Wednesday, February 27, 2019

පුරාතන ශ්‍රී ලංකාවේ වෙළඳාම 



පුරාතන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා දායක වූ සුවිශේෂි අංගයක් ලෙස වෙළදාම හැඳින්විය හැක. අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන්ම වෙළදාම ජනතාව අතර ජනප්‍රිය ධන ඉපැයීමක් බවට පත්ව තිබූ බවට සාක්‍ෂ්‍ය සුලභව ලැබේ. රටේ රජුගේ පටන් ප්‍රභූ පන්තිය හා සාමාන්‍ය ජනයාද එකසේ වෙළදාමට නැඹුරු වී ඇති බව පෙනේ. රට පුරා විහිදී ඇති ශිලා ලේඛනවලට අනූව හා සාහිත්‍ය මූලාශ්‍රවලට අනූව එකල වෙළදාම ඉතා දියුණු තත්වයක පැවති බව පෙනේ.ඉතා පහසු කටයුත්තක් හා රාජ්‍යන් සමග නොයෙක් සම්බන්දතා ඇති කර ගැනීමට හැකි වූ නිසා වෙළදාම කෙරෙහි ජනතාව වැඩි කැමත්තක් දැක්වූ බව සිතිය හැක. වෙළඳාමෙහි අතීතය පිලබඳව සාකච්ඡා කිරීමේදි එය ලංකාව ජනාවාස වීමේ කාලය දක්වාම දිව යන්නකි. පාහියන් භික්‍ෂුවගේ දේශාටන වාර්තාවට අනූව මුලින්ම ලක්දිව ජනාවාස පිහිටුවා ගත් අය මෙහි පැමිණ ඇත්තේ වෙළෙන්දන් වශයෙනි. එමෙන්ම දිව්‍යාවදාන නම් සංස්කෘත ග්‍රන්ථයට අනූව ලක්දිව සිටි කාන්තාවන් සමග වෙළදාමේ පැමිණි ජනතාව විවාහ සබඳතා පැවැත්වීමෙන් ලංකාව ජනාවාස වූ බව දැක්වේ. මෙවැනි ඉතිහාසගත තොරතුරුවලට අනූව ලංකාවේ වෙළදාමට දිගු කාලීන ඉතිහාසයක් තිබේ. කෙසේ වුවද අනුරාධපුර යුගය පමණ වන විට ලංකාව තුළ විශාල දියුණුවක් ඇති කිරීමට වෙළදාම සමත් වී ඇත. ඒ සඳහා රට තුළ පැවති අභ්‍යන්තර වෙළදාම හා රටින් බාහිරව ඇති කරගත් විදේශීය වෙළදාමද අතිශයින් උපකාරී වී ඇත.
අනුරාධපුර යුගයේ වෙළදාම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබෙනුයේ දීපවංශයෙනි. විජය කුමරු විසින් ගොඩ නගන ලද තම්මැන්නා නුවර වෙළදපොලක් වූ බවත් ඔහු සමග පැමිණි උපතිස්ස ඇමතියා විසින් උපතිස්ස ගමෙහි වෙන් වෙන් ව පිහිට වූ අන්තරාපණ වූ බවත් දීපවංශය දක්වයි. මුල් කාලයේ අන්තරාපණ ලෙස හඳුන්වා ඇත්තේ වෙළඳපොලවල්ය. ක්‍රිඃපූ යුගයේ භික්‍ෂූන් වහන්සේලාට ලෙන් පූජා කළ අය අතර වණිජ හා වාපර යනුවෙන් හඳුන්වනු ලැබූ වෙළෙන්දන් සිටි බවට විවිධ පළාත්වල ඇති ලෙන් ලිපිවලින් තහවුරු වේ. මහා බෝධිවංශ ග්‍රන්ථිපද විවරණයට අනූව සංඝමිත්තා තෙරණිය සමග පැමිණි කුල අතර වෙළඳ කුලයට අයත් පවුල් වූ බවද සඳහන් වේ. වළගම්බා රජුගේ කාලයේ අනුරාධපුරයේ විසූ ධනවත් වෙළඳ පවුලක් ගැන තොරතුරු සීහලවත්ථු ප්‍රකරණයේ දැක්වේ. මෙම තොරතුරුවලට අනූව අනුරාධපුර යුගයේ වැසියන්ගේ ප්‍රධාන රැකියාව වූ කෘෂිකර්මාන්තයට නොදෙවෙනි තැනට වෙළඳාම පත්ව තිබූ බව පෙනේ. එමෙන්ම වෙළෙන්ඳන් වෙනම කුලයක් වශයෙන් රට පුරා විහිදී සිටි බවද පැහැදිලි වේ.
අභ්‍යන්තර වෙළඳාම.
මෙම යුගයේ රට තුළ පැවති අභ්‍යන්තර වෙළඳාම ඉතා දියුණු තත්වයක පැවති බවට සාධක ලැබේ. සෑම නගරයකම පාහේ වෙළඳසල් සහිත වීථි තිබී ඇත. නගරයෙන් පිටතද වෙළඳපොලවල් හා වෙළඳ ගම් පවත්වාගෙන ගොස් ඇත. හතර වන උදය රජුගේ (946-953)කාලයට අයත් බදුලු ටැම් ලිපියෙහි වණිග්‍රාම යනුවෙන් හඳුන්වා ඇත්තේ ද මෙම වෙළඳ ගම් බව සිතිය හැක. ක්‍රිඃ ව 4-5 සියවස්වලදී අනුරාධපුර නගරයේ ප්‍රධාන වාසල් දොරටු හතරට නුදුරින් නියම් ගම් හෙවත් වෙළඳ ගම් පිහිටා තිබූ බව සෙල්ලිපි කිහිපයකින් තහවුරු වේ. මෙම වෙළඳසල්වල ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ මෙන්ම විදේශවලින් ආනයනය කරන ලද භාණ්ඩද වෙළදාම් කර ඇත. ඒ සඳහා කදිම උදාහරණයක් මහාවංශයෙන් ලැබේ. විහාර මහා දේවියගේ දොල සංසිදීම සඳහා තිසා වැවෙන් දිය ගෙන ඒමට ගිය වේලුසුමන යෝධයා ඒ සඳහා අවශ්‍ය කළය මිලදීගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ කුම්භකාර වීදියේ වෙළඳසලකිනි. එමෙන්ම මාගම සිට අනුරාධපුරයට ගිය සුරනිමල යෝධයා සුවද ද්‍රව්‍ය මිලදී ගෙන ඇත්තේද අනුරාධපුරයේ වෙළඳසැලකිනි. ඔවුන් මිලදී ගත් භාණ්ඩවලින් කලය ලංකාවේ නිෂ්පාදනයක් වූ අතර සුවද ද්‍රව්‍ය විදේශයෙන් ආනයනය කරන ලද වෙළඳ භාණ්ඩයක් වන්නට ඇත. මහාවංශයේ දැක්වෙන මෙම පුවත් දෙකට අනූව එකල වෙළඳ භාණ්ඩ පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකිය.
අභ්‍යන්තර වෙළඳාම සඳහා රජුගේ පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. ඒ සඳහා නිළධාරින් පවා පත් කර තිබූ බවට තොරතුරු ලැබේ. වෙළඳ නිළධාරීන්ගේ ප්‍රධාන නිළධාරියා සෙට්ඨි යනුවෙන් හඳුන්වා ඇත. එය රජයේ ඉහළම තනතුරක් වූ අතර ඔහු විසින් වෙළඳාම පිළිබඳ කටයුතු හා රජයට අය විය යුතු බදු මුදල් ආදිය පිළිබඳ සියලු කටයුතු සොයා බලා ඇත. අශෝක අධිරාජයා වෙත දෙවනපෑතිස් රජු යැවූ දූත කණ්ඩායමේ සිටි ගණක නම් වෙළඳ ශේණි ප්‍රධානියාට අශෝක රජු සෙට්ඨි යන උපාධිය පිරිනැමූ බව මහවංශයේ දැක්වේ. මේ අනූව වෙළඳ නිළධාරීන්ට පවා සුවිශේෂිත්වයක් හිමිව තිබූ බව පෙනේ. රජය හා වෙළඳාම අතර මනා බැඳියාවක් ඇති කිරීමට මෙම නිළධාරින් මහගු සේවාවක් සිදුකර ඇත. නිළධාරීන් පත් කිරීම තුළින් ක්‍රමානූකූල ව්‍යුහයක් තුළ අභ්‍යන්තර වෙළඳාම සිදු කිරීමට එකල පාලකයන් බලාපොරොත්තු වන්නට ඇත.
වෙළඳසල්වල වෙළඳාම් කළ අතරම ප්‍රදේශයෙන් ප්‍රදේශයට රැගෙන ගොස් වෙළඳාම් කිරීමද එකල පැවතුනි. එසේ රැගෙන යෑම සඳහා භාවිතා කරන ලද තොටුපලවල් පටුන්ගම් ලෙස හඳුන්වා ඇත. බදුලු ටැම් ලිපියේ එවැනි පටුන්ගම් රාශියක් මහවැලි ගග අසබඩ පිහිටා තිබූ බව දක්වයි. දේශීය වෙළෙන්දන් මෙන්ම විදේශිය වෙළෙන්දන්ද රට අභ්‍යන්තරයේ වෙළඳාමට සම්බන්ධ වී ඇත. ඔවුන් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස් වෙළදාමේ යෙදී ඇත. එසේ දේශිය වෙළෙන්දන් කුරුඳු, ගම්මිරිස්, එනසාල් වැනි කුලුබඩුද හාල් වැනි දේද වෙළඳාම් කර ඇත. විදේශීය වෙළඳුන් පිගන් බඩු, සුවඳ විලවුන් ආදි දෑ වෙළඳාම් කර තිබේ. මුල් කාලයේ වෙළඳාමේදි මුදල් ලෙස සිප්පිකටු, දුංකල, පිගන් ගඩොල් කැබලි, සත්ව ඇට කටු ආදිය භාවිත කර ඇත, මුදල් ලෙස මෙම ද්‍රව්‍ය හුවමාරු කරගනිමින් නිසි ලෙස ඔවුන් වෙළඳාම සිදු කර තිබේ. මෙසේ වෙළඳාම් කිරීමේදීද වෙළෙන්දන්ට අවශ්‍ය ලෙස එය සිදු කළ නොහැකි විය. රජයේ සම්මත නීති රීති පද්ධතියට අනූව වෙළඳාම් කිරීමට සිදුවිය. එම නීති රෙගුලාසි ගොඩවාය බදුලු ආදි වෙළඳකටයුතු සම්බන්ධ සෙල්ලිපිවල දැක්වේ.
ක්‍රිඃව යුගය වන විට ලංකාවේ භාවිතා වී ඇත්තේ කහවණුය. රජවරුන් විසින් විශාල වශයෙන් සිදු කළ කහවණු පරිත්‍යාගයන් පිළිබඳව සෙල්ලිපිවල තොරතුරු සඳහන් වේ. පාලුමැකිච්චාව, මිහින්තලේ, විලේවැව, වේරගල ආදි සෙල්ලිපිවල කහවණු පිළිබඳසටහන් වී ඇත. මෙම තොරතුරුවලට අනූව තත් යුගයේ දියුණු වෙළදාමක් තිබූ බවට සාක්‍ෂ්‍ය ලැබේ. ජනතාව කහවණු භාවිතා කරනුයේ ආරර්ථික වශයෙන් රට සමෘද්ධිමත් වූ විට පමණි. කහවණු මගින් වෙළඳාම සිදු කිරීමට තරම් දියුණු තත්වයක් එකල පැවති බව මේ අනූව සිතිය හැක.
විදේශීය වෙළඳාම.
අභ්‍යන්තර වෙලඳාම මෙන්ම විදේශීය වෙළඳාමද ලංකාව තුළ අතිශයින් ජනප්‍රියව පැවතී ඇත. සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍රවලට අනූව ලංකාව ආසියාවේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් විය. සමහර සෙල්ලිපිවල සමුද යන්නෙන් වෙළෙන්දන් හඳුන්වා ඇත. එසේ හඳුන්වා ඇත්තේ මුහුද හා සම්බන්දව වෙලඳාාමේ යෙදුනු වෙළෙන්දන්ය. සාහිත්‍ය මූලාශ්‍රවල දැක්වෙන පරිදි විදේශීය වෙළෙඳුන් නිසා මෙරටට ඇති වූ බලපෑම්ද බොහෝමයකි. සූරතිස්ස රජුගෙන් රාජ්‍ය පැහැර ගනු ලබන්නේද අස් වෙළෙන්දකුගේ පුතුන් වූ සේන හා ගුත්තික විසිනි. පස්වන මිහිඳු රජුගේ කාලයේ මෙරට පැති දේශපාලන ව්‍යාකූල භාවය රාජ රාජ චෝළ රජුට පවසා ආක්‍රමණයක් දියත් කිරීමට තොරතුරු සපයා ඇත්තේද එරටින් පැමිණි වෙලෙන්දෙකි. (1153-1186) බුරුම රජු මෙරටින් ගිය වෙළඳුන්ට අවහිරකම් කිරීම නිසා පළමු පරාක්‍රමබාහු රජු බුරුමය ආක්‍රමණය කර ඇත. විදේශීය වෙළෙඳුන් නිසා ඇති වූ මෙවැනි සිදුවීම් රාශියක් වංශ කතාවල දක්නට ලැබේ.
චීනය ආදි ප්‍රධාන වෙළඳ රටවල්වලින් විවිධ වෙළඳ ද්‍රව්‍ය මෙරටට ගෙනැවිත් ඇත. ඒ අතර සේද, අගිල්, සඳුන්, කරාබුනැටි ආදිය ප්‍රධාන තැනක් ගනී. එම ද්‍රව්‍ය නැවත බොම්බාය, පර්සියාව, අරාබිය හා ඇඩ්‍යුල් ආදි ප්‍රදේශවලට බෙදා හැරීම සිදු කර ඇත්තේ ලංකාවේ සිට බව කොස්මාස්ගේ කෘතිවල සඳහන් වේ. මේ සඳහා ලංකාවේ වෙළඳ නැව් මෙන්ම පර්සියාව, ඇබිනිසියාව වැනි රටවල්වලින් විශාල නැවි යොදාගෙන ඇත. ෆාහියන්ගේ දේශාටන වාර්තාවට අනූව අනුරාධපුරයේ බොහෝ සිටුවරුන් හා අරාබි වෙළන්ඳන් ජීවත් වී ඇත. ඔවුන් වෙළඳාම සඳහා මෙරටට පැමිණි පුද්ගලයන්ය. මාෂියන් නැමැති රෝම යාත්‍රිකයා තප්‍රොබේන්වල වෙළඳ මධ්‍යස්ථාන විසි දෙකක් තිබූ බව සඳහන් කරයි. මේ අනූව ලංකාව ලොව වටා භාණ්ඩ බෙදා හරින විදේශීය වෙළෙන්ඳන් නිතර ගැවසුණු ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව පෙනේ.
ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පැවති වරායවල් විදේශීය වෙළඳාමේදි වැදගත් තැනක් ගනී. මුල් කාලයේ ලක්දිව ප්‍රධාන වරාය ලෙස සලකා ඇත්තේ මහාතිත්ථයයි. ඊට අමතරව ගෝකණ්ණයද ප්‍රධාන තැනක් ගෙන ඇත. දකුණූ ඉන්දියාවේ නාගපට්ටනය හා මහාතිත්ථය අතරත් ගෝකණ්ණය හා කාලිංග රටේ නැව් තොට අතරත් ප්‍රධාන වෙළඳ මාර්ග පිහිටා තිබී ඇත. මෙම වරායන් සේම ඌරාතොට, දඹකොළ පටුන, තිරියාය, දෙවිනුවර, ගොඩවාය යන වරායන්ද විදේශීය වෙළඳාම සඳහා යොදාගෙන ඇත.ඒවා සමීපයෙහි පිහිටවා ඇති සෙල්ලිපි මගින් විදේශීය වෙළඳාම පිළිබඳව සත්‍ය තොරතුරු රාශීයක් ලබාගත හැක.
විදේශය සමග කරන ලද වෙළඳාමේදි හුවමාරු කරන ලද භාණ්ඩ පිළිබඳව සාකච්ඡා කිරීමේදි මෙරටින් මුතු, මැණික්, කුලුබඩු, ඇත්දත් හා ඇතුන් ප්‍රධාන භාණ්ඩ ලෙස අපනයනය කර ඇත. ලංකාව මුතු මැණික් හා ඇතුන් සම්බන්ධයෙන් ලොව පුරා කීර්තියට පත්ව ඇත. මෙගස්තිනීස් දක්වන පරිදි එකල ලංකාවෙන් විශාල මුතු මෙන්ම රත්තරන්ද හමු වී ඇත. ග්‍රීසියේ විසු ටොලමි පවසන පරිදි ලංකාවේ වී, මී පැණි, ඉගුරු, ගෝමේද හා වෙනත් මැණික් වර්ගද රත්තරන් රිදී හා වෙනත් ලෝහ වර්ගද බහුලව තිබුනි. ඒවා විදේශ රටවලට වෙළඳාම් කර විශාල ආදායමක් ලබාගෙන තිබේ. ලංකාවේ නිෂ්පාදනය කළ පටසාරි පිළිබඳව සඳහනක් කාශ්මීරයේ රාජතරංගණි නම් ග්‍රන්ථයේ සඳහන් වේ. එයට අනූව එහි සිටි උසස් පවුල්වල කාන්තාවන් ලංකාවේ පටසාරි ඇඳීමට වැඩි කැමත්තක් දැක්වා තිබේ. ලංකාවේ වෙළඳ භාණ්ඩ මෙන්ම විදේශයෙන්ද මෙරටට නොයෙක් භාණ්ඩ වෙළඳාම් කර ඇත. ඒ අතර රන්, රිදී, තඔ හා අශ්වයන් ප්‍රධාන තැනක් ගෙන ඇත. සමහර විට ඒවා මෙරට භාණ්ඩ සමග හුවමාරු කරන්නට හෝ මුදල්වලට විකිණීම සිදු කරන්නට ඇත. විදේශවලින් පැමිණෙන වෙළෙන්ඳන් ගැන සොයා බැලීමට වෙනම රාජ්‍ය නිළධාරින් පත්කර සිටි බවට තොරතුරුද ලැබේ. ශිලා ලේඛනවල මහාපුටු ලද්දන් ලෙස හඳුන්වා ඇත්තේ මෙම නිළධාරින්ය. මොවුන් විසින් වෙළෙන්ඳන්ගෙන් බදු අය කරගැනීමද සිදුකර ඇත. එසේ විදේශීය වෙළෙන්දන්ගෙන් රජයට තීරු බදු වශයෙන් විශාල ආදායමක් හිමි විය. ඒ බව පළමු පරාක්‍රබාහු රජුගේ නයිනතිව් දෙමළ ලිපියෙන්ද, ගජබා රජුගේ ගොඩවාය ලිපියෙන්ද, ලීලාවති රැජිනගේ පුලියන්කුලම පුවරු ලිපියෙන්ද සනාථ වේ. කෙසේ වුවද විදේශීය වෙළඳාමද අභ්‍යන්තර වෙළඳාම මෙන්ම ඉතා දියුණු තත්වයක පැවති බව මෙම තොරතුරුවලට අනූව සිතිය හැක.
ඉහත තොරතුරුවලට අනූව ලංකාවේ වෙළඳාම ඉතා දියුණු තත්වයක පැවතී ඇත. එය අභ්‍යන්තර හා විදේශිය යන දෙයංශයෙන්ම සිදුව ඇති අතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායක්ද විය. රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වූ වෙළඳාමට රජුගේ සහයද හිමිව තිබේ. එම නිසා එය ශ්‍රීඝයෙන් රටපුරා මෙන්ම විදේශයන්හිද ව්‍යාප්ත වී ඇත. කාසි හා භාණ්ඩවලට භාණ්ඩද වෙළඳාම තුළදී හුවමාරු වී ඇත. එය රට සමෘද්ධිමත් කිරීමට මහගු පිටුවහලක් වී තිබේ. වෙළඳාමෙන් රජ්‍යට සැලකිය යුතු ආදායමක් ලැබී ඇති අතර බදු ලෙස ඒවා රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිනි. විදේශිය වෙළෙන්ඳන්ගෙන් මෙරටට හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද එල්ල වී ඇත. ඒ අතර ආක්‍රමණ ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම සංස්කාතික සමාජීය ආගමික අංශවල වෙනස්වීමක්ද විදේශීය වෙළෙන්ඳන් නිසා සිදුව ඇත. මෙවැනි සුවිශේෂි ලක්‍ෂණ රාශියක් ලාංකීය වෙළඳාම තුල දැකිය හැක.

Tuesday, February 26, 2019

මහත්මා ගාන්ධිතුමා.



බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිත රාජ්‍යන්ට අයත් වූ තවත් එක් රාජ්‍යක් ලෙස ඉන්දියාව හැදින්විය හැකිය. භුමි ප්‍රමාණයෙන් විශාල වූ ඉන්දියාවේ දේශපාලනමය, ආර්ථික, සමාජීය, සංස්කෘතිමය වශයෙන් විවිධ වූ විෂමතාවයන් ඈත අතීතයේ පටන්ම පැවතිණි. මෙම තත්වය බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීමත් සමග නව මුහුණුවරක් ගත්තේය. ඉන්දියානුවන්ගේ අප්‍රසාදයට ලක් වූ පීඩාකාරි බ්‍රිතාන්‍යය පාලන තන්ත්‍රයට විරුද්ධව ඉන්දියානුවන් තුළ නොයෙක් ජාත්‍යානුරාගි සිතුවිලි මුසපත් විය. තම අයිතීන් හා නිදහස තකා අරගල කරන්නට එම සිතුවිලි විසින් ඉන්දියානුවන් යොමු කළේය. එබදු වූ සිතුවිලිවලින් ඔද වැඩුනු ජනතාව දේශප්‍රේමීන් ලෙස නම් දරා ඇත.
ඉන්දියානුවන් අතර තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීමටත්, ස්වාධීනව ක්‍රියා කිරීමට හැකි පරිසරයක් ගොඩ නගා ගැනීමට උත්සුක නායකයෝ බොහොමයකි ඔවුන්ගේ මග පෙන්වීම යටතේ නිදහස උදෙසා ජනතාව සංවිධානගත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව තුළ සටන් ව්‍යාපාර බිහි විය. එම ව්‍යාපාර අතර ඉන්දියානු ජාතික නිදහස් ව්‍යාපාරය ප්‍රදාන තැනක් ගත්තේය. එහි ප්‍රධාන වශයෙන් ප්‍රමුඛත්වය ගත් නායකයන් අතර ගාන්ධි තුමන් ප්‍රධාන තැනක් ගනී. ක්‍රි.ව 1947 දී ඉන්දියාව නිදහස ලබා ගැනීම දක්වාම ජාතික ව්‍යාපාරය හරහා ගාන්ධිතුමා අවිහිංසාව මූලික කරගනිමින් නිදහස් සටනට පණ පෙවූහ.
ඉන්දිය ජාතික නිදහස් සටනේ පුරෝගාමියකු වූ මහත්මා ගාන්ධිගේ චරිත කතාව විමසා බැලීමත්, ඔහු ජාතික ව්‍යාපාරය තුළ කුමන ආකාරයේ දායකත්වයක් ලබා දී තිබේ දැයි විමසා බැලීමත් මෙම නිබන්ධනයෙහි මූලික පරමාර්ථය වේ. එහිදි ඔහුගේ අවිහිංසාවාදය, දාර්ශනික අදහස්, සමාජ සාධාරණත්වය ආදි මානුෂීය සංකල්ප පිළිබදවද මෙහිදි විමසා බලනු ලැබේ.
මහත්මා ගාන්ධිතුමා.
දීර්ඝ කාලයක සිට බටහිර ලිබරල්වාදයේ බලවේගයන්ට යටත්ව පැවති ඉන්දියාවේ, 19 වන සියවසවන විට ඊට විරුද්ධව හා සමාජ අසාධාරණත්වයට විරුද්ධව ජාතික බලවේගයක් සඳහා චින්තනමය විවාදයක් ගොඩනැගුණි. එහි මුලසුන හෙබවූයේ මහත්මා ගාන්ධි තුමන් ය. එතුමන්ගේ සුවිශේෂත්වය වන්නේ සියල්ල අවිහිංසාව මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීමය. ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන තැනක් ගත් නායකයෙක් වූ මොහු ඉන්‍දියානු ජාතික කොන්ග්‍රසය යටතේ ද සුවිශාල සේවයක් ඉටුකර තිබේ.
ගාන්ධි තුමන් 1869 ඔක්තෝම්බර් 02 වැනි දින ඉන්දියාවේ ගුජරාටයේ පෝබන්දාර් නම් කුඩා ගම්මානයේ උපත ලද අතර කුඩා කළ සිටම එතරම් ඉහළ පවුල් පසුබිමක් නොවුන ද යමක් කමක් තිබුණු මධ්‍යම පාන්තික පවුල් පසුබිමක් උරුම වූ අයෙක් විය. ඔහුගේ සම්පූර්ණ නම වූයේ මෝහන්දාස්‌ කරම්චාන්ද් ගාන්ධිය. මහත්මා යන්න එතුමාට ජනතාවගෙන් පිරි නැමුණු ගරු පදයකි. “මහත්මා ගාන්ධි“ යන විරරුධාවලී නාමය පසුකාලීනව ලැබූවක් විය. මහාත්මා යනු විශිෂ්ඨ ආත්මයක් ඇති පුද්ගලයෙක් යන අර්ථය දෙනු ලබන අතර තාගෝර් තුමන් විසින් ගාන්ධිතුමා වෙත මෙම විශේෂණය ලබා දී තිබේ. එමෙන්ම බාපු යන නාමයෙන් ද ඇතැමෙක් එතුමන් ව හඳුන්වනු ලබයි. ඉන්දියාවේ “ජාතියේ පියා” යන විරුදාවලි නාමය ගෞරව නාමයක් ලෙස නිල වශයෙන් ප්‍රධානය කර තිබේ. ඔහුගේ දෙමාපියන්ය වූයේ කාබා ගාන්ධි සහ පුට්‌ලිබායි යන්නවුන් ය. සිය පියා හට රාජ්කොත්හි රාජසභාවට සේවය කිරීමට සිදුවීමත් සමඟ ගාන්ධි ඇතුළු සියළු දෙනාටම එහි පදිංචියට යෑමට සිදු විය. මේ සමග එහි උසස් පාසලක අධ්‍යාපනය ලැබීමට ඔහුට ඉඩ හසර ලැබුණු අතර වයස අවුරුදු 15 පමණ වන විට සිය පියා අභාවප්‍රාප්ත වූයෙන් ඉන් පසු ඉදිරි ගමන ඉතා දුෂ්කරව ගෙන යාමට ඔහුට සිදු විය. කෙසේ වෙතත් 1887 වසරේදී ඔහුට ඉතා උසස් අන්දමින් මැටිරික්‍යුලේෂන් විභාගය සමත් වීමට හැකි විය. පාරම්පරික ඉන්දීය සිරිතට අනුව ඔහු වයස අවුරුදු 13 දී කස්‌තුරිබායි නම් තරුණිය සමඟ විවාහ විය.
වයස අවුරුදු 18 පිරීමත් සමගම 1891 දී ඔහු නීති අධ්‍යාපනය සඳහා එංගලන්තයට යන අතර එහිදී නීති අවසාන විභාගයෙන් සමත්වී නීතීඥවරයෙකු ලෙස ලන්ඩන් නගරයේ උසාවි ගණනාවක සේවයේ නිරත වී තිබේ. ඒ කාලය තුළ ඔහු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව දැඩි අවධානයකින් යුතුවූ අතර ඔවුනගෙන් කළු ජාතිකයන්ට විඳීමට සිදුවූ තාඩන පීඩන කෙරේ ද ඔහුගේ අවධානයට ලක් වී තිබේ. වසර කිහිපයකට පසු ඔහු යළිත් ඉන්දියාව බලා ආපසු පැමිණෙන අතර ඉන් අනතුරුව නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කිරීමට දකුණු අප්‍රිකාවට යාමට සිදු වේ. එය ඔහුගේ ජීවිතය වෙනස්‌ මගකට යොමු වීමට හේතු වන අතර ඔහු අවිහිංසාව නමැති අවිය උපයෝගි කරගෙන විමුක්‌තිකාමියෙකු බවට පත් වේ. ඒ වන විට දකුණු අප්‍රිකාව වාර්ගික බෙදීම් සහිත සමාජ වටපිටාවක් වූ අතර අප්‍රිකානු සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන් තාඩන පීඩනයන්ට ලක් කරන්නට විය. මින් කම්පාවට පත් වූ ගාන්ධී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට විය. ඔහු ජනතාව වෙනුවෙන් සටන් කිරීමට පෙළඹියේ මේ අයුරෙනි. මෙලෙස ආරම්භ කළ සිය සටන පසුව ඉන්දියාව පුරාම බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව ව්‍යප්ත කරන්නට විය. ඉන්දියානුවන්ගේ විමුක්‌තිය වෙනුවෙන් දකුණු අප්‍රිකාවේදී මෙන්ම ඉන්දියාවේදීද අරගල කිරීම නිසා ඔහුට කිහිප වතාවක්‌ම සිර දඬුවම් විඳීමට සිදු වූ අතර ඔහු විසින් දිගින් දිගටම කරගෙන ගිය අරගලයන්හි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1947 අගෝස්‌තු 15 වැනි දින ඉන්දියාව නිදහස් රාජ්‍යයක් ලෙස නැගී සිටීමට හැකි වී තිබේ. නමුත් 1948 ජනවාරි 30 වැනි දින යාඥ මෙහෙයක යෙදී සිටියදී එහි කඩා වැදුණු අන්තගාමියෙකු විසින් එල්ල කරණු ලැබූ වෙඩි පහරකින් එතුමන් ජීවිතක්ෂයට පත් විය.
ජාතික නිදහස් ව්‍යාපාරයේ ආරම්භය.
බිතාන්‍යයන් ඉන්දීය ජනතාවගේ සිත් දිනා ගැනීම සදහා නොයෙක් ක්‍රමෝපායන් දියත් කළහ. ඒ අතර ඔවුන්ගේ එක් උපක්‍රමයක් වූයේ අවශ්‍ය පමණට යටිතල පහසුකම් සැපයීමයි. ඒ අනූව ඔවුන් දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලදි. නමුත් එම පහසුකම් හරහා ජනතාවගේ හදවත් තුළ ජාතිකානුරාගී අදහස් ශ්‍රීඝ්‍රයෙන් පැතිර ගියේය. පසුකාලීන බ්‍රිතාන්‍යයන්ට ඉන්දීය බලය අහිමි වීම දක්වාම ප්‍රබල වූයේද එයයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව 1867 දී සුරේන්ද්‍රනාත් බැනර්ජි විසින් කල්කටා ඉන්දියානු සංවිධානය යනුවෙන් නව සංවාධානයක් ආරම්භ කළේය. එය ඉන්දියානු ඉතිහාසයේ 19 වන ශතවර්ෂයේ බිහි කරන ලද වැදගත්ම දේශපාලන සංවිධානය ලෙස හැදින්විය හැක. 1947 ඉන්දියාව නිදහස ලැබීමේ පළමු අඩිතාලම දමන ලද්දේ මෙම සංවිධානය හරහා වීම එය මැනවින් පැහැදිලි කර දෙයි.
කල්කටා ඉන්දියානු සංවිධානය හරහා සුරේන්ද්‍රනාත් බැනර්ජි විසින් බ්‍රිතාන්‍යය රජයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළේය.
  • සිවිල් සේවා විභාගය ප්‍රතිසංවිධානය කිරීම.
  • අවි ආයුධ පනත් සංශෝධනය කිරීම.
  • බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ගෙන් ගොවීන් ආරක්‍ෂා කිරීම.
මෙම ඉල්ලීම් මත පදනම්ව කල්කටා සංවිධානයට ඉහළ මහජන ප්‍රතිචාරයක් ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විශ්‍රාමලත් බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඇලන් ඔක්ටේවියන් හියුම් විසින් කල්කටා සංවිදානයට හා ඒකාබද්ධව ඉන්‍දියානු ජාතික එකමුතුව අරඹන ලදීමෙම එකමුතුව ඉන්දියාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත විය. නමුත් පසුව බැනර්ජි විසින් එය ඉන්දියානු ජාතික කොන්ග්‍රසය බවට පත් කරන ලදි.
ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ නැගී සිටීමත් සමග මුස්ලිම් ජනතාව නියෝජනය කරමින් මොහොමඩ් අලීජින්නා යටතේ මුස්ලිම් සංගමයද ජාතික කොන්ග්‍රසය සමග අත්වැල් බැදගත්තේය. පසුව මෙම සංවිදාන දෙක වෙන් වුවද නිදහස ලබා ගැනීම තෙක් මෙම සංවිධාන දෙකින් ඉටු වූ කාර්යභාරය අති මහත්ය.
මහත්මා ගාන්ධි ජාතික නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වීම.
1915 දකුණු අප්‍රිකාවේ සිට භාරතයට පැමිණි මහත්මා ගාන්ධි, ඉන්දියානු කොන්ග්‍රසයට සම්බන්ධ වීමත් සමඟම එහි නව පිබිදීමක්‌ ඇතිවිය. නිදහස දිනා ගැනීමේ සටන අවිහිංසාවාදී වියයුතුය යන පරමාදර්ශය ජනතා සිත් සතන් තුළට ඇතුළු කිරීමට මහත්මා ගාන්ධි අපමණ වෙහෙසක්‌ දැරීය. බහුජන ජාතික ව්‍යාපාරය නමින් ඔහු ජනතාවට වඩාත් සමීප වූ ව්‍යාපාරයක්‌ කොංග්‍රසය තුළම ආරම්භ කොට. තම අරමුණු සාක්‌ෂාත් කර ගැනීම සඳහා එය ඉදිරියට මෙහෙයවීය. ගාන්ධිගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණු මේ නව දේශපාලන ව්‍යාපාරය කෙරේ එවකට අට හැවිරිදි දරුවකු වූ භගත් සිංගේ සිත ඇදී ගියේය. භගත් සිං ද ඇතුළුව තවත් දරුවන් රාශියක්‌ ම ගාන්ධිගේ දේශප්‍රේමී ව්‍යාපාරය වටා එක්‌ වී සිටියාක්‌ මෙන්ම, කුඩා කල සිට ම උපන් භූමියට ආදරය කළ යුතුය යන උද්ධෘතය අනුව ගාන්ධි ළමයින් දේශපාලනයෙන් වළක්‌වා ලීමට ද උත්සාහ නොකළ බව ද මෙහිදී කිව යුතුය.
නීති උපාධිය ලබා නීතිඥවරයෙකු ලෙස දකුණු අප්‍රිකාවට සිය වෘත්තීය කටයුතු සඳහා නික්ම යාමත් සමග ඔහුගේ ජීවිතයේ නව මාවතකට දොරටු විවෘත විය. ඒ වන විට දකුණු අප්‍රිකාවේ පැවති වාර්ගික බෙදීමත් සමග සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයන් තාඩන පීඩනයන්ට ලක් කරන්නට විය. මිනිසා සමේ වර්ණය අනුව උස් පහත් යැයි වෙන්කරනු ලැබීය. පාසල්වලට කළු ජාතිකයන්ගේ දරුවන්ට ඇතුල්වීමට ඉඩක්‌ නොවීය. දුම්රියේ පවා ඉන්දියානුවන් ඇතුළු කළු ජාතිකයන් සඳහා වෙන් කළ වෙනම මැදිරි තිබිණි. මෙවැනි පසුබිමක් සමග නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තියෙහි නිරත වීමට සිදු වූ අතර ඔහු එහි දී කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් රැක දීම සඳහා දකුණු අප්‍රිකාවේ සිට ම අරගල මෙහෙයවන්නට විය. ඒ වන විට දකුණූ අප්‍රිකානු රජය ඉන්දියානුවන්ට අලුත් නීතියක් පනවා තිබිණ. එනම් සියල්ලන්ම ඇඟිලි සළකුණු තබා ලියාපදිංචි විය යුතුයි යන්නයි. මීට විරුද්ධව මූලිකත්වය ගෙන ගාන්ධිතුමන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූ අතර ඔහු යටතේ රැස් වු ඉන්දියානුවන් මේ නීතියට කිසි ලෙසකවත් යටත් නොවන බවට ද ප්‍රතිඥා ලබා දී තිබේ. මේ සියල්ල ගාන්ධී තුමන් මෙහෙය වනු ලැබුයේ හිංසනයෙන් තොර වූ බැවින් ඔවුන්ගේ මේ විරෝධතාවය සාර්ථක වුණි.
පසුකාලීනව ඉන්දියාව තුළ ඇති වූ දේශපාලන අරගල වලදී අහිංසාවාදී ක්‍රියාමාර්ගවලට ප්‍රධාන අඩිතාලම වී ඇත්තේ ද මෙම සතයග්‍රහයයි. කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස දකුණු අප්‍රිකාවේ සිටි ඉන්දියානුවන්ට ඔවුන්ගේ අයිතීන් බොහෝමයක් සුරක්ෂිත කර දීමට ගාන්ධි තුමන් ට හැකි වී තිබෙන අතර ඔහු 1896 වසරේදී යළි සිය මව්බිමට පැමිණියේය. නමුත් ඉන් නොනැවතී සටන දිගටම පවත්වාගෙන යන්නට විය. ඒ අනුව ඔහු ඉන්දීය විමුක්‌ති සටනේ පුරෝගාමියා බවට පත්විය. ඔහු ප්‍රථමයෙන් සටන ඇරඹුවේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදි පාලනයට එරෙහිවය. එකල බ්‍රිතාන්‍යය අදිරාජ්‍යය හඳුන්වන ලද්දේ හිරු නොබසින අධිරාජ්‍යය යනුවෙනි. නමුත් මහත්මා ගාන්ධිතුමා එම පාලන බලයට විරුද්ධව ජීවිතය කැප කරන්නට විය.
ඉන්දියාව නිදහස ලැබීමට ආසන්න කාලය පමන වන විට මහත්මා ගාන්ධි තුමන් නිදහස් ජාතික ව්‍යාපාරය හරහා සිය අවිහිංසාවාදය මුළු ලෝකය පුරා ව්‍යාප්ත කරලීමට සමත් වූ අතර ඉන්දීය නිදහස්‌ සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට ද පත් විය.
අවිහිංසාවාදි ව්‍යාපාරය
මහත්මා ගාන්ධිතුමා ජාතික ව්‍යාපාරය හරහා ඉන්දියානුවන්ගේ නිදහස උදෙසා මහත් වූ කාර්යභාරයක් ඉටු කළේය. එහි ප්‍රදානියා ලෙස ඔහු මත මහත් වූ වගකීම් සමුදායක් විය. තමා නිදහස් සටනට සෘජුව සම්බන්ධ වූවා සේම ජාති හිතෛසි ජනතාවද ඒ සදහා යොමු කරවා ගැනීම එතුමා අතින් ඉටු වූ සුවිශේෂි කර්තව්‍යකි. 1947 වන තෙක්ම එතුමා ජනතාව සමග නිදහස් වයාපාරයේ පෙරමුණ ගත්තේය. නමුත් ඔහු කිසිවිටකත් හිංසනයෙන් යුතු ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකළේය. සැම විටම සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලෙමින් තම අයිතීන් දිණා ගැනීමට උත්සුක විය. මේ නිසා එතුමා අවිහිංසාවාදයේ පියා ලෙස ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වීමට වැඩි කලක් ගත නොවිණි.
ඉංග්‍රීසින්ගෙන් තම රට නිදහස් කර ගැනීමේ අරගලවලට සෘජුව සම්බන්ධ වූ මහත්මා ගාන්ධි උපවාස සත්‍ය ග‍්‍රහ ආදිය සංවිධානය කරමින් ඉංග්‍රීසින්ව අපහසුතාවයට පත්කළේය. නමුත් දඩු මුගුරු ආදිය ගෙන විප්ලව කිරීම එතුමාගේ න්‍යාය පත්‍රයට අදාළ නොවීය. පළමුවැනි ලෝක යුද්ධය අවසානයේදී බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළ යෝජනාවකට විරුද්ධව මහත්මා ගාන්ධි විසින් සත්‍යග්‍රහයක් සංවිධානය කළේය. එය නීති විරෝධි බව ප‍්‍රකාශයට පත් කෙරුණු ද 1919 අප්‍රේල් 13 වැනිදා අම්රිට්සර්හි ජලියන්වලා බාග් චතුරස‍්‍රයට ඉංග්‍රීසින්ගේ තහනම නොතකා විසි දහසක් දෙනා රැස්වූහ. ඉන් කිපුණු ඉංග්‍රීසි හමුදාව රැස් වූ ජනතාවට වෙඩි තබන්නට වූහ. එහිදි අහිංසක ජනතාව සිය ගණනක් මරුමුවට විය මහත්මා ගාන්ධි මේ ඝාතනයට එරෙහිව අහිංසාවාදී විරෝධතා පෙළපාලි රාශියක් සංවිධානය කලේය. එමෙන්ම බ්‍රිතාන්‍යය නිෂ්පාදන වූ ඇඟළුම් සහ රෙදි පාවිච්චියට නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සිය රටේ නිෂ්පාදනම මිලදී ගන්නා ලෙසද බලකර සිටියේය.
මෙලෙස ගාන්ධිතුමා ඒ සම්බන්ධව නොයෙක් සත්‍යග්‍රහ ව්‍යාපාර දියත් කළේය. ඒ හේතුවෙන් එතුමාව කිහිපවරක්ම ඉංග්‍රීසින් විසින් සිරභාරයට ගනු ලැබීය. නමුත් එතුමාගේ ක්‍රියා කලාපයේ අඩුවක් නොවිණි. මෙම සත්‍යග‍්‍රහයන් අතරතුරදි ඉංග්‍රීසින් ලුණු බද්දක් පනවා ලුණු නිපදවීම තහනම් කලහ. එමගින් ලුණු නිෂ්පාදනය හා අලෙවිය බ්‍රිතාන්‍යයන්ගේ ඒකාධිකාරයක් බවට පත් විණි. දුප්පතාට මෙන්ම පොහොසතාටද අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වුණු ලුණු වලට මෙලෙස බද්දක් පැනවීම අධර්මිෂ්ඨ ක්‍රියාවක් ලෙස සැළකූ මහත්මා ගාන්ධි එයට විරුද්ධව විශේෂ ක්‍රියා මාර්ගයක් ගත්තේය. ඒ අනූව 1930 මාර්තු 12 දා මෙම ලුණු බද්දට එරෙහිව පාද යාත‍්‍රාවක් ඇරඹූ අතර එය දින 25 පුරා පවත්වනු ලැබීය. සබාර්මතී ආශ‍්‍රමයෙන් වෙරළබඩ දන්දි දක්වා සැතපුම් 241 ක් වුණූ මෙම පාගමනට ඉන්දියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වූහ. මෙම පාගමන අප්‍රේල් 5 වෙනිදා දන්දි වෙරළට ලගා වූ අතර එහිදි ගාන්ධි විසින් ලුණු අහුරක් අතට ගෙන බ්‍රිතාන්‍යයන්ගේ නීතිය කඩා දැමීය. මේ නිසා ගාන්ධි අත්තඩංගුවට පත් විය. නමුත් ඔවුන්ගේ අමානුසික නීති දෙදරවාලීමට මෙම පාගමන ප්‍රබල පිටුවහලක් විය.
මේ අයුරින් නොයෙක් අවස්ථාවලදී මහත්මා ගාන්ධි අධිරාජ්‍යවාදී පාලකයන්ගේ නීතිරීති කඩ කළේය. කොතරම් නීති විරෝධි වුවද ඔහුගේ ව්‍යාපාරයන් සාමකාමි මෙන්ම සිත් ගන්නා සළු ද විය. ඉන්දියාවේ සම්පත් හා නිෂ්පාදනයන්ගේ ප්‍රතිලාභ ලබමින් බ්‍රිතාන්‍යන් සැපවත් ජීවිත ගත කළ අතර එය ඉන්දියානුවන්ට දැරිය නොහැකි විය. ආර්ථික අපහසුතාවයන් නිසා ලක්‍ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් කුසගින්නේ මිය ගියේය. මෙම තත්වය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පැවති අතර ඉන්දියානුවන්ට නොයෙක් අකටයුතුකම් කිරීමටද බිතාන්‍යයන් පෙළඹුණේය. මේ අතර ඉන්දියානුවන් කිසිදු හේතුවක්‌ නොමැතිව සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා පනතක්‌ සම්මත කිරීමටද ඔවුන් කටයුතු කළහ. එයින් තත්වය තවත් උග්‍ර විය.
බ්‍රිතාන්‍යයන්ගේ මෙම ක්‍රියා කලාපයට එරෙහිව ගාන්ධි සත්‍යග්‍රහ සහ හර්තාල් ව්‍යාපාරයක්‌ ආරම්භ කළේය. බ්‍රිතානය ජෙනරාල් රෙජිනල්ඩ් බී. එච්. ඩයර් විසින් රැස්‌ව සිටි පිරිසට වෙඩි තබන ලෙස ඉන්දියානු හමුදාවට නියෝග කළේය. මෙහිදී පුද්ගලයින් 379 දෙනකු ජීවිතක්‌ෂයට පත්වූ අතර දහස්‌ ගණනක්‌ තුවාල ලැබූහ. ගාන්ධිතුමත් අත්අඩංගුවට පත් වූ අතර, එතුමාට වසර හයක සිර දඬුවමක්‌ නියම කරනු ලැබිණ.
ගාන්ධිතුමාගේ අවිහිංසාවාදයේ තරම දැනගැනීම සදහා පහත ප්‍රකාශය ඉතා වැදගත් වේ. ගාන්ධිතුමා හැම අවස්ථාවකදීම අවිහිංසාවාදය හා සත්‍යඅගය කොට සැලකීය. ඔහු චාම් සරල දිවිපෙවෙතක් ගත කළ අයෙක් විය. ඔහු විසින්ම ගොඩ නගාගත් ආශ්‍රමයේ වූයේ ඔහුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පමණකි. තම ඇඳුම් පැළඳුම් තමා විසින්ම සකස්කරගත් ඒවා විය. හෙතෙම, අතින් ක්‍රියාත්මක කරන ලද චර්කයකින් වියා ගන්නාද ලද නූල් වලින් මැසූ සාම්ප්‍රදායික ඉන්දියානු ජෝතිය හා සලුව භාවිතා කළේය. ඔහු සරල එළවළු ආහාරයට ගන්නා ලදී. එමෙන්ම ඔහු නිරාහාරව උපවාසයේ යෙදී සිටි කාලයද අති මහත්ය. සමහර දාට මසකටත් වඩා ඔහු එසේ සිටියේ තම ආත්ම පාරිශුද්ධත්වය හා විරෝධය පල කිරීම පිණිසම වේ.
කිහිප වතාවක්ම සිර දඩුවම් විදීමට සිදු වුවද ගාන්ධිතුමා සත්‍යග්‍රහ හා අරගල දිගටම කරගෙන ගියේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 1947 අගෝස්‌තු 15 වැනි දින ඉන්දියාවේ නිදහස්‌ සිහිනය යථාර්ථයක්‌ බවට පත්විය. ගාන්ධි කොමියුනිස්ට්වාදය නොපිළිගත් අතර ප්‍රචණ්ඩත්වය දේශපාලන උපාය මාර්ගයක් ලෙස දුටුවේ නැත. සත්‍යග්‍රහ ව්‍යාපාර නිදහස ලැබීම තෙක්ම ක්‍රියාත්මක කිරීම ඔහුගේ අරමුන විය. වරප්‍රසාද නොලත් අය ගැන කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදීව අවධානය යොමු කරමිනි. මේ අනූව එම නිදහස දක්වා වූ ගමන් මාර්ගය සාර්ථක කර ගැනීම සදහා සෑම ප්‍රයත්නයක් තුළම වූයේ මහත්මා ගාන්ධිතුමාගේ අවිහිංසාවාදි සංකල්පය බව නිතැතින්ම පැහැදිලි වේ.
මහත්මා ගාන්ධිගේ සමාජ සාධාරණත්වය
ජාතික ව්‍යාපාරය මගින් ඉන්දියානුවන්ගේ චින්තනයද උසස් මට්ටමක ඔසවා තැබුවේය. බ්‍රිතාන්‍යයන්ගේ නොයෙක් තාඩන පීඩනවලට ලක් වූ ඉන්දියානුවන්ගේ සිත් තුළ සමාජ සාධාරණත්වයක් පිළිබදව අදහස් පැන නැගෙන්නට විය. එහි පුරෝගාමියකු ලෙස මහත්මා ගාන්ධි සුවිශේෂි ස්ථානයක් ලබයි. ගාන්ධිත් සමග සමාජ සාධාරණත්වය උදෙසා චින්තනයෙන් අත්වැල් බැදගත් තවත් වැදගත් චරිතයක් වනුයේ ආචාර්ය බිම් රාඕ රාම්ජි අම්බෙඩ්කාර්ය. 1891 අප්‍රේල් 14 මධ්‍ය ප්‍රදේශයේ උපත ලද අම්බෙඩ්කාර් කුල හීනයකු වුවද නිදහස් ඉන්දියාවේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපති ධූරය දැරීමට තරම් උගතකු විය.
ඉන්දියාව අතීතයේ පටන්ම වර්ගවාදය, කුලවාදය ,ආගම්වාදය පදනම් කරගත් සමාජ ක්‍රමයකට උරුමකම් කියන රටකි. කුල භේදය දැඩිව පවතින ඉන්දියාවේ වර්තමානයේද සමස්ථ ජනගහනයෙන් 1/6 (බිලියන 1.1) කුලහීනයෝ වෙති. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජයේ පහත්ම කුලය ලෙස හරිජන බිහි විය. මේ නිසා සමාජයේ සියල්ල කුල ක්‍රමය මත පදනම් විය. ගාන්ධි හා අම්බෙඩ්කාර් මෙම කුල ක්‍රමය එකහෙලා ප්‍රතික්ෂේප කලහ. එකල ඉන්දියාවේ කම්කරුවන් ලෙස හුවා දැක්වූයේ කුලයෙන් පහත් පිරිස්ය. නමුත් මොවුන් දෙදෙනා කම්කරුවන් වර්ගීකරණය වන්නේ ඕපපාතිකව හෝ ස්වාභාවිකව නොව පුද්ගල කාර්යක්ෂමතාවය හා හැකියාවන් වර්ධනය කර ගැනීම මගින් බව පෙන්වා දුන්නේය.
අසාධාරණයට ලක් වූ ඉන්දියානුවන්ගේ විමුක්තිය උදෙසා ගාන්ධි නොබියව තම අදහස් ප්‍රකාශ කළේය. නමුත් ඒවා බොහොමයක් ආගම මත පදනම් වූ කරුණුය. සමාජ සාධාරණත්වය පිළිබඳ ගාන්ධිගේ අදහස් සමාජ, දේශපාලන, ආර්ථික, ආගමික, සංස්කෘතික යන සියලු අංශ ‍හා ඒ තුළ කුලභේදය පදනම් කරගත් සමාජය කෙරේ වැඩි අවධානයක් යොමු ‍කර තිබේ. ඔහු අවිහිංසාවාදි අදහස් පදනම් කරගනිමින් ප්‍රගතිශිලි ව්‍යාපාරයක නියුතු විය.
බුද්ධිමත් පංතියට පමණක් සීමා වූ ඉන්දීය ජාතිවාදය විප්ලවවාදී ජනතා සටනකට පරිවර්තනය කර, එහි සංවිධානාත්මක බව හා නීති රීති සැපයීම සිදු වූයේ ගාන්ධිගේ අනුදැනුම මතය. පංචමත්වය නිසා ඉන්දියාව අසීමිත ලෙස දුක් විඳින බවත් එය පාපයක් බවත් පෙන්වා දුන් ගාන්ධි පංචමත්වය දුරුකර වීම හා එය පවත්වාගෙන යෑම වරදක් ලෙසට නීති සකස් කළේය.
ආගම්, කුලවාදය දුරු කිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී විෂමතා දක්නට ලැබුණ ද එය තව දුරටත් වැඩි දියුණු කිරීමට ඔහු කටයුතු කළේය. එහිදි ගාන්ධි හින්දූන් ආරක්ෂා කිරීමටද ඊට එරෙහි බලවේග මර්දනය කිරීමටද ඉදිරිපත් විය. 1918 පැවති පීඩිත දළිත පංති සම්මේලනයේදි අම්බෙඩ්කාර් ප්‍රකාශ කළේ “මේ රට අසමානතාවයේ නිවාසස්ථානයයි.බලය හෝ ඥානය නොමැතිව බ්‍රාහ්මණ නොවන පීඩිත පංතිවලට කිසි ලෙසකත් ප්‍රගතියක් ලැබිය නොහැක” යන්නයි. ඒ සදහා පීඩිත පංතිවලට හොද අධ්‍යාපනයකුත්, සිවිල් සේවය හා ත්‍රිවිධ හමුදා සේවය සැමට විවෘත විය යුතු බවත්, ඡන්ද ක්‍රමය තුළ එක් එක් ජනවර්ග උදෙසා සම්පූර්ණ පළාත් ස්වයංපාලන අයිතිය තිබිය යුතු බවත් පෙන්වා දුන්නේය.
ඒ අනූව ක්‍රිස්තියානි, ඇංග්ලෝ ඉන්දියානු ,යුරෝපා ,ෂික් ජාතික ඉඩම් හිමියන්ට, කම්නරුවන්ට, ව්‍යාපාරිකයන්ට ස්වයංපාලන අයිතිය හිමි වීමට ඉඩ තිබුනි. නමුත් ගාන්ධි පහත් පන්තිකයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට විරුද්ධව අදහස් ප්‍රකාශ කළේය. ගාන්ධිගේ හා අම්බෙඩ්කාර්ගේ මෙම මත ගැටුම ඔවුන් දෙදෙනා සතුරන් වනතෙක්ම දුර දිග ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1932 සැප්තැම්බර් 24 දා “පූන”පනතට අත්සන් කිරීමට සිදු වුණි.
ස්වරාජ්‍ය සංකල්පය යටතේ මහත්මා ගාන්ධි විසින් ග්‍රාමීය සංවර්ධනය නගා සිටුවිමට උත්සාහ කළේය. ගම හා නගරයේ ජනතාව අතර පරතරයක් නොවියයුතු බව ගාන්ධිගේ අදහස විය. රට තුළ සියලු දෙනාට පොදු වූ සමාජයක් ගොඩ නැගීම ඔහුගේ එකම අභිප්‍රාය වූ බව පහත කියමනෙන් පැහැදිලි වේ. *නාගරික ජීවිතය පාපකාරී බවත්, දිළිඳු බව ,නූගත් බව , කුල පීඩනය ඉවත් කිරීමට ග්‍රාමීය ස්වරාජ්‍ය සංකල්පය අත් කර ගත යුතු බවත් බටහිර සංස්කෘතියේ අංගයක් වූ කාර්මීකරණයට විරුද්ධ වූ ගාන්ධි ඒ මගින් ග්‍රාමීය ජීවිතයට හානි නොවිය යුතු බව ගාන්ධි ප්‍රකාශ කළේය.“
මහත්මා ගාන්ධි තුමාගේ අධ්‍යාපනික හා දාර්ශනික සංකල්ප
අවිහිංසාවාදී සත්‍යග්‍රහ දර්ශනයේ පුරෝගාමියා ලෙස ගාන්ධිතුමා සැළකිය හැකි ය. ඒ අනුව එතුමා ශ්‍රේෂ්ඨ චින්තකයෙක්, දාර්ශනිකයෙක් මෙන් ම ශේෂ්ඨ අධ්‍යාපනඥයෙක් ලෙස ද තම කාර්යභාරය ඉටු කළේය.
අධ්‍යාපනය තුළින් හිස සහ අත පුහුණු කිරීම ම පමණක් නොව හදවත පුහුණු කිරීම ද සිදු විය යුතු බව ඔහු සඳහන් කරයි. මෙතුමා දක්වන ආකාරයට පුද්ගලයා සිය දැනුම ලබා ගත හැකි මාර්ගයට පිවිසෙනුයේ අභ්‍යන්තර ශක්‌තිය වර්ධනය කර ගැනීමෙනි. එලෙස පුද්ගලයා හට සිය අභ්‍යන්තර ශක්‌තිය වර්ධනය කර ගැනීමට හැකි වන්නේ, ස්‌වභාව ධර්මය සමග ජීවත් වෙමින් ඉඳුරන් වටහා ගෙන ඒවා නිසි පරිදි පාලනය කිරීම තුළින් බව දක්වයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් එතුමා තව දුරටත් දක්වන්නේ, ඇස‌, කන නාසය, දිව, ශරීරය ආදී වශයෙන් වූ පංච ඉන්ද්‍රියයන් තුළින් මනසට පණිවුඩ ගෙන යන අතර ඉන් හිස පෝෂණය වී දැනුම ඇති වන බවයි. එබැවින් කුඩා කල සිටම ළමයා සතු ඉන්ද්‍රිය පද්ධතිය මනාසේ පෝෂණය කොට නිසි මගට යොමු කිරීම තුළින් ළමයාගේ අධ්‍යාපන ක්‍රියාදාමය ද ඔප මට්‌ටම් කර ගත හැකි බව ගාන්ධිතුමාගේ විශ්වාසයි.
ගාන්ධිතුමාගේ අදහස වූයේ අධ්‍යාපනය යන්න සෑම දෙනාට එකසේ ලැබිය යුතුයි යන්නයි. ඒ බව ඔහු විසින් “හිරුරැස්‌ හා වර්ෂාව සෑම දෙනාටම සමසේ ලැබෙන්නා සේ අධ්‍යාපනය ද සමසේ ලැබිය යුතුයි“ යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ඔහු අධ්‍යාපන ක්‍රමවේදය ලෙස දක්වන්නේ “මව් පසින් අධ්‍යාපනය දීම යන්නයි.
ප්‍රාථමික අධ්‍යාපනය පමණක් නොව උසස්‌ අධ්‍යාපනය ද මව් බසින් ලබා දිය යුතු බව දක්වයි. එතුළින් පවුලේ සාමාජිකයන්, අසල්වැසියන්ට හා සේවකාදීන්ට පහසුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු කළ හැකි බව ඔහුගේ අදහස විය .“ එම ක්‍රමවේදය තුළින් අධ්‍යාපනය ලබා දීම පුද්ගල සංවර්ධනයන් සදහා මග පාදන්නක් බව දක්වයි. ඒ තුළ ඔහු සදාචාරාත්මක සංස්‌කෘතිකමය වාග් විද්‍යාත්මක මනෝ විද්‍යාත්මත්මක ආදී වශයෙන් වූ අගයන් සමුදායක් පිළිඹිබු කරවයි. ඔහු ඉන් උත්සුක වූයේ, විදේශ බලවේග මැඩපවත්වා දේශීයත්වය අගය, ජාතික මමත්වයෙන් යුතුව ක්‍රියා කරන කරන සමාජයක්‌ බිහි කරලීමය.
එසේ ම ශිල්ප කේද්‍රීය අධ්‍යාපනය මූලික කර ගෙන ළමුන්ගේ කුසලතා වර්ධනයට උත්සුක වී තිබේ. ඒ තුළින් ඔහුගේ අරමුණ වූයේ දේශමාමකත්වය ගොඩනැගීම තුළින් වැසියන් ඒකරාශි කිරීමයි. එමගින් දේශයේ එක්‌සත් බව හා සාමුහිකකත්වය ගොඩනැගිය හැකි බව දැක්වීය. එතුමන් සාර්ථක බුද්ධිගෝචර පුහුණුවක්‌ සඳහා අධ්‍යාපනය සමග හස්‌තකර්මාන්තය සම්බන්ධ කරනු ලැබීය. මේ සඳහා උචිත විෂය ලෙස දැක්වූයේ රෙදි විවීමයි. ප්‍රාථමික අංශයේ සිට උසස්‌ ශ්‍රේණින් දක්‌වාම මෙම කර්මාන්තය සදහා කපු නූල් කැටීම, රෙදි විවීම ඇතුළු සියලු ක්‍රියාදාමයන් උපයෝගී කරගත් අතර එය වයස්‌ මට්‌ටම් අනුව ළමුන්ගේ විවිධ කුසලතා වර්ධනයට හේතුවන බව ඔහුගේ අදහස විය. එසේ ම මෙවැනි ආර්ථික වටිනාකමින් යුත් විෂයයන් තුළින් ස්‌වයංපෝෂිත ඉලක්‌කය සපුරාගත හැකි බව ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනයේ හරය විය. මීට සමගාමීව භූගෝලය ඉතිහාසය, දේශපාලනය හා ගණිතය වැනි විෂයයන් හැදෑරීමට අවස්‌ථා ලබාදී තිබෙන අතර එතුළින් පූර්ණ වර්ධනයක්‌ ගොඩනැගිය හැකි බව ගාන්ධිතුමා විසින් පෙන්වා දුනි.
පුද්ගලයා තුළ පිරිසිදු ආකල්ප වර්ධනය කිරීමේ මාර්ගය ලෙස දැක්වූයේ ද පුද්ගල හෘදය පිරිසිදු කරගැනීමයි. එසේ සිදු කිරීම ගාන්ධි තුමන් දකිනුයේ දෙවියන් වහන්සේ දැකිය හැකි ආකාරයක් බවයි. මොහු මෙහි දී හෘදය පිරිසිදු කිරීම ලෙස සදහන් කරනුයේ බ්‍රහ්මචාරී බව, පරිත්‍යාගශීලී බව, ආත්ම දමනය වැනි ගුණාංග පුද්ගලයා තුළ දියුණු කර ගැනීමයි.එතුළින් කෙනෙකුට අවිහිංසාවාදියකු, ගවේශකයකු වීමට හැකි බවත්, ඉන් දෙවියන් වහන්සේ දැකිය හැකි බවත් වැඩිදුරටත් සදහන් කර තිබේ.
වර්තමානය වන විට බොහොමයක්‌ තුන් වන ලෝකයේ රටවල ද ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය පාදක කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ.
එසේ ම ඔහුගේ දාර්ශනික චින්තනමය හැකියාව ද උසස් මට්ටමකින් යුක්ත වූ බව පහත සදහන් කරනු ලබන ඇතැම් ප්‍රකාශ වලින් ගම්‍ය වේ. වරක් ඔහු සඳහන් කර ඇති ප්‍රකාශයකින් ඔහුගේ දාර්ශනික භාවය විද්‍යමාන වේ. එනම්, “සතර දිග් භාගයෙන් හමා එන සුළඟ ඇතුළුවීමට හැකිවනසේ ඔබේ සියළුම දොරවල් සහ ජනෙල් විවෘත කර තබන්න. නමුත් සුළඟට ඔබව ගසාගෙන යැමට නොහැකි වනසේ ඔබේම භූමිය මත ඔබ ඔබේ දෙපා දැඩිව රඳවාගෙන සිටිය යුතුයි.“ යන්නයි. එතුලින් ඔහුගේ දාර්ශනික භාවය මනාව විද්‍යමාන වේ. එසේම මොහුගේ චින්තනාවලිය කෙසේ ද යත් 1947 දී ඔහු විසින් පවත්වන ලද දේශනයක කළ ඇති අදහස් අනුව පැහැදිලි වේ. "අපට නීති මගින් කිසිදිනෙක මහජනතාවගේ ජීවන තත්ත්වය නංවාලිය නොහැකිය. එම ක්‍රමය අපට නොගැලපේ. ප්‍රථමයෙන්ම නායකයින් අංගසම්පූර්ණ පුද්ගලයන් බවට පත්විය යුතුය. ඔවුනට මහජනයා වෙනුවෙන් සේවයක්‌ කළ හැක්‌කේ එවිටය. දේශනාවලින් පමණක්‌ කිසිදු ප්‍රතිඵලයක්‌ නොලැබේ.“ මේ අනුව පැහැදිලි වන්නේ පවතින නීති මගින් ම පමණක් ජනතාවගේ ජීවන තත්වය ගොඩනනැගිමට කටයුතු කළ නොහැකි බවයි. ඒ සදහා නායකයින් ද ගුණාංගවලින් යුක්ත විය යුතු බව සදහන් කරන අතර ජනතාවට සේවය කළ හැකි මාර්ගය සකස් වන්නේ ඒ තුළින් පමණක් බවක් දේශනා තුළින් ප්‍රතිඵලයක් නොලැබෙන බවත් දත්වයි. මේ අනුව ඔහුගේ චින්තනයේ උසස් බව ගම්‍ය වේ.
1928 ඔහු චීන කාන්තාවක් වෙත යවනු බලන ලිපියක සඳහන් වනුයේ, “මූලික හේතු සාධකය ඉවත් නොකර ජාතීන් හා ජනවර්ගයක්‌ අතර සමගියත් ඇති කළ නොහැකිය. එකි මූලික සාධකය නම් ශක්‌තිවන්තයා විසින් දුර්වල තැනැත්තා සූරා කෑමයි.“ එනම් රාජ්‍යයක් තුළ පාලකයා විසින් පාලිතයා සූරා කෑම යන ප්‍රධාන හේතු සාධකය ඉවත් නොකරන තාක් කල් ජාතීන් අතර සමගිය ඇති කරලීමට නොහැකි බව දක්වයි. ඒ අනුව පැහැදිලි වන්නේ සියල්ලටම සම තත්වය සමාජය තුළ ලැබිය යුතු බවයි.
එසේ ම 1948 දී සිය මිතුරෙකු වෙත යවන ලද ලිපියක “ඉරණම හෝ දෛවය යනු කර්මයේ ඵලයයි. ඉරණම හොඳ එකක්‌ හෝ නරක එකක්‌ විය හැකිය. මිනිසාගේ උත්සාහය තුළින් පීඩිත ඉරණමක්‌ වුවද ජයගත හැකිය. මිනිසාගේ උත්සාහය හා ඉරණම අතර අඛණ්‌ඩ අරගලයක්‌ පවතී. එයින් ඇත්ත වශයෙන්ම කුමක්‌ ජය ගනීවි දැයි කිව හැක්‌කේ කාටද එම නිසා අපි අපේ උත්සාහය අඛණ්‌ඩව පවත්වාගෙන යන අතර ප්‍රතිඵලය දෙවියන්ට භාර කරමු. “ යන්නෙන් සඳහන් කර තිබිණ. මෙහි සරල අදහස් වන්නේ පුද්ගලයාගේ ඉරණම හෝ දෛවය කුමක් වුවත් උත්සහය තිබේ නම් ඕනම භාධකයක් ජය ගත හැකි බවයි.
1926 සැප්. 23 වැනි දින ගාන්ධි විසින් ශද්බට ෂබාස්‌, පුවත්පතට "මම" සහ "මගේ" යන පද ඉවත්කිරීම යන මාතෘකාව යටතේ ලියා හ ඇති ලිපියක සඳහන්ව තිබූනේ, “අපට ආගමෙන්, දේශපාලනයෙන්, හා ආර්ථිකයෙන් "මම" සහ "මගේ" යන පද ඉවත් කළ හැකි නම් අපට කඩිනමින් විමුක්‌තිය ලඟා කර ගත හැකි අතර ස්‌වර්ගයද මිහිතලය මතට රැගෙන හා හැකිය." මේ අනුව එතුමාගේ තිබූ උසස් දාර්ශනිකමය චින්තනමය ශක්තිය පැහැදිලි වේ.
විදේශීකයන්ගෙන් මෙන් ම බාහිර බලපෑම්වලින් සිය රාජ්‍යය මෙන් ම ජනයා ආරක්ෂා කර ගැනීම සදහා නමින් පමණක් සටන් ව්‍යාපාරයක් දියත් කරනු වෙනුවට සංකල්පීයම වශයෙන් ගාන්ධි තුමන්ගේ සටන් ව්‍යාපාරය දාර්ශනික, චින්තනමය, අධ්‍යාපනික,සමාජීය, සදාචාරමය වශයෙන් හර පද්ධතියකින් යුක්ත වූවක් බව ඉහත කරුණු අනුව පැහැදිලි ය.

මහාකවි භදන්තාචාර්ය අශ්වඝෝෂ තෙරුන්.



මහාභාරතය හා රාමායණය නම් වීරකාව්‍යද්වයෙන් ප්‍රාරබ්ධ ලෞකික සංස්කෘත කාව්‍ය ව්‍යාපාරයෙහි පශ්චාත් කාල කාව්‍යකරණයෙහි නවඵල ජනිත වීමේ මූලාරම්භය පිළිබඳ මහාචාර්‍ය්‍ය බෙරිඬේල් කීත් ගෙනහැර දක්වනුයේ මෙබදු විග්‍රහයකි “සංස්කෘත කාව්‍ය සාහිත්‍ය මුළුමනින්ම වැඩුණු බසක් හැටියට උපයෝගී කරගෙන තිබෙන අපට මුළුමනින්ම දක්නට ලැබෙන කාව්‍යයන් පුදුමයකට මෙන් රචනා කොට ඇත්තේ බ්‍රාහ්මණ පඬුවන් විසින් නොව බෞද්ධයකු විසින්ය. විෂය ලෝකය කෙරෙහි මිනිසාගේ ඇති ඇළුණු ස්වභාවයත් ඔවුන් ඉන් ගලවා ගැනීමේ අවශ්‍යතාවන් දුටු මොහු තම ආගමේ ඉගැන්වීම් සිත් අලවන සුළු කාව්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කොට මිනිසාගේ සිත සත්‍ය සොයා ගැනීම කෙරෙහි මෙහෙයවීමට සිතීය. එය කිස්තු වර්ෂ පළමු වන සියවස වන විට ජනප්‍රියව භාවිතයෙහි පැවති බව සහතික කොට පෙන්වන්නකි- එය ඊටත් කලින් පැවතුණා විය යුතුය.
පූර්වෝක්ත මතය තුළින් කරුණු දෙකක් පැහැදිලිය. එනම් අශ්වඝෝ කාලිදාසයන්ට පූර්වෝක්ත බවත් ඔහුගේ කෘති ක්‍රි- ව- පළමුවන සියවස වන විටත් ජනප්‍රිය ව්‍යවහාරයෙහි පැවැති බවත්ය.
භාරතයෙහි පහළ වූ කවියෙකු මෙන්ම දාර්ශනිකයෙකු වශයෙන්ද අශ්වඝෝෂයන් සුධීමත් සම්භාවනාවට පාත්‍ර වේ. එය එසේ වතුදු භාරතයෙහි පහළ වූ සෙසු කාව්‍ය වියතුන් පිළිබඳ මෙන්ම අශ්වඝෝෂයන්ගේ පෞද්ගලික ජීවන පවත පිළිබඳ ඓතිහාසික තොරතුරු හමු නොවීම සංස්කෘත භාෂා අධ්‍යයන රුචිකයින්ගේ අවාසනාවකි. ක්‍රිස්තු වර්ෂ 1892 වර්ෂයෙහි ප්‍රංශ ජාතික සිල්වන් ලෙවි (ීහකඩ්බ ඛැඩස) නම් ධීමතුන් විසින් අශ්වඝෝෂ කෘති බුද්ධ චරිතයෙහි පළමුවන සර්‍ගය ප්‍රකාශයට පත්කරන තෙක් යුරෝපිකයන් ඇතුළු වෛදේශික වියතුන් අශ්වෝඝෝෂ යන නාමය පවා දැන සිටියේ ඉතා ස්වල්ප පිරිසකි.එහෙත් අද්‍යතනය වන විට සංස්කෘත සාහිත්‍යාම්බරයෙහි ජනිත වූ ප්‍රවීණ කාව්‍ය නිර්මාපකයෙකු වශයෙන් සමස්ත ලෝකයම අශ්වඝෝෂ හඳුනා ගෙන තිබේ.
භික්‍ෂු, ආචාර්‍ය්‍ය. භදන්ත, මහාකවි මහාවාදි යන ගෞරව නාමයන්ගෙන් ජනප්‍රියත්වය ලද අශ්වඝෝෂාචාර්‍ය්‍යන් උපතින් බ්‍රාහ්මණ වංශිකයෙකි. සෞන්දරානන්ද මහාකාව්‍යයෙහි දී අශ්වඝෝෂයන්ම තම ඡන්ම ප්‍රවෘත්තිය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කර තිබේ. එනම් තම මෑණියන් නමින් සුවර්ණාක්‍ෂි නම් වන බවත් අයෝධ්‍යාවෙහි සාකේත නුවර විසූ බවත්ය.
“ආර්‍ය්‍ය සුවර්ණාක්‍ෂි පුත්‍රස්‍ය සාකේතස්‍ය භික්‍ෂොරාචාර්‍ය්‍ය භදන්තාශ්වඝෝෂස්‍ය මහාකවෙර් මහාවාදින: කෘතිරියම්”
මේ පිළිබඳව සම්ප්‍රදායන් අතරද විවිධ මත දැකිය හැකිය. අශ්වඝෝෂයන් ලෝක හා සෝණ යන දෙමාපියන්ගේ දරුවෙකු බටහිර භාරතයෙහ් ඉපදුණු බව එක් සම්ප්‍රදායක එන මතයකි. තාරානාථ සඳහන් කරන පරිදි ඔහු ඛෝර්තා (ණයදරඒ) වේ- සිටුවරයෙකුගේ කණිෂ්ට දියණියක ආවාහ කරගත් සංඝගුහ්‍ය නම් බ්‍රාහ්මණයෙකුගේ පුත්‍රයෙකි. තවදුරටත් අදහස් දක්වන තාරානාථ සඳහන් කරණුයේ සියලු ශාඛාවන් පිළිබඳ මනා දැනුමකින් පිරි තරුණ අශ්වඝෝෂයන් තම තාර්තික ඥානයෙන් බෞද්ධ විරෝධිමත පරදවමින් ඔඩිවිශ ගෞඩ තිරහුති කාමරූප යන නැගෙනහිර භාරත ප්‍රදේශයන් හි සංචාරය කළ බවයි.
අශ්වඝෝෂ තෙරුන්ගේ ජීවන සමය නීර්ණය කිරීමේදී කණිෂ්ක රජුගේ රාජ්‍යාවධියෙන් වර්ෂ 40 කට පසු ලියවුණු සාරානාත්හි අශෝක ටැම්ලිපියක රාජ්‍ය අශ්වඝෝෂ යනුවෙන් සඳහන් වන සටහන ඉතා වටී. අශ්වඝෝෂයන් කණිෂ්ක රජු හා සමකාලීනයකි- කණිෂ්ක රාජ්‍යාවධිය ලෙස බුද්ධ වර්ෂ 100 ලෙස පිළිගනී. ඔහු කනිෂ්ක රජුගේ යටත් විජිතයක ප්‍රාදේශීය රජෙකු ලෙස කටයුතු ඇති වගට පූර්වෝක්තයෙන් පැහැදිලි කර ගත හැකිය.
දිග් විජය කළ කනිෂ්ක රජු කෝසලය ස්ව පාලන තන්ත්‍රයට නතු කර ගත්තේය. එහි සිටි බ්‍රාහ්මණ පඬිවරයෙකු වූ අශ්වඝෝෂයන් පෙරළා ගාන්ධාරයට ගෙන ගොස් ප්‍රාදේශීය පාලකයෙකු ලෙස රාජ්‍යධූරය සඳහා පත් කොට ඇත. පාර්ශ්ව තෙරුන්ගේ අනුශාසනාව අසා බෞද්ධයෙකු වී පාර්ශ්ව තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ පූර්ණයශස් තෙරුන් සමීපයෙහි අශ්වඝෝෂ තෙරුන් ධර්මාවබෝධය ලදැයි චීන වාර්තාවල සඳහන් වේ. කණිෂ්කාධිරාජයන්ගේ අනුශාසකයා වූයේ පර්ශ්ව තෙරුන්ය. තෙරුන්ගේ අනුශාසනා පරිදි කාශ්මීරයේ කුණ්ඩල වන විහාරයේදී සිදු කළ ධර්ම සංගායනාවේ ප්‍රමුඛත්වය හිමි වූයේ පාර්ශ්ව තෙරුන්ටය. මෙහි උපසභාපති ධූරය දැරූ අශ්වඝෝෂ තෙරුන් මහවිභාෂා නම් අටුවාව රචනා කරන ලදී- අශ්වඝෝෂ කෘත සූත්‍රාලංකායෙහි පළමුකොට පූර්ණ යශස් තෙරුන්ටද දෙවනුව පාර්ශ්ව තෙරුන්ටද නමස්කාර කර ඇත. එහෙයින් මෙම තෙරුන් දෙපල එතුමාගේ ආචාර්යවරු යැයි පිළිගනී. භාරතීය බෞද්ධාචාර්‍ය්‍යන්ගේ නම් සඳහන් චීන නම් ලැයිස්තුවේ අශ්වඝෝෂයන් හැමවිට පාර්ශ්ව හා පූර්ණ යශස් යන ආචාර්යවරුන් දෙදෙනාට මුලින්ද පෙනී සිටී. සමස්ත භික්‍ෂු සංස්ථාවේ නේතෘත්වය දැරූ සංඝපිතෘවරුන් පරම්පරාවක් පිළිබඳ ටිබැට් පොත්වල වාර්තා කර තිබේ- එහිද අශ්වඝෝෂයන් එක් සංඝ පීතෘවරයෙකි.
කාශ්‍යප, අමෘත, ආනන්ද, නාගර්ජුන, ශාණවාසික, උපගුප්ත, ආර්‍ය්‍යදේව, ධිනික, රාහුල, බීහක, සංඝනන්දි, මහාසුදර්ශන, සංඝයශස්, බුද්ධනන්ද, කුමාරලාත, බුද්ධමිත්‍ර, ශායන්ත,පාර්ශ්ව, වසුබන්ධු,සුනශත, මනොද හා අශ්වඝෝෂ යනු එම සංඝ පීතෘවරුන්ය.
බෞද්ධ භික්‍ෂූවක් වූ අශ්වඝෝෂ තෙරුන් මහායාන ධර්ම ප්‍රචාරයෙහි නියැලුණු බවට ඇතැමෙක් විශ්වාස කරති. එනමුදු ඔහු විරචිත කිසිදු ග්‍රන්ථයක මහායානික භික්‍ෂුවක ලෙස පිළිගත හැකි කිසිදු මහායාන සංකල්පයක් හෝ සිද්ධාන්තයක් හමු නොවේ. හීනයාගයට අයත් සර්වාස්තිවාදී සම්ප්‍රදායට අයත් වූවෙකුව සිට පසුව මහායානික සම්ප්‍රදාය බිහි කිරීමේ පසු බිම සකස් කළ තෙරවරයෙකු වශයෙන් පිළිගැනීමට වියත්හු රුචිවෙති. ඇතැමෙකු උන්වහන්සේ සර්වාස්තිවාදී සම්ප්‍රදායෙහි බාහුලික නිකායට හෝ එයට පසුබිම වූ ගෝකුලික නිකායට අයත් වූ බවට පිළිගනු ලැබේ.
ඕනෑම පුද්ගලයෙකුගේ ජනප්‍රියතාව අනුව ඔහු පිළිබඳ ජනප්‍රවාද ද බහුලවේ. සමාජ ජනශ්‍රැති හරහා එම පුද්ගලයා පිළිබඳ සැබෑ තතු දැන ගැනීම උගහටය. එම කරුණ අශ්වඝෝෂ විෂයෙහිද සර්ව සාධාරණය. අශ්වඝෝෂයන් ද විවිධ සම්ප්‍රදායන් හි නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටි. මහාචාර්ය සුශුකි නාරානාථ අශ්වඝෝෂයන් සඳහා කාල, දූරදශී, දුර්දර්ශකාල, මාතෘචේට, පිතෘචේට, ශූර, ධාර්මික සුභූති හා මතිචිත්‍ර යන නම් යොදාගෙන ඇතැයි බවට සඳහන් කරයි. චීන භාෂාවෙන් රචිත අශ්වඝෝෂ අපදානයෙහි කුං-ටෙ-ජිහ් (ණමබට-එැ-වසය) නමින්ද ෆො සොව් සයි (දෙ එිදම එි්ස) නම් ග්‍රන්ථයෙහි කුං චාං යන විශේෂ නාමයෙන් ද හදුන්වා ඇත. මේ නාමයන් අතර මාතෘචේට මතිචිත්‍ර ශූර හා ධාර්මික සුභූති යන නාමයන් හුදෙක් භාවිතා කොට ඇත්තේ මොවුන් පිළිබඳ ඇති තොරතුරු වල ව්‍යාකූලත්වය හේතුවෙනි.
අශ්වඝෝෂයන් පිළිබඳ වාර්තා කරන ටිබෙට් වාර්තා කරුවෙකු මෙබඳු විග්‍රහයක් කර තිබේ. “ ඔහුට විසඳිය නොහැකි කිසිදු ප්‍රශ්නයක් නොවීය. බිඳලිය නොහැකි කිසිදු විරෝධී වාදයක් නොමැත- ප්‍රබල වාතයකින් දුර්වල ගසක් බිඳ දමන්නාක් මෙන් සියලු විරෝධවාද බිඳ දැමීය”
මීට සමාන වාර්තාවකට අනුව මොහු දක්‍ෂ සංගීතඥයෙක් විය. තමාම සංගීත ඛණ්ඩ නිර්මාණය කොට තම වාද්‍ය කණ්ඩායම වූ ගායක ගායිකාවන් සමග වෙළඳ නගරයන්හි සැර සැරීය. එතුමාම සංගීත භාණ්ඩ වාදනය කරමින් සංසාර පැවැත්මේ නිෂ්ඵලතාව කියාපාන ගීත ගායනා කළේය. එම ගීතයන්ට ජනයා නිසොල්මන්ව සවන් දුන්හ. මේ නයින් බොහෝ දෙනෙකු බුදුදහමට හරවා ගත්තේය”.
අශ්වඝෝෂයන් පිළිබඳ වාර්තා සපයන ග්‍රන්ථයන්හි දැකිය හැකි තවත් කරුණක් නම් ඉතිහාසගතව අශ්වඝෝෂ නමින් පෙනී සිටි ආචාර්‍ය්‍යවරුන් කීප දෙනෙකුගේ නමින් සඳහන් වීමයි. තාරානාථගේ සඳහන පරිදි අශ්වඝෝෂාචාර්‍ය්‍යවරුන් තිදෙනෙකු සිටි අතර ඔවුන් අතර පළමු වැන්නා බුද්ධ චරිතය රචනා කළ බෝධි සත්ව අශ්වඝෝෂයන් වෙතැයි බිල් අදහස් කරයි. අශ්වඝෝෂ කෘත ශ්‍රදෙධා්ත්පාද ශාස්ත්‍රය සඳහා නාගාර්ජුන පාදයන් විසින් සම්පාදිත මහාභාෂ්‍යයෙහි අශ්වඝෝෂ නමින් පෙනී සිටි ආචාර්‍ය්‍යවරු හය දෙනෙකු ගැන සඳහන් වේ. චීන හා තිබ්බතීය සම්ප්‍රදායන්වල අශ්වඝෝෂවරු දෙදෙනෙකු පිළිබඳ වාර්තා වේ. ඔවුන් දෙදෙනා අතර එක්කෙනෙකු නම් ආර්‍ය්‍යදේව පාදයන් විසින් බුදු දහමට පහදවා ගත්තෙකි- දෙවැන්නා නම් පාර්ශ්ව තෙරුන් හා ඔහුගේ ශිෂ්‍ය වන පූර්ණ යශස් විසින් බුදු දහමේ පහදවන ලද්දෙකි.
මොවුන් දෙදෙනාම බ්‍රහ්මණාගම සමග සම්බන්ධ වන අතර කණිෂ්ක රජුගේද සමකාලීනයන්ය- තවද සම්ප්‍රදායාගත මත පරීක්‍ෂා කළ බී- සී- ලෝ මහතා අශ්වඝෝෂාචාර්‍ය්‍යවරු තිදෙනෙකු ගැන සඳහන් කරයි.
  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර තුන්සියයක් හෝ තුන්සිය හැත්තෑවකට පසුව විසුවා වූ ද මහා සූත්‍රාලංකාරයෙහි කතුවරයා වූද අශ්වඝෝෂ.
  • පාර්ශ්ව තෙරුන්ගේ හෝ එතුමන්ගේ ශිෂ්‍යයාගේ හෝ ශිෂ්‍යයා වූද බු:ව: 400 න් පසුව විසුවා වූද හීනයාන නිකායකට අයත් ස්ථවිර හෝ භික්‍ෂුවක වූ අශ්වඝෝෂ.
  • මහායාන ශ්‍රද්ධෝත්පාද ශාස්ත්‍රයෙහි කර්තෘවරයා වූද බුද්ධ පරිනිර්වාණයෙන් වසර 500 කට හෝ 600 කට පසුව විසුවා වූද බෝධි සත්ව අශ්වඝෝෂ.
අශ්වඝෝෂයන්ගේ කාව්‍ය කරණයෙහි අරමුණු සෙසු කාව්‍ය හෝ නාට්‍ය රචකයන්ගේ අරමුණු වලට වඩා වෙනස් බවක් උසුලයි. බොහෝ කාව්‍ය නාට්‍ය රචකයන්ගේ අරමුණු වී ඇත්තේ පොදු ජන මනාහ්ලාදනය උදෙසා කවි නළු සම්පාදනය කිරීමයි. එනමුදු අශ්වඝෝෂගේ නිර්මාණ සම්පාදනය වී ඇත්තේ අසත් මාර්ගයන්හි ගමන් කරන්නාවූත් සත් මාර්ගයට ප්‍රවිශ්ට කිරීමට බව ඔහුගේ ග්‍රන්ථාගත තොරතුරු වලින් ප්‍රකට කෙරේ.
“ ඉත්‍යෙෂා ව්‍යූපශාන්තයේ න රතයේ මෝක්‍ෂාර්ථගර්භා කෘතිඃ ශ්‍රෝතෘණි ග්‍රහණාර්ථමන්‍ය මනසාං කාව්‍යෝපචාරාත් කෘතම්“.
මෝක්‍ෂාර්ථය ගැබ් කොටගත් මේ කෘතිය රතිය පිණිස නොව ක්ලේෂයන්ගේ ව්‍යූපශාන්තිය පිණිසත් ශ්‍රාවක ජනයාගේ මනසට අන්තර් ග්‍රහණිය වනු පිණිසත් කාව්‍යෝපචාරයන්ට අනුව රචනා කරන ලද බව පූර්වෝක්තයෙන් පැහැදිලි කෙරේ.

බුද්ධ චරිත මහා කාව්‍ය.



බුද්ධ චරිත මහා කාව්‍ය කීත් වින්ටර්නිට්ස් හා හුල්ට්ස් ආදී වියත්තු බුද්ධ චරිතයට පෙර සෞන්දරනන්‍ද කාව්‍ය රචනා කළ බවත් ඊට පසුකාලීනව බුද්ධචරිතය රචනා කරන්නටත් ඇතැයි විශ්වාස කරති. එනමුදු අශ්වඝෝෂයන්ගේ කාව්‍ය කරණයේ පරිණිත බවත් චමත්කාරයත් රඳා පවතිනුයේ සෞන්දරනන්ද කාව්‍යයෙහි. මෙහෙයින් බොහෝ විද්වත් මතය නම් බුද්ධ චරිතය සෞන්දර නන්දයට වඩා පූර්වතර බවය.
තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අපදානය පද්‍යානුසාරයෙන් වර්ණනා කිරීමේ අටියෙන් මෙම ග්‍රන්ථය රචනා කර ඇති වගට එහි නාමානු සාරයෙන්ම අවබෝධ කරගත හැකිය.
මහාකවි අශ්වඝෝෂයන් විසින් රචනා කරන බුද්ධ චරිතය ක්‍රිස්තු වර්ෂ 414 ටත් 421 ටත් අතර කාලයෙහි ධර්ම රක්‍ෂිත නම් භික්‍ෂුවක් විසින් චීන භාෂාවට පරිවර්තනය කරන ලදී. පරිවර්තිත එම ග්‍රන්ථය සර්‍ග විසි අටකින් (28) උපයුක්තය. එහි සම්‍යග් සම්බුදුන්ගේ උත්පත්තියෙහි පටන් සම්බුද්ධ පරිනිර්වාණය තෙක් තොරතුරු අන්තර්ගත වේ.
මේ බව ඉත්සිංද දැන සිටි බව ඔහුගේ වාර්තාවෙන් සනාථ වේ. “මෙම විශාල කෘතිය තුළින් බෝසතුන් රජමාළිගාවේ සිටි අවධියේ සිට බුද්ධ පරිනිර්වාණය දක්වා සිදුවූ සියලුම සිද්ධීන් ඇතුළත් බුදු සිරිත විස්තර වේ. මෙම ග්‍රන්ථය භාරතයේ ප්‍රදේශ 5 ක සහ දකුණු මුහුදු කර රටවල් වන සුමත්‍රා ජාවා හා ඒ අවට රටවල් වල වැඩියෙන් කියවනු හෝ ගයනු ලැබේ. අශ්වඝොෂයෙන් වචන කීපයකින් විවිධ අර්ථ හා අදහස් ඉදිරිපත් කරති. මෙයින් පාඨකයාගේ සිත කුල්මත් වන අතර පාඨකයා කිසි විටෙක වෙහෙසට පත් නොවේ”.
චීනයෙහි මතු නොව තිබ්බතිය භාෂාවටද පරිවර්තනය කරන ලද ග්‍රන්ථයෙහි සර්‍ග විසි අටකි. එනමුදු සංස්කෘතයෙන් පවතිනුයේ සර්‍ග දහ හතක් පමණි. එය බරණැස ධර්මචක්‍ර සූත්‍ර දේශනාවෙන් අවසන් වේ. අසම්පූර්ණ කොටසක් සේ පෙනෙන මෙම සර්‍ගයෙහි (14) මුල් කොටසත් අශ්ව ඝෝෂ විසින් විරචිත යැයි සලකණු ලැබේ. 14 වන සර්‍ගයෙහි අග කොටසත් 15 වන 16 වන 17 වන සර්‍ගයන් ක්‍රිස්තු වර්ෂ 1830 දී නේපාල ජාතික පඬිවරයෙකු විසින් සංග්‍රහ කරන ලදි. ඔහු එසේ කරන ලද්දේ බුද්ධ චරිතයේ සම්පූර්ණ අත් පිටපතක් නොවූ නිසා යැයි ඔහුම පවසා සිටී.
දැනට සංස්කෘතයෙන් පවතින සර්‍ග දහ හතෙන් අශ්වඝෝෂයන්ගේ සේ පිළිගන්නා සර්ග දහ තුනෙහි අන්තර්ගතය පහත පරිදි දක්වාලිය හැකිය.
ප්‍රථම සර්‍ගය බුද්ධ ජන්ම විෂයකය. එහි සුද්ධෝදන රජ හා මායාදේවී පිළිබඳ වර්ණනාවක්ද වේ. දෙවන සර්‍ගයෙන් රාහුල කුමාරයාගේ උප්පත්තිය තෙක් බුද්ධ චරිතය විස්තර කෙරේ. ජාති ජරා ව්‍යාධි මෘත පුරුෂයන් දුටු කුමාරයාගේ සංවේග උප්පත්තිය විස්තර කෙරේ. හතර වැන්නෙහි රාජකුමාරයාගේ පඤ්`චකාම විෂයෙහි ප්‍රමුඛත්වය නිර්දේශීතය. රාජකුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය පස්වන සර්‍ගයෙන් වර්ණිතය. ඡන්දයන් කපිල වස්තුවට නැවත ඒම හයවැන්නෙන්ද හත්වෙනි සර්ගයෙන් තපෝවන ප්‍රවේශය නිරූපණය කෙරේ. අටවන සර්‍ගයෙහි අන්තඃපුර ස්ත්‍රීන්ගේ විලාප වර්ණනාවය. නවවන සර්‍ගයෙහි කුමාරාන්වේෂණයද දහවන සර්‍ගයෙහි ශ්‍රේණ්‍ය මගධ රජු හමුවද එකොළොස් වන සර්‍ගයෙන් කාම විහර්ගණයද දොළොස්වන සර්‍ගයෙහි අරාඩතාපයන් සාංඛ්‍ය දර්ශනය කීර්තනය කෙරේ. දහ තුන්වන සර්ගයෙහි මාර යුද්ධයෙන් ජය ගැනීම ඉතා විචිත්‍ර අයුරෙන් චිත්‍රණය කෙරේ.
අශ්වඝෝෂයන්ගේ නිර්මාණය සර්‍ග දහතුනකින් පරිමිත වුවද එය කාව්‍යත්මක ගුණයෙන් අනූනය. එහෙයින් කීත් “අශ්වඝෝෂගේ කාව්‍ය වූකලි අවශ්‍යයෙන්ම කලාකාරයෙකුගේ කෘතියකි. සිද්ධි තෝරා ගැනීමේ දී හා පිළියෙල කිරීමේ දී උසස් ප්‍රතිඵල ගෙනී දීමට තැත්කර තිබේ.” යනුවෙන් සඳහන් කරයි.
අශ්වඝෝෂයන් පැවදිව සිටිකල සෞන්දරනන්දය කළ බව පිළිගන්නා අතර ගිහි කල්හි බුද්ධ චරිතය කළ බව සාමාන්‍ය පිළිගැනීමයි. මෙහෙයින් රඝුනාත් නන්දිගිර්කර්ගේ බුද්ධ චරිත සංස්කරණයෙහි සර්‍ගයක් පාසා “ඉති ශ්‍රී මහා මණ්ඩලේශ්වර මන්ත්‍ර්‍යශ්වඝෝෂ කෘතෞ ශ්‍රී බුද්ධ චරිතෙ මහා කාව්‍යෙ ” යනුවෙන් සඳහන් පාඨය නිදසුනක් සේ ගත හැකිය.
පූර්වෝක්ත තොරතුරු මඟින් පැහැදිලි වනුයේ සමස්ත බුද්ධ චරිත මහා කාව්‍යයෙන් මුල් සර්‍ග දහ තුනෙහි කෘතීත්වය අශ්වඝෝෂයන් හට හිමිවන බවයි.

Monday, February 25, 2019

ආර්යශූරපාදයන් විසින් ප්‍රණීත ජාතක මාලාව



සංස්කෘත කාව්‍යයනට මූල බීජ සැපයූ විිශිෂ්ඨතම ග්‍රන්ථය මහාභාරතයයි. මෙතෙක් බිහි වූ සකු නිර්මාණ දෙස බැලීමෙන් ඒ බව තහවුරු වේ. මහාභාරතය හා සමානව හෙළ කාව්‍ය කරණයේ දී කල්පලතාවක් මෙන් අවැසි වනුයේ බෞද්ධ ජාතක පාලියයි. බොදු කථා ප්‍රවෘත්තීන් සංස්කෘත ව්‍යාකරණයට යොදාගත් ප්‍රථම කාව්‍ය රචකයා වනුයේ භදන්ත අශ්වඝෝෂ ආචාර්ය පාදයන්ය. එහි සුවිශේෂ පියවරක් ඉදිරියට තබමින් බෞද්ධ සංස්කෘත සාහිත්‍ය පෝෂණය කරනුයේ ආර්යශූර පාදයෝය. එහි අග්‍ර ඵලයක් වශයෙන් ජාතක මාලාව හඳුන්වා දිය හැකිය. මේ සඳහා ඔහු පාදක කරගෙන ඇත්තේ ජාතක පාලියේ එන ජාතක කථාවන්ය. මෙය අප අතට පත්වීම සමස්ථ බෞද්ධ ජනතාව ලැබූ ජයග්‍රහණයකි. මේ පිළිබඳ පර්යේෂණ සිදු කළ බ්‍රයන් හෝටන් හෙන්ඩි්‍රක් කාර්න් පඬිවරයා මුද්‍රණ ද්වාරයෙන් මෙය පිට කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළේය.
කතුවරයා පිළිබඳ විවිධ මත 
බෝධිසත්වාවධානමාලා නමින් ද හඳුන්වනු ලබන මෙහි කර්තෘ ආර්යශූර පාදයෝය. මෙම ආර්යශූරපාදයෝම අශ්වඝෝෂ, මාතෘචේට, පිතෘචේට, දූරදර්ශ, ධර්ම සුභූති, මණිචිත්‍ර යන අපර නාම වලින් ද හැඳින්වෙන බව පිළිගන්නා වැදගත් කරුණකි. තවත් සුවිශේෂි අදහසක් වනුයේ අශ්වඝෝෂ ආර්යශූර යනු දෙදෙනෙක්ම වන අතර එක් අයෙකු නොවන බවයි. මේ සඳහා නිගමනයකට එළඹීම යෝග්‍ය ක්‍රමය වනුයේ බුද්ධ චරිතයේ සහ ජාතක මාලාවේ භාෂා විලාශයන් අධ්‍යයනය කිරීමයි. ජාතක මාලාවෙහි එන සරල සුගම භාෂා විලාශය කාලිදාස සමයට ඉතාමත් සමීප වන බව විද්වත් මතයයි. ඒ අනුව ජාතක මාලාව අශ්වඝෝෂයන්ට පසුව කාලිදාසයන්ට පෙරාතුව රචනා වන්නට ඇතැයි නිගමනය කෙරෙයි. ඕල්ඩන් බර්ග් මහතාගේ අදහස මෙය ක්‍රි:ව 434ට පූර්වයෙන් රචනා වන්නට ඇති බවයි. ඒ සඳහා මොහු ඉදිරිපත් කරන සාධකය වනුයේ චීන ජාතික ඉට්සිංගේ වාර්තාවෙහි ජාතක මාලාව පිළිබඳතොරතුරු විද්‍යමාන වීමයි.
විශේෂයෙන් ජාතක මාලාව කතුවරයා සඳහා ආර්යශුර,ශූරපාද,ආර්යශුරපාද,භදන්තශූර,ආචාර්යශූර ආදි නාමයන් රාශියක් භාවිත වේ. මේ අතුරින් ආර්යශූරපාද යන්න ලක්දිව භාවිත නාමය යැයි නිගමනය කළ හැකිය. ඒ සඳහා ප්‍රබල සාධකය නම් ධර්මප්‍රදීපිකාවෙහි මෙකී නාමය සඳහන්ව තිබීමයි. මීට අමතරව ශූරපාද ලක්වැසි ගෘහස්ථ පඬිවරයෙකු බව නිකාය සංග්‍රහය හෙවත් ශාසනාවතාරය සාක්‍ෂිය සපයයි. එහි සඳහන් වන නාමයන් හොඳින් පරීක්‍ෂා කරන්න.
“එසේම ශ්ලෝක සිද්ධාර්ථය, සාහිත්‍යවිල්ගම්මුලය, අනුරුද්ධය, දීපංකරය, මයුරපාදය, ධර්මසේනය යනාදී ස්ථවිරයන් හා ශූරපාදය,ධර්මකීර්තිපාදය, ධීරනාගපාදය, රාජමුරාරිය, කවිරාජශේකරය, අග්‍ර පණ්ඩිතය යනාදී වූ ගෘහස්ථ පණ්ඩිත ජනයෝ ධර්මානුගත ශ්ලෝක ප්‍රබන්ධ හා විචිත්‍රාර්ථ ප්‍රකාශක වූ සන්න ගැටපද හා නොයෙක් ධර්ම ව්‍යාඛ්‍යාන ඉපිද වූහ. ”
ව්‍යාඝ්‍රී ජාතකයේ සඳහන් වන පරිදි අප මහා බෝසතාණන් වහන්සේ බඩසයින් පෙළෙන මෘග දෙනකට ආහාර සඳහා ස්වශරීරය පරිත්‍යාග කළ බව සඳහන් වේ. තාරානාථ සඳහන් කරනුයේ බෝසතාණන් වහන්සේ අනුව යමින් ආර්යශූර පාදයෝ ද පැටවෙකු සහිත බඩසයින් පෙළෙන මෘග දෙනකට සිය ශරීරය පරිත්‍යාග කළ බවයි. එතුමා සම්බන්ධ මෙකී කථා ප්‍රවෘත්තිය සත්‍ය අසත්‍ය දැයි ඉඳුරා කිව නොහැකිය. එසේ වුවත් ශූරපාදයන් අතිශය පරිත්‍යාගශීලී තුනුරුවන් කෙරෙහි සැදැහැති ධර්මයෙහි පෘථුල අවබෝධයක් තිබූ පඩිවරයෙකු බව පැහැදිලිය. ඒ පිළිබඳ ජාතක මාලාව අධ්‍යයනය කිරීමෙන් මනාව අවබෝධ වේ. ගෘහවාසයේ ආදීනව පමණක් නොව පැවිදි බවේ අනුසස් පිළිබඳව එතුමාට ගැඹුරු අවබෝධයක් තිබූ වග ජාතක මාලාවේ එන ඇතැම් සිද්ධි අවස්ථා නිරූපනයෙන් ප්‍රකට වේ . එයට කදිම නිදසුනක් පහත සඳහන් වේ.
“ කුකාර්යය - ව්‍යාසංග දෝෂසම්බාධං ප්‍රමාදස්පදභූතං ධනාර්ජනරක්‍ෂණ ප්‍රසංග ව්‍යාකූලමුපගම විරෝධී ව්‍යසන ශරශත ලක්‍ෂ්‍යභූතමපර්යාන්ත කර්මාන්තානුෂ්ඨාන පරිග්‍රහ ශ්‍රමමතෘප්තිජනකං කෘශාස්වාදම් ගාර්හස්ත්‍යමවේත්‍ය තද්දෝෂ විවික්ත සුඛාංච ධර්ම ප්‍රතිපත්‍යනුකූලාං මෝක්‍ෂ ධර්මාරම්භාධිෂ්ඨානභූතාං ප්‍රවෘජ්‍යා මනුපෂ්‍යන් මහතීමපිතාන් ධනසමෘර්්ධිමපරික්ලේශාධිගතං ලෝක සන්තතිමනෝහරාං තෘණවදපාස්‍ය ..............”
ආර්යශූරපාද ඇතැම්විට ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් ගත කළා ද වියහැකිය. සාමාන්‍ය පිළිගැනීම ආර්යශූර උත්තර භාරතීය බමුණෙක් බවත් පසුව බුදුදහම වැළඳගත් බවත්ය. සාමාන්‍ය පිළිගැනීම මෙසේ වුවත් යථෝක්ත සාධක රාශිය පදනම් කරගනිමින් ලොව සුපතළ විද්වත්හු සිය මත මෙසේ ඉදිරිපත් කරති. මහාචාර්ය විජයසූරිය මහතා නිකාය සංග්‍රහයේ සඳහන් ශූරපාද ජාතක මාලාවේ කර්තෘ ආර්යශූරපාදම බව පිළිගනියි.
“ආර්ය යන්න පුද්ගල නාමයට මුලින් මෙකල වඩාත් භාවිත කළේ සංස්කෘත මාධ්‍යයෙන් බුදුදහම හදාළ මහායානයට සම්බන්ධ ගිහි පැවිදි ලේඛකයන්ය. ඇතැම් මහායාන බෞද්ධ සූත්‍ර වලට ද ඔවුහු ආර්ය යන්න යෙදූහ. ඒ අනුව ආර්යශූරපාදයන්ගේ පුද්ගල නාමය “ශූර” යන්නයි. එදා “පාද” යෙදුනේ ගෞරවය සඳහාය. අදත් එය “පාදයන් වහන්සේ ” යැයි භික්ෂු නාම අගට යෙදෙයි. එහෙත් එදාමෙන් අද නම් ගිහියන් සඳහා “පාද” නොයෙදේ.”
ලෝකප්‍රකට පුරා විද්‍යාඥයෙකු සහ ප්‍රාචීන භාෂා විශාරදයෙකු ද වන ආචාර්ය සී.ඊ.ගොඩකුඹුර මහතා මේ පිළිබඳව දක්වන මතය මෙසේය.
“ කෙනෙක් ආර්යශූර සිංහලයෙක් නොවේ යැයි කියත් එයිනුදු පෙනෙන්නේ ආර්යශූර පාදයන් සිංහලයෙකැයි මතයක් තිබුණු බවයි. ශූර පාදයන් නාලන්දාවේ ශාස්ත්‍ර උගත්තේ යැයි අයෙක් කියත් ඒද විය හැකිය.ආර්යශූර පාදයෝ නාලන්දාවේ අනුරාධපුරයට අවුත් එහිදී තමාගේ කෘතීන් කළාද විය හැකිය. ආර්යශූර පාදයන් හා නාලන්දාව අතර මහත් සම්බන්ධයක් තිබුණේය.”
තවද ආචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියෝ මේ සම්බන්ධව දක්වන මතය මෙසේය.
“ ලංකාවේ ප්‍රථම සංස්කෘත ග්‍රන්ථය ද අභයගිරියේ භික්‍ෂු නමක් විසින් ලියන ලදි. මීට පසු අභයගිරියේ විසූ ආර්යශූරපාද නම් හිමි නමක් (?) ජාතක මාලාව සකු බසින් ලියූහ. මේ ජාතක මාලාව ජානකී හරණයට වඩා වෘද්ධතම යැයි කියති.
” ආර්යශූර පාද ලක්වැසියෙකු බවට සාධක රාශියක් පවතී. ඒ අතරින් ප්‍රධාන වන්නේ ආර්යශූර පාදයන්ට පසුව මෙරට ජීවත් වූ සිංහල,පාලි කවීන්ට ඔහුගේ ආභාෂය ලැබී තිබීමයි.
“ ගුරුළුගෝමීන් විසින් ධර්මප්‍රදීපිකාවේ දී සුරාපානයේ දොස් දැක්වීම සඳහා ජාතක මාලාවේ කුම්භ ජාතකයේ පද්‍ය සයක් උපුටා දක්වා ඇත.ක්‍රි:ව 12 වන සියවසේ දී පමණ ලියන ලද පාලි හත්‍ථවනගල්ල විහාර වංශයේත්, එළුඅත්‍තනගලු වංශයේත් පෙනෙන පරිදි ජාතක මාලා ශ්ලෝක විස්සක් හා පද්‍ය කාණ්ඩ ද පාලි ගාථා පද්‍ය කාණ්ඩ හා සිංහල අනුවාද වශයෙන් ද පෙරලා දක්වා ඇත.
පාලි ජිනාලංකාර වණ්ණනා කතුවරයා ද ජාතක මාලාවේ කොටස් උපුටාගෙන ඇත. පොළොන්නරු යුගයේ ලියූ කාව්‍ය තිලක නම් සසඳා ගී කාව්‍යයට ජාතක මාලාවේ ආභාෂය ලැබී ඇත.” ඉහත සඳහන් වූ සාධකයන් ඇසුරින් පැහැදිලි වනුයේ ආර්යශූර පාදයෝ ලක්දිව වාසය කර ඇති බවය. ලක්දිව පශ්චාත් කාලීන හෙළ සකු මගධ බෞද්ධ ග්‍රන්ථයන්ට ජාතක මාලාවේ ආභාෂය ලැබීම හේතු කොට ගෙන නියත වශයෙන්ම ජාතක මාලාව ලක්දිව රචිත සංස්කෘත ග්‍රන්ථයක් බව පැහැදිලිය.
ඉට්සිංගේ භ්‍රමණ වෘත්තාන්තයේ ද ජාතක මාලාව පිළිබඳ සඳහන් වී තිබේ.ඉට්සිං දඹදිවට පැමිණියේ ක්‍රි:ව 673 දීය.
මෙකී සාධකයන් ඇසුරින් මහාචාර්ය ඕල්ඩන් බර්ග් මහතා ආර්යශූර විසූ කාලය නිර්ණය කරයි. ඒම මහතා 07වන සියවසට මෙපිට ආර්යශූර පාදයන් විසූ බව දක්වයි. මීට අමතරව ජාතක මාලාවේ කාල නිර්ණය පිළිබඳව සාධකයක් අජන්තාවේ අඳින ලද සිතුවම් තුළින් ද අනාවරණය වේ. එහි සඳහන් සිතුවම් වලට යටින් ජාතක මාලාවේ පද්‍ය ලියා ඇත. අජන්තාවේ සිතුවම් ක්‍රි:ව 06 වන සියවසට අයත්ය.
ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා මේ පිළිබඳව දක්වන ලද මතය නම් කුමාරදාස කවියාට සමකාලීන වන අතර ආර්යශූරපාද ඊට පෙර විසූවකු බවයි. මේ අනුව ආර්යශූරපාද ක්‍රි:ව 01 - 04 සියවස් අතර විසූවකු බව මේ පිළිබඳව කරන ලද පර්යේෂණ තුළින් තහවුරු වී ඇති අතර බොහෝ පඬුවන් ද එකී මතය පිළිගනී.
ග්‍රන්ථ තත්වය 
මෙහි ජාතක කථා 34 ක් අන්තර්ගතය. සරල සුගම බස් වහරක් ජාතක මාලාව සඳහා යොදාගෙන ඇති අතර එය ශ්‍රාවක පාඨක කාහට වුව ද පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි වීම මෙහි විශේෂත්වයකි. ගද්‍ය පද්‍ය දෙකින්ම යුක්ත වීම හේතුවෙන් චම්පු කාව්‍ය ගණයට අයත් වූවකි. අප්‍රකට වෘත්ත රාශියක් මේ සඳහා යොදා ගෙන ඇත. අවිෂහ්‍ය ශෙට්ඨි ජාතකයේ 22 සිට 24 තෙක් වූද බ්‍රහ්ම ජාතකයේ 04,32 වැනි ශ්ලෝක මත්ත මයුර වෘත්තයෙන් බැඳ ඇත. එසේම කුම්භ ජාතකයේ 17 වැන්න ද මහා බෝධි ජාතකයේ 25 වැන්න ද ප්‍රමිතාක්‍ෂර වෘත්තයෙන් බැඳ ඇත. බ්‍රහ්ම ජාතකයේ 26 භුජංග ප්‍රයාත වෘත්තයෙන් ද කුම්භ ජාතකයේ 20 වැන්න ප්‍රහරණ කලිකා වෘත්තයෙන් ද මහා බෝධි ජාතකයේ 34 සිට 39 තෙක් වූ ශ්ලෝක සුමතිකා විරිතෙන් ද බැඳ ඇත.
ජාතක මාලාව සකු කාව්‍යක් වශයෙන් පමණක් අපට හඳුන්වා දිය නොහැකිය. ධර්ම ග්‍රන්ථයක් වශයෙන් බෞද්ධ ලෝක වාසීන්ට මෙය සමීප වූවකි.
ශ්‍රීමන්තී සත්ගුණ පරිග්‍රහ මංගලානි -කීර්ත්‍යාස් පදාන්‍ය නව ගීත මනෝහරාණි පූර්ව ප්‍රජන්ම සුමුනේශ්චරිතාද් භූතානි - භක්‍ත්‍යාශ්ව කාව්‍ය කුසුමාඤ්ජලිනාර්චෛෂ්‍යෙ
පෙර ප්‍රසිද්ධ ජාතිවල සර්වඥයන් වහන්සේගේ සෝභා සම්පන්න වූ සාධු ගුණ ඇතුළත් බැවින් කල්‍යාණ වූ කීර්තියට ස්ථාන වූ අනින්දිත වූ එහෙයින්ම මනහර වූ අද්භූත චරිතයන් ස්වකීය කාව්‍ය නැමති මල් ඇඳිල්ලෙන් ආදරයෙන් පුදන්නෙමි.
මේ අනුව බෝසතුන්ගේ අද්භූත මනහර වූ චරිතයන් විස්තර කිරීම මෙහි සුවිශේෂී පරමාර්ථයයි. බෝධිසත්වාවධානමාලා යන්නද ඒ අනුව අර්ථවත් වන්නකි. අවධාන යන්නෙන් චරිතය හඳුන්වන අතර බෝසතුන්ගේ චරිත මෙහි විස්තර වන බැවින් එකී නාමය ද මේ කාව්‍ය කෘතියට යෝග්‍යය.
ජාතක මාලාවේ එන 34 ක් වූ ජාතක කථාවන් සුපරීක්‍ෂාකාරීව බැලීමෙන් ශූරපාදයන්ගේ තවද පරමාර්ථයක් පැහැදිලි වේ. එනම් පාරමිතාවන් එකින් එක විස්තර කිරීමට කවියා අපේක්‍ෂ කළ බවයි. එහෙත් සර්වප්‍රකාරයෙන් ස්වකීය අදහස සමෘද්ධ වූ බවක් මේ තුළින් නොපෙනේ. මෙහි සඳහන් මුල් කථා 10 බෝධිසත්වයන්ගේ දාන පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය දැක්වෙන සිත්කළු කථාවන්ගෙන් යුක්තය. දෙවන කථා 10 ශීල පාරමිතා විස්තර කරන අතර තෙවන කථා 10 වෙන් වන්නේ ක්‍ෂාන්ති පාරමිතාව විස්තර කිරීමටය. මහායාන පාරමිතා ලැයිස්තුවේ ක්‍ෂාන්ති පාරමිතාව තෙවන පාරමිතාවයි. සෙසු කථා සතර බෝධිසත්වයන්ගේ වීර්ය පාරමිතාව විස්තර කරනු ලබයි. ඒ අනුව කතුවරයා සෑම පරාමිතවකටම බෝධිසත්ව කථා 10 බැගින් එක් කරමින් බෝසතුන්ගේ දස පාරමිතාවන් විස්තර කිරීමට උත්සුක වූ බවක් පෙනේ. එහෙත් එය සම්පූර්ණ ධර්ම ග්‍රන්ථයක් බව නොපෙනේ. එය සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ තාරානාථ දක්වන පරිදි ඔහු කළුරිය කළ නිසාවෙන් විය හැකිය.
ජාතක මාලාවට මූලාශ්‍ර වී ඇත්තේ ජාතක පාලිය බව අප යට දක්වන ලදි. ඒ අනුව ජාතක පාලියෙන් කථා වස්තු 20 ක් ද කථා 12 ක් චරියා පිටකයෙන් ද ගෙන ඇත. කථා වස්තු දෙකක් අප්‍රකට මූලාශ්‍රයකින් ගෙන ඇත. ඇතැම් විට මෙය තත්කාලීන යුගයේ ජන ව්‍යවහාරයේ පැවතියාද විය හැකිය.
ජාතක මාලාවේ පැනෙන කථා ශරීරය දෙස බැලීමෙන් මහායාන ආභාෂය කෙතෙක් දුරට බලපා ඇද්දැයි වටහා ගත හැකිය. ශූරපාදයන් කථා වස්තූන් පෙළගැස්වීමේ දී යම් අනුපිළිවෙළක් අනුව ගොස් ඇති බව පෙනේ. මහායානිකයන් දස පාරමිතා දක්වන පිළිවෙළට ජාතක කතා සංග්‍රහකොට ඇති බව මැනවින් පසක් වේ. මේ පිළිබඳ කරුණු යට දක්වන ලදී. විශේෂයෙන් මහායානික ධර්මය තුළ පාරමිතා සම්පූර්ණත්වයට පත් කරනුයේ හුදෙක් බුදුවීම සඳහා නොව අන්‍යයන්ට යහපත සලසා දීම සඳහාය. මෙකී මහායාන අදහස් ජාතක මාලාවට පිවිස ඇති බව ඇතැම් ජාතක කතාවන් තොරතුරු සපයයි. හස්ති ජාතකයේ ද එබඳු තැනක් පිළිබඳව විස්තර වේ. කාන්තාරයේ පීඩිත වූවන්ට සිය සිරුර පූජා කරනුයේ මෙබඳු පරමාර්ථයක් ඇතිවය.
“ නායං ප්‍රයත්න: සුගතිං සමාප්තුං - නෛකාත පත්‍රාං මනුජේන්‍ද්‍ර ලක්‍ෂමීම් සුඛප්‍රකර්ශෛ: කරසාන් නච දස්‍යාං - බ්‍රාහ්මිං ශ්‍රියං නෛව න මෝක්‍ෂ සෞඛ්‍යං ”
“යත් වස්ති පුණ්‍යං මම කිඤ්චි දේවං- කාන්තාරමග්නං ජනමුජ්ජිහීර්ෂෝ: සංසාර කාන්තාර ගතස්‍ය තේන - ලෝකස්‍ය නිස්තාරයිතා භවේයම්”
ඉති විනිශ්චිත්‍ය ස මහාත්මා ප්‍රමෝදාදගණික ප්‍රපාත නික්ෂේප මරණ දුක්ඛං ස්ව ශරීරං තස්මාත්ගිරිතටාද්‍යතෝද්දේශං මුමෝ ච.
මෙයටම උදාහරණයක් වශයෙන් සිවි ජාතකයේ පැනෙන තැනක් විස්තර කර දිය හැකිය. සිවි රට රජතුමා තමා වෙත පැමිණි යදියාට ස්වකීය ඇස් පරිත්‍යාග කරනුයේ පරාර්ථය සඳහාමය. එය ආර්යශූර පාදයන් මෙසේ ඉදිරිපත් කරයි.
“ නායං යත්න: සාර්ව භෞමත්වමාප්තුං - නෛව ස්වර්ගං නාපවර්ගං නකීර්තිං ත්‍රාතුං ලොකානිත්‍යං ත්‍වාදරො මේ - යාඥා: ක්ලේශෝ මාච බුදස්‍යමෝඝ: ”
“ මේ උත්සාහය තෙම චක්‍රවර්ති බවට නොවේ. ස්වර්ගයට පැමිණෙන්නට නොවේ. මෝක්‍ෂයට පැමිණෙන්නට නොවේ. කීර්තියට පැමිණෙන්නට නොව්. ලෝකයා ආරක්‍ෂා කරන්නට මාගේ මේ ආදරය වේ. මේ බ්‍රාහ්මණයාගේ ඉල්ලීමේ දුක හිස් නොවේවා ”
මෙහිදී පැහැදිලිව දක්නට ලැබෙන්නේ බුදුවීම සඳහා කරනු ලබන පරිත්‍යාගයක් නොව යාචකයාගේ ඉල්ලීම පූර්ණත්වයට පත් කිරීම සඳහා වූ පරිත්‍යාගයක් බවය.
ඒ අනුව මහායාන ආභාෂය ජාතක මාලාවට ලැබී ඇති අවස්ථාවක් වශයෙන් මෙය ද පෙන්වා දිය හැකිය. අගස්ත්‍ය ජාතකයේ දී ද බෝසතාණන් වහන්සේගේ පරමාර්ථය ලෝකවාසීන් ජාති,ජරා,ව්‍යාධි,මරණ ආදියෙන් ආරක්‍ෂා කිරීමයි. ඒ බව පහත සඳහනින් කියවේ.
“ පුන: පුනර්ජාති රතීව දු:ඛං - ජරා විපත් ව්‍යාධි විරූපතාශ් ච මර්තව්‍ය මිත්‍යා කුලතා ච බුද්ධේර් - ලෝකාන තස්ත්‍රාතුමිති ස්ථිතෝස්මි ”
“ නැවත නැවත ඉපදීම ද ජරාව විපත්තිය ව්‍යාධිය යන විකාර භාවයෝග මැරිය යුතුය යන බුද්ධියගේ ව්‍යාකූල බව ද ඉතාම දුක් වන්නාහ. එහෙයින් ලෝකවාසීන් මේ ජාත්‍යාදියෙන් ආරක්‍ෂා කරන්න යැයි සිටියේ වෙමි. ”
ජාතක මාලාව මෙබඳු මහායාන ආභාෂයක් ලැබුන ද මෙකී ග්‍රන්ථය ඍජුවම මහායාන කෘතියක් බව කිව නොහැකිය. ථෙරවාදී බෞද්ධ ලක්‍ෂණ මෙහි සුලභව හමුවේ. ග්‍රන්ථාරම්භයේ දී ද ආර්යශූර පාදයෝ තෙරුවනට නමස්කාර කරමින් බෝධිසත්ව වැනුම සිදු කළහ. මහායානිකයෝ බුදුරජාණන් වහන්සේට,බෝසතුන්ට විනා සංඝරත්නයට නමස්කාර කිරීමක් නොකරති. ඒ අනුව ථෙරීය සංස්කෘත ග්‍රන්ථයක් වන ජාතක මාලාවෙහි මහායාන ධර්මය ඉගැන්වෙන බෝධිසත්ව සංකල්පය සහ තදානුබද්ධ ආභාෂයන්ගෙන් ද පෝෂණය වී ඇති අයුරු කීම වරදක් නොවේ.
භාවිත කාව්‍ය උපක්‍රම 
කාව්‍ය ප්‍රබන්ධයක් කිරීමේ දී සැළකිය යුතු කරුණු කිහිපයක් පවතී. ඒ අතර අලංකාර,කාව්‍ය ගුණ ඇතුළත් වීම ප්‍රධාන වේ. මෙකී ගුණයන් ගිලිහුණු විට කාව්‍ය ප්‍රබන්ධය නීරස වේ. ශ්‍රාවක පාඨක හදවත් තම කාව්‍යයේම බද්ධ කොට තබා ගැනීමට කවියා නිරතුරු උත්සුක විය යුතුය. එය සාර්ථක වූ තැන ස්වකීය කාව්‍ය කෘතීන් පාඨක ජනයා අතර සම්භාවනාවට පත් වේ. ජාතක මාලාව තුළ එකී ගුණයන් සමව පවත්වාගෙන යාමට ශූරපාදයෝ පොහොසත් වී ඇත. ඒනිසාම ජාතක මාලාව ඉතා අගනා බෞද්ධ ග්‍රන්ථයක් වශයෙන් පමණක් නොව සාහිත්‍ය ග්‍රන්ථයක් වශයෙන් ද ජනාදරයට පාත්‍ර වී පවතී . මෙහිදී ආර්යශූර පාදයන්ගේ පරමාර්ථය බෝධිසත්ව චරිත වර්ණනා කිරීමයි. බෝධිසත්ව චරිතයන්ට ද හානියක් නොවන පරිදි සුවිනීතව කාව්‍ය රචනා කිරීමට ඔහු පොහොසත්කම් ලබා ඇත. ජාතක මාලාව හුදු කාව්‍ය රචනයක් නොව ධර්ම ග්‍රන්ථයකි. එබැවින් ජාතක මාලාව ඇතැම් අවස්ථා සිද්ධි ඉදිරිපත් කිරීමේ දී සෘංගාරාදී නව විධ රසයන්ට බාධක පැනවීමට ද සිදු වු බව පෙනේ. කෙසේ වෙතත් ජාතකමාලාකරු සහෘද සිත බැඳ තබා ගැනීමට අනුගමනය කළ කාව්‍ය උපක්‍රම කිහිපයක් මතුවට දක්වනු ලැබේ.
ජාතකමාලාවට මූලාශ්‍ර සැපයූ ග්‍රන්ථ වල උපමා දක්නට නොලැබේ. එහෙත් සුඛාවබෝධය සඳහා ඒඑ ් චරිත අවස්ථා විස්තර කිරීමට ආර්යශූර පාදයෝ උපමා භාවිත කිරීම මෙහි පෙනෙන කාව්‍ය උපක්‍රමයකි. ස්වකීය කාව්‍ය රචනය තුළ පාඨකයා ඇදබැඳ තබාගැනීමට එය ඉවහල් වූ බව පෙනේ.
“ පර්වදිවසේෂු ච පෝෂධනියම ප්‍රශම විභූෂණ: ශීර:ස්නාත: ශුක්ලක්‍ෂෞමවාසා හිමගිරි ශිඛර සංනිකාශං ”
“වෛඩූර්ය කුට්ටිම මනෝහර ශාද්වලානි ” “තස්‍ය යත්නානුරෝධේන පපාතාම්බු කමණ්ඩලෝ: පද්ම පත්‍රාභිතාමාභ්‍යාං නෙත්‍රාභ්‍යාං ස්වමේවතු”
“ දානවර්ෂ කෘතයුග මේඝ ඉව වවර්ෂ”
“තුභ්‍යමෙව ප්‍රයච්ඡාමි මන්‍ද්‍රිං භාර්යාමිමාවහම් ව්‍යතීත්‍ය නහි ශිතාංශූං චන්‍ද්‍රිකා ස්ථාතු මර්හති”
ආදී උපමා තුළින් ඹහුගේ අපේක්‍ෂාව වූයේ පාඨකයාට රසවත් අයුරින් ජාතක කථා අවබෝධ කර දීමයි. මන්‍ද්‍රි දේවිය දරු දුක ඉවසාගත නොහැකිව සිහිසුන්ව වැටෙන අයුරු “ ශෝකාග්නිනා පරිගත හෘදයා ඡින්න මූලේව ලතා නිපපාත ” යනුවෙන් දක්වා ඇත. මේ අනුව ජාතකමාලා කතුවරයා උපමා යොදාගෙන රසවත් උපදේශ ගෙනහැර දැක්වීමට ද විශේෂ සමත් කමක් දක්වා ඇති බව මින් පැහැදිලි වේ . එමෙන්ම ජාතක කථාවන් කීම පමණක් නොව සාහිත්‍යමය රසාස්වාදයක් ඇති කිරීමට ද උපමා භාවිත කර ඇති බව පෙනේ.
තව ද ජාතක මාලාවේ පෙනෙන වැදගත් රචනා උපක්‍රමයක් නම් අවස්ථා නිරූපණය සහ පුද්ගල චරිත නිරූපණයයි. ඔහු හඳුන්වා දෙන චරිත ඉතා නිරවුල්ය. පැහැදිලිව වහා අවබෝධකට හැකිය. සෑම පුද්ගල චරිතයක් ම සෑම අවස්ථා නිරූපණයක්ම හිත් එළවන අයුරුන් ගොඩනගා ඇත. එනිසාවෙන් පාඨක හදවත් තුළ චිත්තජ රූප මැවෙනුයේ සජීවි බවක් ද එක් කරමිනි. පහත සඳහන් උදාහරණ පිරික්සා බලන්න.
“ යුවාපි වෘද්ධෝප ශමාභිරාම: - තේජස්ව්‍යපි ක්‍ෂාන්ති සුඛාස්වභාව: විද්වානපි ඤාණමදානභිඥ: - ශ්‍රියා සමෘද්ධෝප්‍යවලේප ශුන්‍ය : ”
“ අමෘෂ්‍යමාණ: ස ජගද්ගතානං - දු:ඛොදයානං ප්‍රසෘතාවලේපම් දානේෂුවර්ෂි කරුණෝරුචාප:- තෛර්යුද්ධ සංරම්භමිවාජගාම”
සාමාන්‍ය පුද්ගල චරිතවලට වඩා ගුණ රාශියක් බෝධිසත්ව චරිත තුළ පවතී. බෝසත් චරිතයක කැපීපෙනෙන ලක්ෂණය පරාර්ථචරියාවයි. එබඳු ගුණ ඉතාම සරලව සම්පිණ්ඩනය කර චරිතයක් ගොඩනැඟීම ඉතා පහසු නොවේ. එහෙත් ආර්යශූර පාදයෝ බෝසතුන් තුළ පවතින සියලු ගුණ වෙස්සන්තර චරිත වර්ණනාවේ දී නිරූපණය කොට ඇත. සන්සුන්කමින්, ඉවසීමෙන් ,උගත්කමින්, නිරහංකාර බවින් පමණක් නොව අසීමිත කරුණාව,ත්‍යාගශීලි බව යන ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් වෙස්සන්තර චරිතය පරිපූර්ණත්වයට පත්ව ඇත.
“ අථාත්‍ර ව්‍යඝ්‍ර වනිතාං දදර්ශ ගිරි ගහ්වරේ ප්‍රසූති ක්ලේශ දෝෂේණ ගතාන් නිසපන්ද මන්දතාම් ”
“පරික්‍ෂා මෝක්‍ෂණ යුගාං ක්‍ෂුධා ඡත්තරෝදරිම් ආහාරමිව පශ්‍යන්තීං බාලාන් ස්ව තනයානපි ”
“ ස්තන්‍ය තර්ෂාදුපසෘතාන් මාතෘ විස්‍රම්භ නිර්ව්‍යථාන් රොරූයිත රවෛ: ක්‍රෑරෛර්භර්තසයන්තීං පරානි ච ”
ඉත්බිති ඒ පර්වත ගුහාවෙහි ප්‍රසව පීඩා දෝශයෙන් නිශ්චලත්වයට හා මුලා බවට පැමිණියා වූ වැහීරී ගිය නෙත් දෙකක් ඇත්තා වූ සගින් දුර්වල වූ උදරයක් ඇත්තා වූ කිරි පිපාසයෙන් එළඹියා වූ මව් කෙරෙහි විශ්වාසයෙන් නිර්භය වූ ස්වකීය දරුවන් පවා ආහාරයක් මෙන් බලන්නා වූ රළු වූ අතිශයින් රාවය කරන ලද නාදයෙන් අන් දරුවන්ට මෙන් භය කරන්නා වූ මෘග දෙනක් දුටුවේය.
බඩ සයින් පෙළෙන ව්‍යඝ්‍ර ධේනුව පිළිබඳ කරනු ලබන මෙකී විස්තරය පාඨක හදවත් තුළ රූප රාමු මෙන් මැවි මැවී පෙනේ. ආර්යශූර පාදයෝ ඒ ඒ චරිත ස්වභාවයෙන් ම මුලුමනින්ම අධ්‍යයනය කර ඉතාමත් දක්‍ෂ අයුරින් චරිත නිරූපණය කොට ඇති බව පෙනේ.
“ අථ කදාචිත් මූලඵලාර්ථං ගතායං රාජපුත්‍ර්‍යාන් පුත්‍රයො: පරිපාලන නිමිත්තං ආශ්‍රම පදං අශූන්‍යං කුර්වානෙ රාජපුත්‍රෙ මාර්ගරේනු පරුෂීකෘත චරණප්‍රජංග: පරිශ්‍රමක්‍ෂාම නයනවදන: දණ්ඩකාෂ්ඨාවබද්ධස්කන්ධාවසක්තකමණ්ඩදු: බ්‍රාහ්මණ: පත්න්‍යා පරිචාරකානයනාර්ථං ස්මර්පිතදෘඪසන්දේශ: තං දේශං උපජගාම. අථ බෝධිසත්ව: චිරස්‍ය අර්ථි ජනං දෘෂ්ට්වා අභිගතං මන:ප්‍රහර්ෂාත් සමූපජායමාන නයන වදන ප්‍රසාදං ප්‍රත්‍යද්ගම්‍ය ස්වාගතාදි ප්‍රිය වචන පුර: සරං ප්‍රවේශ්‍ය ච ඒනං ආශ්‍රම පදං කෘතාතිථි සත්කාරං ආගමන ප්‍රයෝජනං අපෘච්ඡත්. ”
අවස්ථා නිරූපණය කිරීමේ දී ආර්යශූර පාදයෝ එය තාත්විකව ඉදිරිපත් කර ඇත. බමුණගේ ස්වභාවය විස්තර කරන තැන බොහෝ දුරක් පා ගමනින් පැමිණි නිසාවෙන් දූවිලි සහිත පාද ඉතා වෙහෙසට පත් වූ නිසා වූ ඇස් සහ මුහුණ සැරයටියන් බැඳ කරේ තබාගත් කෙණ්ඩිය ඇති ඒ ස්වරූපය කරුණා රසය ද මුසු වූ අතිවිශිෂ්ඨ තාත්වික වැනුමකි.
එමෙන්ම බෝධිසත්වයන් (වෙස්සන්තර) “ පැමිණීම යහපති ” යන මිහිරි වදන් එක් කරමින් ආගන්තුක සත්කරා කරන අයුරු දක්වන අවස්ථාව ඉතාම සිත් ගන්නා සුළුය. මෙකී අවස්ථා නිරූපණයත් සමග ශූරපාදයන් පාලකයන්ට උපදේශයක් ද ලබා දෙයි. එනම් තමන්ගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙන් පැමිණි අයෙකුට ඉතාමත් යහපත් වචනයෙන් පිළිගත යුතු බවත්, ආගන්තුක සත්කාර කළ යුතු බවත්ය.
තවද අවස්ථා නිරූපණය කෙරෙහි ආර්යශූර පාදයෝ දැක්වූ දක්‍ෂ පක්‍ෂ භාවයන් ප්‍රකට කෙරෙන නිදසුනකි,මන්‍ද්‍රී බිසව ආහාර රැගෙන අසපුවට පැමිණිම. ඇය වනමුල් ඵල රැගෙන විපිලිසර සිත් ඇත්තියක මෙන් අසපුවට පැමිණෙයි. එහිදී ඇය දරුවන්ට කිසියම් කරදරයක් වී ඇද්දැයි බියට පත් වෙයි.පරිසරයේ පවතින නිහඬ භාවයත් දරුවන්ගේ නොදැකීමත් අතර පවතින සම්බන්ධය ඊට මනාව ගලපයි.
“ රුවන්ති කස්මාච්ච න පක්ෂිණෝ ’ප්‍යමී - සමාකලාස්තද්වධ සාක්‍ෂිණො යදි තරංග භංගෛර විනීත කෝපයා - හෘතෞ නුකිං නිම්නගයාති වේගයා ”
“ අප්‍යනිෂ්ට නිවේදිනාං නිමිත්තනාං මච්ඡරිරෙම විපාකො භවේත් කිංනු ඛල්විදමනිමිත්තාපවෘත්ත ප්‍රහර්ෂමරතිතමිස්‍රයාවච්ඡාද්‍යමානං විදූවතීව හෘදයං. විස්‍රස්‍යන්ත ඉව මෙ ගාත්‍රාණි. ව්‍යාකූලා ඉව දිග්විභාග: භ්‍රමතීව චේදං පරිඨවස්ත ලක්‍ෂමීකං වනමිති.අථ අනුප්‍රවිශ්‍ය ආශ්‍රම පදං ...............”
දරුවන්ගේ නොදැකීම මවකට ඉවසුම් නොදෙන්නකි. මන්‍ද්‍රී බිසව ස්වකීය දරුවන්ගේ නොදැකීමෙන් ශෝකයට පත් වන ආකාරය තම සිතට පමණක් නොව ශරීරයට ද එය දරාගත නොහැකිව අසපු පියසට පැමිණෙන අයුරු තාත්විකව ඉදිරිපත් කර ඇත. මෙකී සුවිශේෂී අවස්ථා නිරූපණයන් නිසාවෙන් ම පාඨකයා තුළ ජාතක මාලාව දිගු කලක් සම්භාවනාවට පත් වෙමින් පවතී.
ජාතක මාලාවේ භාවිත තවත් රචනා උපක්‍රමයක් නම් කථා ආරම්භයේ දී කථාව පිළිබඳව ඉඟියක් ලබා දීමයි. ජාතක කථාවෙන් කියැවෙන උපදේශයත් සාරාංශව ඉදිරිපත් කරනුයේ කුතුහලයක් ද පාඨකයාගේ හදවතට එක් කරමින්ය. කථාව කියා දැනගැනීමට ආශාවක් ද ඒ තුළින් ජනිත වේ. පහත සඳහන් වනුයේ එයට උදාහරණයෝය.
“ න කල්‍යාණාශයා: පාප ප්‍රතාරණාමනුවිධීයන්ත ඉත්‍යාශය ශුද්ධෞ යතිතව්‍යම් තද්‍යාථානුශ්‍රෑයතේ . ”
(යහපත් අදහස් ඇති අය පවුකාර වැඩවල නොපෙළඹෙන්නාහ යැයි අදහස් පිරිසිදු කිරීමෙහි උත්සාහ කළ යුතු.)
“ න පර දු:ඛාතුරා ස්ව සුඛමවේක්‍ෂන්තෙ මහා කාරුණිකා : තද්‍යාථානුශ්‍රෑයතේ.”
(අනුන්ගේ දුකින් පීිඩිත වූ මහා කරුණා ඇත්තෝ ස්වකීය සුඛය නොඑළඹත් ඒ මෙසේ අසනු ලැබේ.)
“ න විභව ත්‍ථයාවේක්‍ෂයා සමෘද්ධ්‍යාශ්‍යා වා ප්‍රදාන වෛඩූර්යමුපයාන්ති සත්පුරුෂා: තද්‍යථානුශ්‍රෑයතේ.”
(සම්පත් විනාශය දැකීමෙන් හෝ සමෘද්ධී ආශාවෙන් හෝ සත්පුරුෂයෝ දන් දීමෙන් වෙන් වීමට නොයති.එය යම්සේ අසනු ලැබේ ද එසේ උපදේශ කරනු ලැබේ.)
මෙසේ උපදේශ මුඛයෙන් ජාතක කථාව ආරම්භ කොට කථාවසානයෙහි ද උපදේශ රාශියක් එක් කරමින් එහි පරමාර්ථය සංක්‍ෂිප්තව දක්වයි. මෙය ද ජාතක මාලාවෙහි පෙනෙන සුවිශේෂී රචනා ක්‍රමයකි. මෙකී ක්‍රමය සෑම ජාතක කථාවකම පෙනෙන ලක්‍ෂණයකි. පහත සඳහන් වනුයේ එයට උදාහරණ කිහිපයකි.
“න පශුහිංසා කදාචිද්‍යභ්‍යුදයාය දානදම සංයමාදයස්ත්වභ්‍යුදයායෙති තදර්ථිනාදානාදි පරෙණ භවිතව්‍යං”
සත්ව හිංසාව කිසි කළෙකත් අභිවෘද්ධිය පිණිස හේතු නොවේ. දීම ආත්ම දමනය හික්මීම ආදිය වනාහි අභිවෘද්ධිය පිණිස වේ. මෙසේ අභිවෘද්ධිය කැමැත්තන් විසින් දන් දීම ආදියෙහි නියැලුණෙකු විය යුතුයි.
“ සාරදානං දානමාහුර්ධනානා - මෛශ්වර්යාණං දානමාහු නිදානම් දානං ශ්‍රීමත්සජ්ජනත්‍වාවදානං - බාල්‍යප්‍රඥෛ: පාංශුදානං සුදානම් ”
දානය ධනයන්ගේ සාරය ගැනීමක්ය. දානය ඓශ්චර්යන්ට නිදානයැයි කියති. දානය ශ්‍රීමත් වූ සජ්ජනයන්ගේ චරිතය වේ. බාල ප්‍රඥා ඇත්තවුන් විසින් කරන ලද බැලිබත් දීම ද ශෝභා දානයක් වන්නේය.
තව ද ජාතක මාලාව රසවත් වීමට හේතු වී ඇත්තේ ග්‍රන්ථය පුරා දිවෙන ප්‍රසාද ගුණයෙන් යුක්ත වු වාග් මාලාවයි. එසේම අනුප්‍රාස බහුලව යෙදීම ද කාව්‍ය රසෝද්වීපනය වීමට හේතු වී ඇති අයුරු පහත සඳහන් පද්‍යයෙන් පැහැදිලි වේ.
“ නිර්දුර්ජනාන්‍යනුපභුක්ත සරිත්තරූණි - නානාවිභංග විරුතානි මෘගාකුලානි වෛඪූර්යකුට්ටිම මනෝහරශාද්වලානි - ක්‍රීඩාවනාධික සුඛානි තපෝවනානි ”
ඔජෝ ගුණයෙන් ද හීනත්වයකට පත් නොවූ ජාතක මාලාව සමාස බහුලව යොදා ගනිමින් ඉන් පාඨකයා වෙහෙසට පත් නොකරයි. එබැවින් එය ශ්‍රාවක පාඨක දෙපිරිසටම කර්ණ රසායනයට ද හේතු වී ඇත.
“ අථ මන්‍ද්‍රී විප්‍රියෝපනිපාත ශංසිභිරනිෂ්ටෛර්නිමිත්තෛරුපජනිතවෛමනස්‍යා..................”
“ චක්‍රාද්‍යුපද්‍රවත්‍වාදකණ්ඨකාමසපත්නා මෙකාතපත්‍රාංදායස්‍ය .............”
මේ අයුරින් ආර්යශූරපාදයෝ ස්වකීය කාව්‍ය කරණයේ දී සුමට ලිහිල් වාග් මාලාවකින් සහ කාව්‍ය උපක්‍රම මඟින් ජාතක මාලාව රසවත් කිරීමට සමත් වී ඇත. නවවිධ කාව්‍ය රසයන්ගෙන් අනූනව නවමු කාව්‍ය රීතියක් අනුගමනය කිරීම ජාතක මාලාව සම්භාවනාවට පාත්‍ර වීමට හේතු වී ඇති බව පෙනේ.
තවද ප්‍රතිභා පූර්ණ කවියෙකු වශයෙන් ආර්යශූර පාදයන් ස්වකීය ජාතක මාලාවෙහි දක්වා ඇති පෙර නොවූ විරූ නිර්මාණ ශක්තිය සංස්කෘත බෞද්ධ කාව්‍ය රචනා කෙරෙහි පාඨක ජනයා ආශක්ත කරනු ලබයි. කාව්‍ය රසය විඳින ගමන් ඒ තුළින් ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි වීම ජාතක මාලාවෙහි ඇති තවදු සුවිශේෂත්වයකි.
ආර්යශූර පාදයෝ පිරිසිදු නිරවුල් වාග් මාලාවක් සහජයෙන් උරුම කරගත්තෙකි. ඔහුගේ මුවින් නිරායාසයෙන් ගලහැලුණේ සංවේදී බෝසත් චරිතයන් ය. එනිසාවෙන් උත්තුංග ගුණ සමුදායෙන් පරිපූර්ණත්වයට පත් වූ බෝසත් චරිත හමුවෙහි පාඨක ජනයා භක්තමත් වූයේ ආර්යශූර පාදයන් සතුව පැවති රචනා කෞශල්‍ය භාවය නිසාවෙනි.

ගොපක මොග්ගල්ලාන සූත්‍රය (මජ්ඣිම නිකාය,උපරි පණ්ණාසය)

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කල්හි රජගහනුවර කලන්දක නිවාපනම්වූ ...