෙන තිබේ. ඒ හැර ඉන්දු ගංගාවේ මුවදොරින් මුහුදට පිවිසෙන නාවික යාත්‍රා සහාය කරගෙන බැබිලෝනියාවට පමණක් නොව ඊජිප්තුව සමගද වෙලදාම් කල බව ඉතිහාසඥයන් විශ්වාස කරයි. ඊජිප්තුව හා ඉන්දු නිම්නය අතර පැවති සබදතා වෙළද කටයුතුවලින් වඩාත් තහවුරු වන්නට ඇත. එම දෙරටින්ම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මූද්‍රා හමු වී තිබීමෙන් එය වඩාත් පැහැදිලි වේ.

බැබිලෝනියන් ශිෂ්ටාචාරය හා නයිල් ශිෂ්ටාචාරය හා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයද වෙන් වෙන් වශයෙන් පැවතුනු අතර එක් එක් ශිෂ්ටාචාර වර්ධන වීමත් සමග මෙම ශිෂ්ටාචාර අතර වෙළද සම්බන්ධතාද වර්ධනය වූ බව සිතිය හැකිය. මුහුදු මගින් පමණක් නොව තවලම් මගින්ද වෙළද කටයුතු නොකඩවා කරගෙන ගොස් තිබේ. බලුකිස්ථානයේ ග්‍රාමීය වැසියන් අතරද ඉන්දු නිම්න වැසියන් වෙළද සබදතා සිදුකරගෙන ගොස් ඇත. අරාබි මුහුදට ආසන්න සුක්තගෙන් දෝර් කාතියාවාර් හා ලෝතාල් වැනි ස්ථාන වෙළද මධ්‍යස්ථාන වශයෙන් තිබෙන්නට ඇති බව පෙනේ. පර්සියානු බොක්කේ බහරේන්වලින්ද ගංගා නිම්නයේ මූද්‍රා හමු වී තිබේ. ඉන්දු නිම්නය බාහිර ලෝකය සමග වාණිජ සබදතා පවත්වා තිබෙන්නේ ලෝතාල් හරහා යැයි විශ්වාස කෙරේ. වර්තමානයේ මුහුද ගොඩවීම නිසා ලෝතාල් රට අභයන්තරයේ පිහිටා ඇත. මෙම තටාකාංගනයේ දිග මීටර් 215ක්ද පළල මීටර් 26ක්ද ගැඹුර මීටර් 4ක්ද වේ. තටාකයේ අභ්‍යන්තර පැත්ත පිලිස්සූ ගඩොලින් බැද තිබේ. ලැබී ඇති සාධක අනූව නැගෙනහිර පැත්තේ මීටර් 7 පළල දොරටුවක් පැවති ඇත. තටාකයට ජලය පුරවන්නට ඇත්තේ ඒ මගින් විය හැකිය. නෞකා නැංගූරම් ලා ගැට ගැසීම සදහා යොදාගන්නට ඇතැයි අනුමාන කළ හැකි නැංගූරම් ගල් පහක්ද මෙය සමීපයෙන් සොයාගෙන ඇත.

බටහිර ආසියානු ප්‍රෙද්ශයන්හි බහුලව දැකගත හැකි භාජන විශේෂයක් ලෝතාල්වලින් හමු වී තිබේ. රතු පැහැයක් ගත් මෙම භාජන වාණිජ කටයුතු ව්‍යාප්ත වී ඇති අන්දම කියා පායි. මෙහි තිබී සොයාගත් ක්‍රීඩා භාණ්ඩ හා විවිධ මූද්‍රා බටහිර ආසියාවේ සබදතා පැහැදිලි කරයි. නිල් පැහැති ශිලාමය මූද්‍රාවක උඩපැත්තේ සතුන් දෙදෙනකුගේ රූප දැකගන්නට පුළුවන. එම සතුන් දෙදෙනා ඔලු දෙකේ මකරකු වශයෙන් හදුනාගෙන ඇත. මකරුන් සංකේතයක් ලෙස යොදාගනු ලබන්නේ චීනයයි. මේ අනූව චීන ශිෂ්ටාචාරය සමග පැවති වෙළදාම පිළිබදවද හෝඩුවාවක් සපයාගත හැකිය.

ක්‍රි.පු 4300-2300 දක්වා පැවති කැල්කොශිලා කාලපරිච්ඡේදයේ (තඹ යුගය) දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති පිඟන් කර්මාන්තය දකුණු මර්ත්මෙනිස්තාන හා ඉරාන පිඟන් කර්මාන්තයට සමානකමක් දක්වයි. මේ හේතුවෙන් මෙම රාජ්‍ය අතර ගමන් බිමන් හා වෙළෙඳ සබඳතා පැවති බව පැහැදිලි වේ. මර්තමෙනිස්ථාන හා ඉරානයේ ආභාෂය ලබමින් ඉන්දු නිම්න වැසියන් පිගන් කර්මාන්තය පුරුදු වන්නට ඇත. මෙසේ මුල් හරප්පන් යුගයට (ක්‍රි.පු 3200-2600) අයත් මැටි බඳුන්, මුර්ති හා විසිතුරු භාණ්ඩද මධ්‍යම ආසියවේ නිර්මාණවල ආබාෂය ලබා ඇති බව පෙනේ.[6] ඒවා අතර දක්නට ලැබෙන සමානකම් හේතුවෙන් ඉන්දු නිම්න වැසියන් මධ්‍යම ආසියාව හා ඉරානය සමඟද ගැල් මඟින් ද ගොඩබිමින් ද වෙළෙඳාම සිදු කළ බව තහවුරු වේ. ඉන්දු ශිෂ්ටාචාරයේ වෙළද ජාලයේ ව්‍යාප්තිය සැලකූවිට මෙම වෙළෙද ජාලයෙන් ඇෆ්ගනිස්ථානයට අයත් ප්‍රදේශයත්, පර්සියාවේ මුහුදු බඩ ප්‍රදේශත්, උතුරු හා බටහිර ඉන්දියාව හා මෙසපොතේමියාවට අයත් විශාල ප්‍රදේශයකුත් ආර්ථික වශයෙන් ‍බැඳි පැවතුණු බව දැකිය හැකිය. හරප්පාව හා මෙසෙපොතේමියාව අතර මධ්‍යම හරප්පා යුගයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු සිදු වුණි. මෙම වාණිජ කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් සිදුවුයේ ඩිල්මුන් (වර්තමාන පර්සියන් බොක්කේ පිහිටි බහරේන් හා ෆයිලාතා) හි අතරමැදි වෙළෙඳුන් හරහාය. මෙවැනි මුහුදු මාර්ගය ඔස්සේ දුර ගමන් යෑමට ලෑලිවලින් තැනූ තනි කුඹ ගසක් යොදන ලද පන්වලින් වියාගත් රුවලක් සහිත යාත්‍රා භාවිතා කර ඇති බවට සාක්ෂිද ලැබී තිබේ.


·        අභ්‍යන්තර වෙළදාම.
ඉන්දු නිම්නයේ අභ්‍යන්තර වෙළදාම පිළිබද තනිව ගවේෂණය කල නොහැකිය. එය බාහිර වෙළදාම සමග අත්‍යන්තයෙන් බැදී තිබේ. එම නිසා අභ්‍යන්තර වෙළදාමෙහි සුවිශේෂි ලක්ෂණ කිහිපයක් පමණක් මෙසේ දැක්විය හැකිය. බොහෝ පුරාණ ශිෂ්ටාචාරවල වැසියන් මෙන්ම ඉන්දු නිම්න වැසියන් ද බර අනුව මිනුම් පද්ධතියක් සකස් කරගෙන තිබිණි. ඒවායෙන් තමන් වගා කරන ධ්‍යාන වර්ග මෙන්ම අනිකුත් භාණ්ඩද මැණිම සිදු කර ඇත. මේ අනුව වෙළඳ කටයුතු පහසුවක් විණි. බඩු බාහිරාදියෙන් බදු අය කිරීමටද එය පහසුවක් විය. ඉදි කර ඇති ගොඩනැගිලි සියල්ලකම පාහේ බිම් මහල වෙළද කටයුතු සදහා යොදා ගන්නට ඇති බව විශ්වාස කරයි. ඒවායෙහි තම රටෙහි භාණ්ඩද විදේශවලින් ගෙන එන ලද භාණ්ඩද අලෙවි කිරීම සිදු කර තිබේ. අභ්‍යන්තරවද ගැල් ආධාරයෙන් වෙළද භාණ්ඩ ප්‍රවාහනය කර ඇත. ඉන්දු නදිය උපයෝගි කරගනිමින් බෝට්ටු මගින්ද තම ශිෂ්ටාචාරයට අයත් ප්‍රදේශවලට වෙළදාම ව්‍යාප්ත කරන්නට ඇත. මේ ආකාරයෙන් අභ්‍යන්තරව හරප්පාව තුළ වෙළදාම සිදු විය.
ඉහත කරුණු සැළකිල්ලට ගැනීමේදි හරප්පාව තුළ ඉතා දියුණූ වෙළදාමක් පැවති බව පෙනේ. එය බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙයාකාර විය. තම රටෙහි නිෂ්පාදනයන් බොහෝ සෙයින් විදේශයන්ට අපනයනය කර ඇත. නමුත් ආනයනය පිළිබදව කරැනු ඇත්තේ ස්වල්පයකි. ඒ අනූව අපනයනය පමණක් වැඩිපුර සිදුවන්නට ඇති බව පෙනේ. ගොඩබිම් මාර්ගයෙන් මෙන්ම මුහුද හරහාද වෙළදාමේ යෙදී ඇති අතර ඒ සදහා ගැල්, සතුන්, බෝට්ටු, නැව් යොදාගෙන තිබේ. ස්වභාවික සම්පත් මෙන්ම ස්වකීය නිර්මාණයන්ද වෙළද භාණ්ඩ වූ අතර විදේශයන්ගෙන් ගෙන්වන ලද්දේද තමන්ට අවශ්‍යය භාණ්ඩ පමණි.
මේ අනූව හරප්පාව තුළ වෙළදාම දියුණු අංගයක් විය. වෙළදාම පැතීරි ඇති පුළුල් පරාසය දෙස අවධානය යොමු කිරීමේදි එය හරප්පා ආර්ථිකයේ පදනම වූ බව පැහැදිලි වේ. කෘෂිකර්මාන්තයට එල්ල වූ දේශගුණික බලපෑම් මත වෙළදාම තම ජීවනෝපාය ලෙස ලෙස ඉන්දු නිම්න වැසියන් තෝරාගෙන ඇත. එය ක්‍රමානකූලව වර්ධනය වී ,ව්‍යාප්ත වී හරප්පා සභ්‍යත්ව ආර්ථිකයේ පදනම බවට පත්වන්නට ඇත.

No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...