Monday, February 25, 2019


අරාබි ඊශ්‍රායල ගැටුම



මධ්‍යධරණී මුහුදට නැගෙනහිරෙන් පිහිටා ඇති ඊශ්‍රායලය ලොව ඇති එකම යුදෙව් රාජ්‍යයයි. පලස්තීනුවන් ලෙස හැඳින්වෙන අරාබි ජනයා පවසන්නේ යුදෙව් ජනයා ඊශ්‍රායලය කියා හඳුවන්වන දේශය සත්‍ය වශයෙන්ම අයත් වන්නේ ඔවුන්ට බවයි. එම සම්පූර්ණ බිමේ හෝ ඉන් කොටසක පලස්තීනය යනුවෙන් වෙනම ස්වාධීන රාජ්‍යයක් පිහිටවන්නට ඔවුන් කටයුතු කරයි. ඊශ්‍රායල පලස්තීන අර්බුදය ලෙස හඳුන්වන්නේ මේ භූමිය අයිති කාට ද සහ පාලනය කරන්නේ කවුරුන් විසින් ද යන කාරණා සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටුමයි.
ඊශ්‍රායල පලස්තීන ගැටුමේ ඉතිහාසය 19 වන සියවස දක්වා දිවෙයි. 19 වන සියවසේ අගභාගයේදී ඇති වූ ජාතික ව්‍යාපාරවල පිබිදීම ඒ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දැමීය. යුදෙව්වන් හා අරාබින් පලස්තීනයට උරුමකම් කීම ඊශ්‍රායල පලස්තීන ගැටුම තවත් උග්‍ර කළේය. ක්‍රි. ව 1897 යුදෙව් ජාතික ව්‍යාපාරය(ස්යෝන්වාදය) දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වීමත් සමඟ යුරෝපානු විරෝධි රුසියාවට ප්‍රතිචාර දැක්වීමට පෙළඹුණි. මෙමගින් බලාපොරොත්තු වුයේ පලස්තීනය තුල යුදෙව් ජාතික රාජ්‍යක් බිහි කිරිමයි. ( මෙම යුදෙව් ප්‍රදේශය  පැරණි යුදෙව් මවුබිමේ නමින් හෙවත් ˝ඉරෙට්ස් ඊශ්‍රායල˝) නමින් හඳුන්වන ලදි. මෙම උපක්‍රමය තුළින් ආරක්ෂිත ස්ථානයක් හා ස්වයං පාලනයක් අපේක්ෂා කර ඇත. එම අරමුණ මුදුන් පත් කරවා ගැනීමට ලෝක සියෝනියානු (යුදෙව්) සංවිධානය හා යුදෙව් ජාතික අරමුදල විසින් සංක්‍රමණ දිරි ගන්වන අතරම ඔටෝමන් පාලනයේ හා බ්‍රිතාන්‍ය පාලනයේ ඇති පලස්තීන ප්‍රදේශ මිලට ගැනීමට අනුග්‍රහ දක්වන ලෙසට ඉල්ලීමක් කරන ලදී.
ඔටෝමන් අධිරාජ්‍යෙය් බිඳවැටීමෙන් පසුව සයිකස් - පිකට් ගිවිසුමට අනුව හා ජාතීන්ගේ සංගමයේ බලතල වලට අනුව පලස්තීනය මහ බ්‍රිතාන්‍යය බලය යටතට පත් කෙරුණි. එම භාරකාර කාලය තුළදී බ්‍රිතාන්‍යය විසින් ගැටුම් සදහා සම්බන්ධ කණ්ඩායම් සදහා එකගතා කිහිපයක් සදහා එකගත්වය පළ කරන ලද අතර ඒ අතරින් යුසේන් මැක්මොහන් එකගතා හා බැල්ෆර් සම්මුතිය - 1917 විශේෂ වේ. අරාබි හා යුදෙව් පිරිස් අතර වු පීඩනය පුපුරා ගියේ භෞතික ප්‍රචණ්ඩත්වය ප්‍රතිඵලයක් ලෙස උරුම කරමින්ය. 1920 පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා, 1921 පලස්තීන ප්‍රචණ්ඩ ක්‍රියා, 1929 පලස්තීනයේ අරාබි කැරැල්ල ඊට උදාහරණ කිහිපයකි.
යුරෝපයේ දී විඳින්නට වුණ කරදර හිරිහැර නිසා තමන්ටම කියා ස්වාධීන රාජ්‍යයක් තිබිය යුතුය යන සිතුවිල්ලෙන් යුදෙව්වන් මැද පෙරදිග ඔටෝමන් පාලනයට යටත්ව තිබී, පසුව බ්‍රිතාන්‍ය පාලනයට නතුව තිබූ ‘බ්‍රිතාන්‍ය පලස්තීනය’ට (British Palestine/Mandetory Palestine) සංක්‍රමණය වන්නේ 1896 – 1948 දක්වා වූ කාලය තුළදී යි. මොවුන්ගෙන් අති බහුතරය දෙවන ලෝක යුධ සමයේ යුදෙව් සංහාරයෙන් පසුව අනාථයන් ලෙසින් පැමිණි අයයි.
මේ භූමියට තමන්ට ඇති උරුමකාරිත්වය වසර දෙදහසකට වඩා ඈත අතීතයට දිව යන බව දෙපාර්ශවයම පැවසුවත්, වත්මන් අර්බුදය ආරම්භ වූයේ 20 වන සියවසේ මුල් භාගයේ යි. යුදෙව්වන් යුරෝපයේ දී තමන්ට විඳින්නට සිදු වූ හිංසා පීඩා නිසා මුලින් ඔටෝමන් අධිරාජ්‍යයේ පාලනයට, සහ පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට නතුව තිබූ භූමියට සංක්‍රමණය (බොහෝ විට නීතිවිරෝධීව) වන විට එහි පදිංචිව සිටියේ මුස්ලිම් බහුතරයක් වූ අරාබි වැසියනුයි. ඇමරිකාව, කැනඩාව ආදී බොහෝ රටවල් යුදෙව් සරණාගතයන් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම මෙයට එක් හේතුවක්. බ්‍රිතාන්‍යය පවා මේ යුදෙව් සරණාගතයන්ව තම රටට හා බ්‍රිතාන්‍ය පලස්තීනයට බාර ගත්තේ කෝටා ක්‍රමයකට යි.
මේ ආකාරයෙන් වත්මන් ඊශ්‍රායල පලස්තීන දෙපිරිසම අර්බුදයට තුඩු දී ඇති භූමියට තමන්ගේ ඓතිහාසික උරුමයක් ඇතැයි ඇදහීම තත්ත්වය වඩාත් ව්‍යාකූල කිරීමට හේතුවක් වී තිබේ.
කෙසේ හෝ, යුදෙව්වන් ඊශ්‍රායලය පිහිටුවා ගන්නා විට අරාබි ජාතිකයන් එයට දැඩි විරෝධය පල කළේ එම භූමියේ හිමිකාරත්වය පවතින්නේ ඔවුන්ට බව පවසමිනි. යුදෙව්වන් විශාල වශයෙන් එහි පදිංචි වීම ඔවුන් දුටුවේ බ්‍රිතාන්‍ය කොළණි බිහිකිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි. ඒ නිසා බ්‍රිතාන්‍යයන්ට පවා පාලනය කළ නොහැකි තරමටම දෙපාර්ශවය අතර බිහිසුණු ගැටුම් ඇති විය.  මෙයට විසඳුමක් ලෙස යුදෙව්වන්ට සහ අරාබි වැසියන්ට එම මුළු භූමියෙන් කොටස් දෙකක් වෙන්කර දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය 1947 වසරේ බ්‍රිතාන්‍ය පලස්තීන භූමිය වෙන්කර  කොටසක් යුදෙව්වන්ට සහ කොටසක් අරාබි ජාතිකයන්ට බෙදා දුන්හ. 
එයට අනුව අරාබි ජාතිකයන් බහුතරයක් විසූ නැගෙනහිර ජෙරුසෙලම සහ බටහිර ඉවුර ජෝර්දානයේ පාලනයට සහ ගාසා තීරය ඊජිප්තුවේ පාලනයට පවරා දෙනු ලැබීය. යුදෙව්වන් මෙම විසඳුමට එකඟතාව පල කළත්, අරාබි ජාතිකයන් එය දුටුවේ යුදෙව්වන්ගේ දිගුකාලීන ආක්‍රමණික ප්‍රයත්නයක් ලෙසයි. ඒ නිසා ඔවුන් යුදෙව්වන්ට එරෙහිව සටන් වැදුණ ද කෙසේ හෝ 1948 මැයි මස 14 වන දින යුදෙව්වන්ගේ රාජ්‍යය ලෙස ඊශ්‍රායලය බිහි විය. මෙම බිහිවීම ඊශ්‍රායලය සහ අරාබි රටවල් (ඊජිප්තුව, ජෝර්දානය, සිරියාව, සහ ඉරාකය) අතර මාස 8 ක් පුරා දිවුණු බිහිසුණු යුද්ධයකට මග පෑදුවේය.

 1967 දින හයේ යුද්ධය
ලෝක ඉතිහාසයේ යුදෙව් ජාතිකයන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් සය දින යුද්ධයෙන් පසුව ඊශ්‍රාලයට හිමි විය. ඊශ්‍රාලය යුදෙව් රාජ්‍යක් ලෙස බිහි වීම අරාබි රටවල්වලට නොසතුටට කරුණක් විය. මේ නිසා ඊජිප්තුව, ජෝර්දානය, සිරියාව, සහ ඉරාකය එක්ව ඊශ්‍රාලයට එරෙහිව යුද ප්‍රකාශ කළේය. මෙය දින හයක් පුරා පැවතුණි.
සය දින යුද්ධය ආරම්භයේදී ඊශ්‍රාලයට යුද කිරීමේ අවශ්‍යතාවයක් නොවුණි. ජෝර්දානයෙන් එල්ල වන ප්‍රහාර මැඩලීම පමණක් ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණි. ඒ බව 1967 ජුනි 5 වනදා හෙවත් යුධ ගැටුම් ඇවිලී ගිය පළමු දිනයේම ඊශ්‍රායල අගාමැති ලෙවි එශ්කොල් ජෝර්දානයේ හුසේන් රජුට ලිපියක් යවමින් ජෝර්දානය ඔවුනට පහර නොදේනම් ඔවුනුත් ජෝර්දානයට පහර නොදෙන බව දන්වා සිටීමෙන් පැහැදිලි වේ.
සය දින යුද්ධයේ පළමු ප්‍රහාර ආරම්භ කරනුයේ ජෝර්දානයයි. එයට හේතුව ජෝර්දාන රේඩාරවලට ඊජිප්තුවේ සිට ඊශ්‍රායලය දෙසට පියාසර කරන ප්‍රහාරක යානා කිහිපයක් හසු වන අතර ඒත් ස්මඟම ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන ලෙස ඊජිප්තුවෙන් ජෝර්දානයට ඉල්ලීමක් කිරීමයි. එම යානා ඊජිප්තුවේ සිට ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්නට යන ඒවා යැයි අනුමාන කළ හුසේන් රජු වහාම බටහිර ජෙරුසලමට පහර දෙන ලෙස සිය බළමුළු වලට අණ කළේය. නමුත් මෙම යානා ඊජිප්තුවට පහර දී නැවත ඊශ්‍රාලයට පැමිණෙන යානා විය. එවකට ඊශ්‍රායල ආරක්ෂ ඇමති මොෂේ දයාන් ජෙරුසලම හා බටහිර ඉවුර ජෝර්දාන ප්‍රහාරවලින් බේරාගැනීමට ජෝර්දානයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තීරණය කරනු ලබයි.
මොෂේ දයාන් විසින් මොත්තා ගුර් (ඊශ්‍රායල හමුදාවේ පනස් පස් වන බලකායේ අණදෙන නිළධාරි) අමතා පැය 12 ක් ඇතුළත ජෙරුසලමට පහර දීමට අණ කළේය. එහිදී ශක්තිමත් ජෝර්දාන හමුදාව හමුවේ ප්‍රවේශමෙන් ක්‍රියා කරන ලෙසත් පෞරාණික නගරයට හා ඓතිහාසික ස්ථානවලට හානියක් නාවන ලෙස වගබලා ගැනීමටත් උපදෙස් ලැබුණි. ඒ අනුව  නැඟෙනහිර ජෙරුසලමේ ස්කෝපස් කන්දට ඊශ්‍රායල භට කණ්ඩායමක් යැවෙන අතර ජුනි 6 වැනිදා අළුයම 2 වන විට ජෙරුසලමේ යුධ ගැටුම ඇවිළී ගියේය. එහිදී ඇති වූ ගැටුම් ඉතාමත් මාරාන්තික වූ අතර දෙපාර්ශවයේම සෙබළුන්ට දැඩි හානි සිදු විය. නමුත් සටනේ වැඩි වාසිය හිමි වූයේ ඊශ්‍රායලයටයි. ජුනි මස 7 වනදා උදෑසන 6.15 වන විට පෞරාණික නගරය වට කරන ලෙස මෝෂේ දයාන් අණ කළේය. ඒ පෞරාණික නගරය අත්පත් කරගැනීම තීරණාත්මක වූ නිසාය. නමුත් මේ වන විට ජෝර්දාන සෙබළුන් පසු බැස සිටි නිසා සටනකින් තොරවම එය අත්පත් කරගැනීමට ඊශ්‍රායලයට හැකි විය.
ඉහත ජෝර්දාන හා ඊශ්‍රායල ගැටුමට ඊජිප්තුවද මැදිහත් වූ අතර ඔවුන් සමඟ සටන් කරන අතර තම උතුරු පෙදෙස සිරියානු සෙබළුන්ගෙන් රැක ගැනීමටද ඊශ්‍රායලයට සිදු විය. ඊශ්‍රායල බලමුළුවලින් බහුතරයක් ඊජිප්තු හා ජෙර්දාන හමුදා සමඟ සටන් කරමින් සිටින විට ඊශ්‍රායලයේ උතුරු පෙදෙසේ දේශ සීමාව සිරියානු බලමුළු වලින් ආරක්ෂා කරගැනීමට සුළු එහෙත් නිර්භීත භට පිරිසක් දිවි හිමියෙන් සටන් කළේය. විශේෂයෙන් ගෝලාන් උස්බිම් යුධ උපක්‍රමිකව සිරියානු හමුදාවට වාසි සහගත වුවත් ඉතා අසීරු සටන් වලින් අනතුරුව ජුනි 9 වැනි දින සිරියානු ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ ඉදිරියට යාමට අවසානයේ ඊශ්‍රායල හමුදාවට සමත් වූහ.
දින සයක් තුළ පැවති දරුණු යුධ ගැටුම් අවසන් වන විට ඊශ්‍රායලයට ජයග්‍රහණය හිමි වී තිබුණි. මේ වන විට මේ සටනේ මර්මස්ථාන වූ සයිනයි කතර හා ගෝලාන් උස්බිම් ඊශ්‍රායලය විසින් යටත් කරගෙන සිටි අතර ඊජිප්තුවේ කයිරෝ, ජෝර්දානයේ අම්මාන් හා සිරියාවේ ඩැමස්කස් යන නගර කරා වුවත් තර්ජන එල්ල කළ හැකි තරමට සාර්ථක වී සිටියේය. නමුත් ඊශ්‍රායලයට ඊජිප්තු, සිරියා හා ජෝර්දාන අගනුවරවල් ආක්‍රමණය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොවීය. මේ වන විටත් ඔවුන්ගේ සාර්ථකත්වය නිසා රුසියාව සලිත වී සිටි අතර අවසානයේ ජුනි 10 වනදා ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගෙන් සටන අතහැර එකඟතාවයකට පැමිණෙන ලෙස ඉල්ලා සිටි නිසා එය පිළිගෙන ඔවුන් සටන අත්හැර දැමූහ.
මෙම සටන අවසන් වන විට ඊශ්‍රායලයට සොල්දාදුවන් 97 දෙනෙක් අහිමිව තිබූ අතර 430 දෙනෙක් තුවාල ලබා තිබිණි. විශේෂයෙන්ම ඉතා අවාසිදායක භූ විෂමතාවයක් සහිත ගෝලාන් උස්බිම අත්පත් කරගැනීමේ සටනේදී පමණක් 115 දෙනෙකු මිය ගොස් ඇත. මේ අනූව සම්පූර්ණ යුද්ධය තුළදී 777 ක් ගේ දිවි අහිමි වී 2,586 දෙනෙක් තුවාල වී තිබේ. ඔවුන් සතුව තිබූ ප්‍රහාරක ගුවන් යානා 200 න් 46 ක් විනාශ විය. සතුරු හමුදාවල තත්ත්වය මීට වඩා ඉතා ශෝචනීය වුණු අතර ඊජිප්තු හමුදාවේ 15,000 ක් සිරියනු හමුදාවේ 2,500 ක් හා ජෝර්දානයේ සෙබළුන් 800 ක් ජීවිතක්ෂයට පත් වූහ.
සය දින යුද්දයෙන් පුසව ඊශ්‍රායලයට තම භූමියෙන් සුළු හෝ ප්‍රමාණයක් අහිමි නොවුණි. එහෙත් ඔවුන්ගේ පාලන ප්‍රදේශයන් පෙරටත් වඩා විශාල විය. යුද්ධයට පෙර ඊශ්‍රායලය විසින් පාලනය කළ භූමිය වර්ග සැතපුම් 8,000 ක පමණ විශාලත්වයකින් යුතු වූ අතර එය අවසානයේ වර්ග සැතපුම් 26000 ක ප්‍රදේශයක් බවට නිතැතින්ම පත් වී ඇත. මේ ජයග්‍රහණයත් සමඟ මෙතෙක් කල් දෙකඩ වී තිබුණු ජෙරුසලම එක් කොඩියක් යටට වූ අතර සයිනයි අර්ධද්වීපය, ගෝලාන් උස්බිම්, ගාසා තීරය හා බටහිර ඉවුර යන ප්‍රදේශත් ඊශ්‍රායලයට අත්පත් කරගැනීමට හැකි වුණි. මෙම කාලයේ අරාබි ලීගයේ නායකයා වූයේ ගමාල් අබ්දුල් නසාර්ය. ඔහු ප්‍රභල නායකයකු මෙන්ම අරාබි රටවල ගෞරවයද දිනා සිටි පුද්ගලයෙකි. මේ නිසා ඊශ්‍රායල ජයග්‍රහණය ඔහුට දැඩි පීඩාවක් බවට පත් විය. සිත් තැවුලට පත් වූ ඔහු ජනපති කමින් ඉල්ලා අස් වීමට පවා සූදානම් විය. යුධ වැදුණේ ගැලවීමට මිස කිසිවක් දිනීමට නොවෙන නිසා ඊශ්‍රායල නායක ලෙවි එශ්කොල් එතරම් උද්දාමයට පත් නොවිණි. ඔහු තම බළමුළුවලට අනුයුක්තව සිටි විශාල තරුණ ප්‍රජාවක් අකාලයේ මිය යාම හා ආබාධිත වීම ගැන දුක් විය.
දින හයේ යුද්ධයෙන් පසු එක්‌සත් අරාබි ජනරජයේ හමුදා ප්‍රධානියා වූ හකීම් අමිර් අගෝස්‌තු මසදී අත්අඩංගුවට ගන්නා ලදී. සැප්තැම්බර් මාසයේ දිනෙක ඔහු සිය දිවි නසා ගත්තේය. “අපට වඩාත් ආරක්‍ෂාකාරී සිතියමක්‌, පීඩාවෙන් තොර ඉඩකඩ ඇති දේශ සීමාවක්‌ අවශ්‍යයි” සටනින් පසු 27 වැනි සියොන් කොන්ග්‍රස්‌ සැසියේදි ඊශ්‍රායල විදේශ ඇමැති අබ්බා ඉබාන් පැවසීය. ආරක්‍ෂක ඇමැති ජෙනරාල් මෝෂේ දයාන් උද්ගතව ඇති තත්ත්වය දුටුවේ මෙසේය.
ජෝර්දාන ගඟ හා මධ්‍යධරණී මුහුද අතරවූ සම්පූර්ණ පෙදෙස එකම ඒකකයක්‌ විය යුතුය. කෙබඳු ආකාරයක වූ ද බෙදුමකට විරුද්ධ වෙමු. සිනායි අර්ධද්වීපයේ කොටස්‌ විශේෂයෙන්ම ටිරාන් සමුද්‍ර සන්ධියට ආරක්‍ෂාව සැපයිය හැකි ෂාම් එල් ෂික්‌ බලකොටු ප්‍රදේශය දිගටම තබාගත යුතුය. ප්‍රමාණවත් ආරක්‍ෂක බලමුළු සිනායිහි විවිධ ප්‍රදේශවල රඳවා තැබිය යුතු අතර ඒවා භාර නොදෙනු ඇත.” එහෙත් පසු කාලයකදී එම අදහස්‌ ඒ ආකාරයකටම ක්‍රියාත්මක නොවිය.

පසුකාලීන යුද්ධ
1973 දී යුදෙව්වන්ගේ පූජනිය දිනයක් වූ යොම් කිපුර් දිනයේ දී ආරම්භ අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර ඇති වූ යුද්ධය යොම් කිපුර් යුද්ධය ලෙස හදුන්වනු ලබයි. ඊශ්‍රායලයට පරාජ වුණු පලස්තීනුවන්ගේ නැඟී සිටීම නිසා 1987 – 1993 අතර කාලයේ නොයෙක් වර බිහිසුණු ගැටුම් ඇති විය. ඊශ්‍රායලයට එරෙහි මෙම පලස්තීන නැගිටීම් ‘ඉන්ටිෆාඩා’ (intifada) ලෙස හැඳින්වෙයි. 2000 – 2005 කාලය තුල පලස්තීන දෙවන නැගී සිටීම සිදු වූ අතර 2005 වසරේ හමාස් සංවිධානය මැතිවරණයකින් ගාසා තීරයේ බලයට විය. ලෝකයේ බහුතර රටවල් මෙම සංවිධානය ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වයි. ඔවුන් ඊශ්‍රායලය ස්වාධින රාජ්‍යයක් ලෙස පිළිගැනිම ප්‍රතික්ෂේප කරන අතර පලස්තීනුවන්ට තම පැරණි බිමේ හිමිකාරිත්වය ලැබිය යුතු බව ප්‍රකාශ කරයි.මේ නිසා පලස්තීන ඊශ්‍රායල ගැටුම වර්තමානය දක්වාම දිග් ගැස්සෙමින් පැවතෙයි.

ඊශ්‍රායල - ලෙබනන ගැටුම
2006 ජුලි මාසයේ දී ඊශ්‍රායලය හමුදා භටයන් තිදෙනෙකු ඝාතනය වීම සහ තවත් දෙදෙනෙකු සිරකරැවන් ලෙස රදවා ගැනීමට විරැද්ධව හිස්බුල්ලා සංවිධානය විනාශ කර දමනු වස් ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීම ඊශ්‍රායල ලෙබනන ගැටුමේ ආරම්භය විය. ගැටුම ඇති වීමට මුලික හේතුව දීර්ඝ කාලයක් පුරා පැවැති අරාබි ඊශ්‍රායල ගැටුම වුවත් සාම ගිවිසුමට පෙර ඊශ්‍රායලය ප්‍රකාශ කරන ලද්දේ එය ත්‍රස්තවාදයට එරෙහි සටනක් බවය. ඇ.එ.ජ රජය ද මේ බව සනාථ කර අතර සටන් විරාම ගිවිසුම ඇති කර ගත් දින බුෂ් විසින් කරන ලද කතාවකින් ද ඒ බව නැවත සනාථ කරන ලදී. පුරා මසක් පමණ පැවත මෙම ගැටුම 845 – 1300 අතර ලෙබනන් ජාතිකයන් මරණයට පත්කළ අතර ඊශ්‍රායල ජාතිකයන් 163ක් (හමුදා සෙබළුන් 119 හා සාමාන්‍ය ජනයා 44 ලෙස) ද මරුමුවට පත් කළ අතර ඊශ්‍රායල හා ලෙබනන ජාතිකයන් දහස් ගණනකට තුවාල සිදු කරන ලදී. 2006 අගොස්තු 14 වන දින එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සම්පාදිත සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශවය කැමැත්ත පළ කරන ලද අතර එය 2006 අගෝස්තු 14 අළුයම 05 සිට ක්‍රියාත්මක විය.
  
අරාබි ඊශ්‍රායල ගැටුම කෙරෙහි බලපා ඇති සාධක
1993 දී ඔස්ලෝ සම්මුතිය කෙටුම්පත් කිරීමෙන් පසුව ඊශ්‍රායල රජය හා පලස්තීන ජාතික අධිකාරිය (PNA) අරාබි ඊශ්‍රායල ගැටුමට විසඳුමක් සෙවීමට උත්සාහවත් විය. එහිදී මතභේදයට ලක් වූ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක් විය. එම කරුණු අරාබි ඊශ්‍රායල ගැටුම වර්ධනය කිරීමෙහිලා හේතු සාධක ලෙස හඳුනාගත හැකිය.
ජෙරුසලමේ මායිම් පිළිබඳ අයිතිය
ඒබ්‍රහම්ය ආගම් වන යුදෙව් ආගම, ක්‍රිස්තියානි ධර්මය, හා ඉස්ලාම් ආගම, එම ආගම්වල ඓතිහාසික ඉගැන්වීමවලට අනූව ඔවුන්ට ජෙරුසලම ඉතා වැදගත් ස්ථානයකි. මේ නිසා ජෙරුසලමේ මායිම පිළිබදව වන ගැටළුව නිතර විවාදයට තුඩු දී තිබෙන අතර ඊශ්‍රායලය හා පලස්තීනය මෙම ප්‍රදේශයට අයිතිවාසිකම් කියයි. දින හයේ යුද්ධයේන පසුව ජෝර්දානය පාලනය කළ නැගෙනහිර ජේරුසලම තම යටතට ගත් ඊශ්‍රායලය නිල වශයෙන් එය ඊශ්‍රායලයට ඇදා ගන්නා ලදී. ඊශ්‍රායලය විසින් නව නිතියක් පනවමින් ප්‍රකාශ කලේ සම්පුර්ණ වු හා එක්සත් වු ජෙරුසලම ඊර්‍ශායලයේ අගනුවර බවයි. මෙසේ ඊශ්‍රායලය ජෙරුසලම තම දේශපාලන පාලනයට යටත්ව තිබිය යුතු බව සඳහන් කරන අතර පලස්තීනය ප්‍රකාශ කරනුයේ 1967 ජුනි වලට ප්‍රථම ඊශ්‍රායලය සතු නොවු ජෙරුසලමේ ප්‍රදේශ පලස්තිනුවන් වෙත ලබා දිය යුතු බවයි.  කෙසේ වුවද ජෙරුසලමේ සමස්ථ ජනගහණයෙන් වැඩි පිරිසක් යුදෙව්වන් වන අතර සුළුතරයක් වනුයේ මුස්ලිම්වරුන්ය.
පලස්තීන සරණාගතයින්
ඊශ්‍රායෙලය විසින් පලස්තීනුවන් නව පලස්තීන රාජ්‍යයකට පිවිසීමේ අයිතිය පිළිගත් නමුත් ඔවුන් ඊශ්‍රායෙලයට පැමිණීම යුදෙව් රාජ්‍යයේ යහපත් පැවැත්මට බලවත් අනතුරක් විය හැකියයිද, පලස්තීන අනාථයින් රට තුළට ගලා ඒම ඊශ්‍රායෙල රාජ්‍යයේ විනාශයට මුල පිරිමක් විය හැකියයි ද ඔව්හු කල්පනා කළහ. යුද්ධයට පෙර තිබූ සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායෙල සටන් කණ්ඩායම් සහ ඊශ්‍රායෙල හමුදාව විසින් පලස්තීනුවන්ගේ දේපල අහිමි කොට ඔවුන් බලහත්කාරයෙන් අනාථයන් ලෙස පිටමං කළ බව පලස්තීනයේ ප්‍රකාශය විය. එහෙත් මේ දක්වා එම ගැටළුව ඉතිහාසඥයින් විසඳා නැත. තවමත් 1948 දී පලස්තීනුවන් පිටමං කිරීමේ කාරණය විවාදයට බඳුන් වෙමින් පවතී.
වර්තාවල ආකාරයට ඊශ්‍රායෙල රාජ්‍යය නිර්මාණය කිරීමෙන් පසු නෙරපා දැමුණු හෝ පළා ගිය පලස්තීනුවන් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 4 ක් පමණ වේ. ජෝර්දානය හැර සියලු අරාබි රටවල් ඔවුන්ගේ රට තුළ සිටින පලස්තීන අරාබි ජාතිකයින්ට පුරවැසි භාවය ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා අරාබි අනාථ ප්‍රශ්නය වැඩි වුණු බව ඊශ්‍රායෙලය කියා සිටියි. මෙම තත්ත්වය නිසා දුගී භාවය සහ ආර්ථික ගැටලු පැන නැගී ඇති බව MFA ලේඛන පෙන්වා දෙයි. පසුව විසඳන ලද නමුත් ලෝක යුද්ධයෙන් පසු අනාථයින් සම්බන්ධ විශාල ගැටලු මතු වී තිබුණි. මේ නිසා මෙම ප්‍රශ්නය තවමත් ඒ අයුරින්ම පවතින්නේය.
බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස          
බටහිර ඉවුරේ ඊශ්‍රායල පදිංචි වීම් හා ගාසා තීරය ගැටුමට සාමකාමී විසදුමක් ලබා දීමේ දී කිබෙන ප්‍රධාන බාධක බව ජ්‍යාතන්තර මාධ්‍ය හා ජ්‍යාතන්තර දේශපාලන සංගම් විසින් ද පෙන්වා දී තිබේ. 1990 දී ඊශ්‍රායලය විසින් 1929 හා 1948 දි විනාශ කළ ජනාවාස නැවත ප්‍රතිස්ථාපනයටත් බටහිර ඉවුරේ නව පදිංචි කිරිම් විශාල ප්‍රමාණයක් ද සිදු කළහ. බොහෝ ජනාවාස බටහිර ඉවුරේ බටහිර කොටස් වන අතර අනෙක් ඒවා පලස්තීනුවන්ගේ භුමි වල ස්ථාපනය කරන ලද්දේ පලස්තීන නගර ගැන නොතකමින්ය. 2006 වන විටබටහිර ඉවුර හා නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල් ජාතිකයන් 267,163 ක් ජිවත් විය. මෙම පදිංචි කිරිම ගැටුම්කාරි තත්වයන්ට සෑහෙන බලපෑමක් සිදු කරනුයේ මේ නිසාය. පලස්තීන නගර සදහා අවශය වන සම්පත් භෝග වගාවට සුදුසු ඉඩම්, ජලය හා වෙනත් සම්පත් ජනාවාස හේතුවෙන් තමන්ට නොලැබී යන බවත් මෙම පදිංචි කිරිම් නිසා පලස්තීනුවන්ට නිදහසේ මාර්ගවල ගම්නකිරිමමේ හැකියාව සීමා කරන බවත් මේ නිසා ආරක්ෂක ගැටළු ඇති වන බවටත් පලසතීනුවන් විසින් චෝදනා කරන ලදි. පලස්තීනුවන්ගේ දැඩි ඉල්ලීම වුයේ, පලස්තීනය තුළ ආරම්භවන යුදෙව් ජනාවාස ඉවත් කර ගන්නා ලෙසයි. මේ අතරට අතීත ජනාවාස (හේබ්‍රෝන්) 1948 විනාශ වු හා නැවත පදිංචි කිරිම් අතරතුර ජනාවාස (Gush Etzion) 1967 සිට ක්‍රියාත්මක වන ජනාවාස පිහිටුවීම් ඇතුළත් වේ.
ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධ කරුණු
2005 දී ගාසා තීරයෙන් ඊශ්‍රාලය ඉවත් වීමෙන් පසු පලස්තීනය විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 1726 සිදු කර ඇත. මේ අනූව ඊශ්‍රායලයට පලස්තීනයෙන් එල්ල විය හැකි තර්ජනයන් මනාව හඳුනාගත හැකිය.  බටහිර ඉවුර හැරුණු විට ඊශ්‍රායලය සතු වන්නේ ඉතා කුඩා භුමි ප්‍රමාණයකි. මේ නිසා අරාබි රටවල් වල එකතුවෙන් යම් දිනෙක ප්‍රහාරයක් එල්ල ‍කළහොත් එයට මුහුණ දීමට ඊශ්‍රායලයට අපහසු වනු ඇත. බටහිර තීරයේ ඉහළ ප්‍රදේශවල සිට සටන් වදින හමුදාවන්ට තම ආක්‍රමණය ලෙහෙසියෙන් සිදු කළ හැකිඅතර එසේ වීමට ප්‍රධානතම හේතුව වන්නේ ජෝර්දාන ගංගාව හරහා යාමට ඔවුන්ට සිදු නොවීමයි. මේ නිසා බටහිර ඉවුරේ අයිතිය ඊශ්‍රායලයට හා අරාබි රටවලට යුදමය වශයෙන් ඉතා වැදගත් භූමි කලාපයකි. එහි බලය තහවුරු කර ගැනීමට ඔවුන් උත්සාහ ගන්නේද මේ නිසාය.

දේශ සීමා සහ අන්තර්ජාතික තත්ත්වය
ඔස්ලෝ සම්මුතියට අනුව එළඹුණු තාවකාලික එකඟතාවය තුළ පලස්තීන අධිකාරියට ඒ (Area A) ප්‍රදේශයේ නගරවල පාලනය ලැබුණි. ඊශ්‍රායෙලය ආරක්ෂාව යටතේ පලස්තීන සිවිල් පාලනයට බී පෙදෙස(Area B) යටත් කෙරිණි. සී(Area C) ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායෙල පරිපාලනයට යටත් කරන ලදී. පලස්තීන නගරවලට ඇතුළු නොවී ඒවා මග හැර යාමට හැකි වන අයුරින් ඊශ්‍රායෙලය අතිරේක මහා මාර්ග (High Way) තැනුවේය. නමුත් ඊට පෙර පලස්තීන භූමි ප්‍රදේශය ජෝර්දානය සහ ඊජීප්තුව අතරේ දේශසීමා පාලනයද ආනයන හා අපනයන පාලන අයිතියද ඊශ්‍රායෙලය විසින් ඉල්ලා තිබුණි.ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය එකම ආර්ථික ප්‍රදේශයක් බව ස්ථිර ලෙස ප්‍රකාශ කරමිනි. ඊට විරුද්ධව ඊශ්‍රායල භූමියෙන් වෙන් වන යාබද භූමි ප්‍රදේශයක අවශ්‍යතාවය පලස්තීනුවන් විසින් අවධාරණය කර සිටියහ. මෙයද ඔවුන් අතර යුද ගිනි ඇති කරලීමට හේතුවක් විය.
ජලය සහ සම්පත් බෙදීම
මැද පෙර දිග කලාපයේ ජලය යනු දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සාධකයකි. පලස්තීන බල ප්‍රදේශයට අයත් බිමෙහි තැන්පත් වී තිබෙන ජලය ළිං කිහිපයක් ඔස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රයෝජනය පිණිසලබා ගැනිණි. ඒත් සමඟ ඊශ්‍රායලය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ග්‍රීන් ලයින් නම් ප්‍රදේශය පුරා විහිදී තිබුණු විශාල ජල නිධිවලින් ජලය ලබා ගැනීම ද ඊශ්‍රායලය පලස්තීන ගැටුම්වලට හේතුවක් වී ඇත. 1950 දී ඊශ්‍රායෙලය බටහිර ජල නිධියේ නිෂ්පාදනවලින් 95% ක ජල පරිභෝජනයක්ද ඊසාන ජල නිධියෙන් 82% ක ප්‍රමාණයක්ද ප්‍රයෝජනයට ගත්තේය. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගන්නා ලද්දේ 1967 ට පෙර තිබු දේශ සීමාවන්ට අනුව ඊශ්‍රායෙලය පැත්තෙනි. 1999 වන විට මෙම සංඛ්‍යාවන් පිළිවෙලින් 82% සහ 80% ප්‍රමාණයක් දක්වා පහත වැටුණි.
තමන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන්ගෙන් එකක් ලෙස පලස්තීනුවන් සැලකුවේ යහපත් පරිසරයක ජීවත් වීමට තරම් අවශ්‍ය ඉඩම් හා වෙනත් සම්පත්ය. එබැවින් ඊශ්‍රායෙලය වෙනුවෙන් බොහෝ සම්පත් අත හැරීමට ඔවුනට බල නොකළ යුතු යයි ඔවුන් අදහස් කළේ ඒ මගින් ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටීමට ලක් විය හැකි බැවිනි.
ඊශ්‍රායෙල පලස්තීන අන්තර්වාර් ගිවිසුමෙන් රට තුළ හා මුහුදු සීමාවේ ස්වභාවික වායු ඉන්ධන සහ ඛනිජ තෙල් සඳහා කැනීම් කිරීමට හා ජලය පරිභෝජනය පිළිබඳව එකඟතාවයකට පැමිණ තිබේ. නමුත් ඊට පෙර ජලය හා සම්පත් බෙදා ගැනීම පිළිබඳව මෙම රටවල් අතර වූයේ දරුණු ගැටුම් පමණි.

අරාබි ඊශ්‍රායල ගැටුමට විසඳුම් සෙවූ සාම ප්‍රයත්නයන්
අරාබිය හා ඊශ්‍රායලය අතර දීර්ඝ කාලයක් පැවත එන යුද වාතාවරණය සමථයකට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නොයෙක් උත්සාහයන් සිදු විය. අභ්‍යන්තර හා අන්තර්ජාතික බොහෝ පිරිස් මෙම අර්බුදයට සම්බන්ධ වී තිබේ. සෘජුව මැදිහත්ව ඇති කණ්ඩායම් දෙක වන්නේ, එහුද් ඔල්මට් ගේ නායකත්වයෙන් යුක්ත ඊශ්‍රායෙල රජය හා මොහොමඩ් අබ්බාස් ගේ නායකත්වයෙන් යුක්ත පලස්තීන විමුක්ති සංවිධානයයි. නීත්‍යානුකූල සාකච්ඡා හසුරුවනු ලබන්නේ මැදපෙරදිග චතුරංගිය සේනා(Quartet on the Middle East) ලෙස හඳුන්වන ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, යුරෝපා සංවිධානය හා එක්සත් ජාතීන්ගෙන් සමන්විත බල ඇණියක් මඟිනි. බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්ද විශේෂ නියෝජිතයෙක් ලෙස පෙනී සිටියි. ඔහු විසින් විකල්ප සාම ක්‍රියාදාමයක් යෝජනා කරනු ලැබ ඇත. අරාබි ලීගයද වැදගත් මැදිහත් කරුවෙකි. අරාබි ලීගයේ ආරම්භක සාමාජිකයකු වන ඊජිප්තුවද මෙම අර්බුදයට ‍ ඓතිහාසිකව සම්බන්ධ වුනු හවුල්කරුවෙකි. 2000 වසරේ බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා විසින් පලස්තීන ජනාධිපති යසර් අර්ෆත් හා ඊශ්‍රායෙල අගමැති ඊහුඩ් බැරක් අතර සාම සාකච්ඡා කැඳවීය. 2000 ඩේවිඩ් කඳවුරු සමුළුව ලෙස සඳහන් වන්නේ මෙයයි. මෙහිදී ඊශ්‍රායල නායක ඊහුඩ් බැරක් විසින් පලස්තීන නායකයාට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදි. 
·         බටහිර ඉවුරෙන් හා ගාසා තීරයෙන් දළ වශයෙන් 95% ක් නැගෙනහිර ජෙරුසලමේ පලස්තීන ස්වෛරීත්වය යටතේ පැවැත්වීම.
·         යුදෙව් ජනාවාස 69 ක් (එය බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසවලින් 85 % ක් අයත් කර ගනී) ඊශ්‍රායලයට පවරා ගැනීම.
·         බටහිර ඉවුරේ ප්‍රදේශවල 10% ක ප්‍රදේශයක තාවකාලික ඊශ්‍රායෙල පාලනයක් ස්ථාපිත කිරීම.(එම ප්‍රදේශයේ යුදෙව් ජනාවාස රැසක් පැවතිණි.)
ඉහත යෝජනා ඊශ්‍රායල නායකයා ඉදිරිපත් කළේය. පලස්තීන මූලාශ්‍රයන්ට අනුව ඉතිරි ප්‍රදේශය පලස්තීන පාලනයට නතු වුවද ඇතැම් ප්‍රදේශ ඊශ්‍රායෙල කෙටි මාර්ග හා මුර කුටිවලින් භේදනය වේ. ඊශ්‍රායල ආරක්ෂක මාර්ග ඇති කරන ආකාරය යෝජිත රාජ්‍යය පුරා නිදහසේ සැරිසැරීම අවහිර කරනු ලබයි.
මේ නිසා ජනාධිපති මෙම යෝජනාවන් ප්‍රතික්ෂේප කළේය. නමුත් ඔහු ඊට වෙනත් විසඳුමක්ද යෝජනා නොකළේය. 2001 ජනවාරි මාසයේදී තාබා සමුළුවේදී ඊශ්‍රායෙල සාකච්ඡා කණ්ඩායම නව සිතියමක් ඉදිරිපත් කරන ලදී. මෙම යෝජනාවේදී තාවකාලික ඊශ්‍රායල පාලන ප්‍රදේශ ඉවත් කළ අතර පලස්තීන පාර්ශවය මෙම යෝජනාව තව දුරටත් සලකා බැලිය හැකි එකක් බව පිළිගත්තේය. මේ වකවානුවේදී අගමැති බැරක් තව දුරටත් සලකා බැලීම සිදු නොකළ අතර එම නිසා සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය.
රුසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඇ.එ.ජ. විසින් 2002 සැප්තැම්බර් 17 වන දා ජේරුසලම හා ඊශ්‍රායල ගැටුම්වලට විසදුමක් පිළිබද වැඩි අවධානයක් යොමු නොකොට එක් සාම යෝජනාව‍ක් ඉදිරිපත් කරන ලදි. එහිදී ගැටළු සාම ක්‍රියාවලියේ දී පසුව සාකච්ඡා කිරිම අදහස් කර ඇත. ඊශ්‍රායලය විසින් ලිඛිතව මෙම යෝජනාව පිළිනොගෙන එම යෝජනාවලියට එක් විය යුතු කරුණු හා වෙනස් විය යුතු කොන්දේසි 14ක් ඉදිරිපත් කර තිබේ. පලස්තීනය මෙම කරුණු අනුමත නොකිරීම නිසා එම සාම යෝජනාව ද අසාර්ථක විය.
2002 මාර්තු 28 වන දින බේරුට් සමුළුවේ දී ( Beirut Summit) සවුදි අරාබියේ ඔටුන්න හිමි අබ්දුල්ලා කුමරු විසින් යෝජනා කරන ලද සාම ප්‍රයත්නය අරාබි සාම ප්‍රයත්නය ලෙස හඳුන්වයි. 2007 දී පැවැති රියාද් සමුළුවේදී (Riyadh Summit) මීට අනුමැතිය ලැබුණි. ‍අරාබි ඊශ්‍රායල ගැටුමට පොදුවේ විසදුම් සෙවීමත්, ඊශ්‍රායල පලස්තීන ගැටුමට ප්‍රතිකර්ම සෙවීමත් මෙම යෝජනාවේ අරමුණයි. හමාස් හා ෆාටා පලස්තීන සංවිධාන මෙන්ම අරාබි ලීගයේ සියළු සමාජිකයන්ගේ අනුමැතිය ද මීට හිමි විය. එහිදි ඉදිරිපත් වූ යෝජනාවන් මෙසේය.
§  ඊශ්රාලයේ සමග සබදතා සාමාන්යය පත් කිරිම සදහා බලෙන් අත්පත් කර ගත් ප්රදේශ වල හමුදා ඉවත් කර දැමීම.
§   බටහිර ඉවුර, ගාසා තීරය හා නැගෙනහිර ජේරුසලම ප්‍රධාන අග නගරය කරගත් නිදහස් පලස්තීනය පිළිගැනීමත්, පලස්තීන සරණාගතයන්ට සාධාරණ විසදුමක් ලබාදීම.
ඊශ්‍රායලය විසින් එය ප්‍රතික්ෂේප කරන ලැබුවත්, අරාබිලීගය විසින් මෙම යෝජනාව නැවත නැවතත් ගෙන එමින් එය ක්‍රියාත්මක කළ හැකි යෝජනාවක් බවට ඒත්තු ගැන්වීමේ උත්සාහයක තවමත් නිරතව සිටියි.
2007 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ අන්නපොලිස් (Annapolis) හීදි ද සාම සාකච්ඡාවන් ආරම්භ විය. 2008 වසර අවසානය වනවිට මෙම අර්බුදය සමථයකට පත්කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණි. සාකච්ඡාවලට සම්බන්ධ පාර්ශව මඟින් අර්බුදයට සම්බන්ධ ප්‍රධාන ප්‍රශ්න 6ක් හඳුනාගෙන ඒවා විසඳීම සිදුකළ යුතු බවට එකඟ වී ඇත. හඳුනාගත් ගැටළු වන්නේ ජෙරුසලම, අනාථයන්, පදිංචිකිරීම්, ආරක්ෂාව, දේශසීමාවන් හා ජලය යන කාරණායි. සාකච්ඡා වටයේදී මෙම කාරණා පිළිබඳව ගැඹුරට සාකච්ඡා කළ නමුත් තවමත් මෙම ගැටුමට විසඳුමක් සොයා ගැනීමට කිසිවකුට හැකි වී නොමැත.

ඉහත සඳහන් කර ඇති ආකාරයට අරාබි ඊශ්‍රායල ගැටුම දශක ගණනාවක සිට පැවත එන්නකි. වාර්ගිකත්වය හා භූමිය මුල් කර ගනිමින් ඔවුන් එකිනෙකා සමඟ යුද වදිමින් සිටී. එකිනෙකාගේ අවශ්‍යතාවයන් පිළිබඳ පමණක් සිතීම නිසා මෙම ගැටළුව මෙතරම් සංකීර්ණ වී ඇති බව සිතිය හැකි වුවද කිසිදු පාර්ශවයකට නිශ්චිත විසඳුමකට පැමිණීමට අවශ්‍යතාවයක් නොමැති බව පෙනේ. කෙසේ වුවද මෙම ගැටළුව නිසා අරාබියේ හා පලස්තීනයේ සිවිල් වැසියන් පීඩාවට පත්ව සිටිති. විශේෂයෙන් පලස්තීනයේ ගාසා තීරයේ ජනයා නිතර යුද බියෙන් ජීවත් වන බව වර්තමානයේ වුවද අසන්නට ලැබෙන්නකි.
ලෝක බලවතුන් නොයෙක් අවස්ථාවන්හීදි මෙම ගැටළුවට පිළිතුරු සෙවීමට උත්සාහ කළද නිවැරදි තීරණයකට එළඹීමට ඔවුන්ටද නොහැකි වී ඇත. මේ නිසා අරාබි ඊශ්‍රායල ගැටුම තවමත් උඩු දුවමින් පවතී. මෙම ගැටළුවට සම්බන්ධ පාර්ශවයන් ගැටළුව මනාව හඳුනාගෙන ඒ පිළිබඳව සංවේදි වන්නේ නම් නිවැරදි විසඳුමක් කරා එලඹීමට නිසැකවම හැකි වේ. එය සමස්ත ලෝකවාසි ජනතාවගේ ද පැවැත්ම සුරක්ෂිත කරලීමට  සමත් වනු ඇත.


No comments:

Post a Comment

thank you

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...